ජාතික එල්ලේ සංවිධායකට උඩින් සභාපති සත් පුද්ගල කමිටුවක් පත්කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-05

ජාතික එල්ලේ සංවිධායකට උඩින් සභාපති සත් පුද්ගල කමිටුවක් පත්කරයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ජාතික සංවිධායකට ඉහළින් ජාතික එල්ලේ ශූරතාවලියේ තරගාවලිය මෙහෙයවීම උදෙසා සත් පුද්ගල කමිටුවක් පත්කිරීමට එල්ලේ සම්මේලනයේ සභාපති සහන් ප්‍රදීප් මහතා කටයුතු කරයි. පසුගියදා පැවැති එල්ලේ විධායක කමිටුවේදී මේ යෝජනාව සම්මතවී ඇති අතර ඉදිරියේදී ජාතික ශූරතාවලිය මෙහෙයවීමේ වගකීම එම කමිටුවට පැවරේ. ජාතික එල්ලේ ශූරතාවලිය දැනට තාවකාලිකව ඇනහිට ඇති අතර එය ආරම්භ කිරීමේ දිනවකවානු මේ වනතුරු ප්‍රකාශකර නොමැත.

එල්ලේ සම්මේලනයේ ජාතික සංවිධායක චාමර සේරසිංහ මහතාට තරගාවලිය සංවිධානයේදී සිදුවූවා යැයි පැවැසෙන අයථා කටයුතු පිළිබඳ චෝදනා නැගී ඇති අතර මේ සම්බන්ධව සභාපති සහන් ප්‍රදීප් මහතා සමග මත ගැටුමක් ඇතිව තිබේ. පසුගිය විධායක සභාවට ජාතික සංවිධායක සහභාගීවී නොමැති අතර ඔහුගෙන් කරුණු විමසීමක් සිදු නොකොට ජාතික එල්ලේ ශූරතාව සංවිධාන කිරීමට සත් පුද්ගල කමිටුව පත්කොට ඇත.

එල්ලේ සම්මේලනයේ සභාපතිගේ සම්බන්ධීකාරක මෙරිල් රාජපක්ෂ මහතා පැවැසූවේ ජාතික සංවිධායකවරයා ඉවත් කිරීමක් කර නොමැති අතර තනතුරෙන් නෙරපා හැරීමේ තීන්දුවක් හෝ එල්ලේ විධායක කමිටු රැස්වීමේදී නොගත් බවය. එල්ලේ සම්මේලනයේ ජාතික සංවිධායක චාමර සේරසිංහ මහතා පවසන්නේ තමන් ජාතික සංවිධායක තනතුරෙන් නෙරපා හැරීමට කිසිදු අවස්ථාවක් සම්මේලනයට නොමැති බවයි. තරගාවලියට ක්‍රීඩාංගණ වෙන්කිරීමේදී සභාපතිවරයා සමග ගැටලුවක් ඇතිවූ බවත්, එම කරුණමත තනතුරෙන් නෙරපා හැරීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාතික එල්ලේ ශූරතාවලිය සංවිධාන කිරීම උදෙසා පත්කළ සත් පුද්ගල කමිටුවට වැල්ලම්පිටිය රණකාමී ක්‍රීඩා සමාජයේ නිහාල් ජයතිස්ස, කොටහේන නවරැල්ල ක්‍රීඩා සමාජයේ ලයනල් ජෝති රත්න, තොටලග මයුර ක්‍රීඩා සමාජයේ ආර්. පී. ජයරත්න, මැද කොළඹ ශ්‍රී විජය ක්‍රීඩා සමාජයේ චන්ද්‍රපාල දලුගොඩ, මොරුක්කුලිය රන්තරු ක්‍රීඩා සමාජයේ විපුලසිරි ද සිල්වා, වදුල්ලවත්ත සන්රයිස් ක්‍රීඩා සමාජයේ බී. රොයිස්ටන් හා කිරිල්ලවල ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජයේ මධුර පෙරේරා ඇතුළත්ය.

මේ අතර එල්ලේ සම්මේලනයේ නිලධාරීන් කිහිපදෙනකු ජාතික එල්ලේ ශූරතාවලියේදී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම නීති විරෝධීබවට පැමිණිල්ලක් සම්මේලනයට යොමු කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එල්ලේ සම්මේලනයේ නිලධාරීන් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කිරීම තුලින් තරගාවලියේ ඇති විශ්වසනීයත්වය බිඳී යන බව එම පිරිසගේ චෝදනාව වේ. කැලණිය කැලණි තිස්ස, ගනේමුල්ල වාසනා හා කිරිල්ලවල සිහ ශක්ති යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් එල්ලේ සම්මේලනයේ නිලධාරීන් කිහිපදෙනකු ජාතික එල්ලේ ශූරතාවලියට එක්ව සිටින බව පැමිණිලි පාර්ශ්වය චෝදනා කර සිටී.

රුපියල් ලක්ෂ 90ක පමණ වියදමින් මෙවර ජාතික එල්ලේ ශූරතාවලිය සංවිධාන කිරීමට එල්ලේ සම්මේලනය කටයුතු සංවිධාන කොට ඇති අතර එය ජාතික එල්ලේ ශූරතා ඉතිහාසයේ වැඩිම මුදල ලෙස වාර්තා වේ. එල්ලේ ජාතික ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 3ක් හිමිවන අතර අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 1.5ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 75000ක් පිරිනැමේ. මෙවර ජාතික එල්ලේ ශූරයාට නවතම ත්‍රී රෝද රථයක් පිරිනැමෙන අතර තරගාවලියේ වැඩිම උඩ පන්දු හා වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයන් දෙදෙනාට යතුරු පැදිය බැගින් පිරිනැමේ.

මූලික වටයේ තරගවලින් අනතුරුව ජාතික ශූරතාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 16 වැනිදා විදුලි ආලෝක ධාරා මැද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, එම දින වකවානු වෙනස්වන තත්ත්වයක් නිර්මාණයවී තිබේ.

Post Bottom Ad

Pages