චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී කලුතර පිටිය කළහකාරින්ගෙන් පිරෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී කලුතර පිටිය කළහකාරින්ගෙන් පිරෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

පිරිසක් කඩා වැදී තරග විනිසුරුට ගුටි බැට ප්‍රහාරයක් දීලා

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ කලුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ පැවැති කොළඹ පාපන්දු සමාජය හා බ්ලූස්ටාර් අතර තරගය නිමාවීමත් සමග නරඹන්නන් කඩාවැදී තරග විනිසුරුට පහර දෙයි. තරගයට නිසි ආරක්ෂාවක් නොමැතිවීමෙන් මේ තත්ත්වය උදාවූ බව කණ්ඩායම් ප්‍රධානීන්ගේ චෝදනාව වේ.

මෙලෙස කළහකාරී තත්ත්වයෙන් නිමාවට පත්වූ තරගය අත්හැර දැමූ ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඊයේ නිවේදනය කළේය. මෙම අනාරක්ෂිත තත්ත්වය මත ඉදිරි තරග වර්ජනය කිරීමට පාපන්දු විනිසුරුවන් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ. මෙයට වසර කිහිපයකට පෙර මෙවැනිම පහරදීමක් මාතරදී සිදුවූ අතර ඒ සමග පාපන්දු විනිසුරුවෝ තරග වර්ජනයක නිරත වූහ.

කොළඹ පාපන්දු සමාජය හා බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජ චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බැවින් මෙම තරගය ආරම්භයේ සිටම වඩාත් තියුණු මට්ටමකට පත්ව තිබිණි. මෙවැනි දෙපිලටම වැදගත් තරගයකට යොදා තිබූ විනිසුරු ඉතාම ආධුනික මට්ටමේ අයෙකු බැවින් ඔහු ලබාදෙන තීරණ මතභේදයට තුඩුදීම ගැටුමක් දක්වා දුරදිග ගිය බව බොහෝ දෙනකුගේ මතය විය. කොළඹ පාපන්දු සමාජය තරගයේ පළමු භාගයේදී ඉදිරියෙන් සිටි අතර, තරගය නිමාවීමට මිනිත්තු කිහිපයක් තිබියදී බ්ලූස්ටාර් වාර්තා කළ ගෝලයෙන් ලකුණු තත්ත්වය සමවිය.

මේ ආකාරයෙන්ම පසුගිය සති අන්තයේ නිමාව දුටු තරග කිහිපයකදී තරග විනිසුරුට පහරදීමට උත්සහා කිරීම් වාර්තා විය. එමෙන්ම මෙයට පෙර නාවලපිටියේ පැවැති තරගයකදීද නරඹන්නන්ගේ ගල් මුල් ප්‍රහාරයකින් ක්‍රීඩකයෙකුට තුවාල සිදුවිය.

අප් කන්ට්‍රි ලයන්ස්ට ජය

කැළණිය පාපන්දු සංකීර්ණ පිටියේ පැවැති අප් කන්ට්‍රි ලයන්ස් හා නිගම්බු යූත් අතර තරගයෙන් අප් කන්ට්‍රි ලයන්ස් පිලට ජය හිමි විය. තරගයේ පළමු භාගයේදී ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක සිටියද, දෙවැනි භාගය ආරම්භවී මිනිත්තු 4ක් ගතවෙද්දී අංජන චන්දිමාල් එල්ලකළ ගෝලයෙන් අප් කන්ට්‍රි ලයන්ස් ඉදිරියට පැමිණියේය. තරගයේ 20 වැනි මිනිත්තුවේදී බ්‍රයිට් ඒෂූන් නිගම්බු යූත් පිල වෙනුවෙන් හා 22වැනි මිනිත්තුවේදී දිනේෂ් අඹේරත්න අප් කන්ට්‍රි ලයන්ස් වෙනුවෙන් ගෝල් වාර්තා කළහ. මෙම තරගයේදී නිගම්බු යූත් ක්‍රීඩක තුෂාන් ධම්මිකට රතු කාඩ්පත් අවවාද ලැබීමෙන් ඉදිරියේ තරග තහනමක් ද පැනවිණි.

නාවිකයෝ ජය ලබති

නාවික හමුදාව හා ජාවාලේන් අතර තරගයේදී ගෝල් 3-2ක ජයක් නාවික හමුදාවට හිමිවිය. වැලිසර නාවික හමුදා පිටියේ පැවැති තරගයේ පළමු භාගය ගෝල් 2-0ක් ලෙස නාවිකයෝ ඉදිරියෙන් සිටියහ. ධනුෂ්ක මධුෂංක 21වැනි මිනිත්තුවේදී, නාගූර් මීරා 31වැනි මිනිත්තුවේදී හා මොහොමඩ් අස්මීර් 59වැනි මිනිත්තුවේදී නාවික හමුදාව වෙන්වෙන් ගෝල් රැස් කළහ.

ජාවාලේන් පිලට මොහොමඩ් රිෂ්කාන් 65වැනි මිනිත්තුවේදී හා මොහොමඩ් රිසාන් 74වැනි මිනිත්තුවේදී ගෝල් ලබා ගත්හ.

රත්නම් - සොලිඩ් විසදුමක් නෑ

කොළඹ සී. ආර්. පිටියේ පැවැති රත්නම් - සොලිඩ් අතර තරගය ගෝල් 2-2ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා වෙයි. පළමු භාගය නිමාවෙද්දී ගෝල් 1-0ක් ලෙස රත්නම් ඉදිරියෙන් සිටි අතර මොහොමඩ් අකීල් 30වැනි මිනිත්තුවේදී හිසෙන් එල්ල කළ පහරකින් එම ගෝලය වාර්තා වුණි. තරගයේ 49වැනි මිනිත්තුවේදී සොලිඩ් ක්‍රීඩක එඩිසන් ෆිගරාඩෝ එල්ල කළ ගෝලයෙන් දෙපිලේ ලකුණු සමවිය. රත්නම් පිලේ නයිජීරියානු ක්‍රීඩක ලොගොග්නන් ඩීඩර් 59දී හා එයට පිළිතුරු ලෙස සොලිඩ් පිලේ ටී. එල්. ජයසිංහ 77වැනි මිනිත්තුවේදී ගෝල් වාර්තා කිරීමෙන් නැවැත ලකුණු සමවිය.

පෙළිකන්ස්ට ජය

කුරුණෑගල මලියදේව පිටියේ පැවැති පෙළිකන්ස් - සුපර් සන් අතර තරගයේදී පෙළිකන්ස් පිලේ කේ. සොබිකරන් 10වැනි මිනිත්තුවේදී වාර්තා කළ ගෝලයෙන් පෙළිකන්ස්ට ජය හිමි වෙයි.

මෙම තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රිනවුන් - ගුවන් හමුදාව කැළණිය පාපන්දු සංකීර්ණ පිටියේදී, පෙළිකන්ස් - කොළඹ පාපන්දු සමාජය කුරුණෑගල මලියදේව පිටියේදී, සෝන්ඩර්ස් - රෙඩ් ස්ටාර් සිටිලීග් පිටියේදී හා ක්‍රිස්ටල් පැලස් - නාවික හමුදාව නාවලපිටිය ජයතිලක පිටියේදී හමුවෙති.

Post Bottom Ad

Pages