තරිඳු රත්නායක පන්දුවෙන් එස්.එස්.සී පිලට ජය ගෙනෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

තරිඳු රත්නායක පන්දුවෙන් එස්.එස්.සී පිලට ජය ගෙනෙයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගයකදී තරිඳු රත්නායක පන්දුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් සී.සී.සී ක්‍රීඩා සමාජය පරදවා ලකුණු 112ක ජයක් අත්කර ගැනීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු සතියේ පැවැති තරග 6 අතුරින් විසඳුමකින් නිමාවූ එකම තරගය වූ එස්.එස්.සී පිටියේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයෝ පළමු ඉනිමට රැස්කළ 229 ට පිළිතුරු ලෙස සී.සී.සී පිල පළමු ඉනිමට ලකුණු 225ක් රැස් කළේය. එස්.එස්.සී පිල දෙවැනි ඉනිමේදී ලකුණු 245කට දැවී යෑමෙන් සී.සී.සී පිලට ලකුණු 249ක ඉලක්කයක් හිමිවූ අතර එය හඹාගිය සී.සී.සී පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137ක් පමණි.

විසිදෙහැවිරිදි තරිඳු රත්නායක සිය පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරගත්තේ සී.සී.සී. දෙවැනි ඉනිමේදී ලකුණු 50කට කඩුලු 7ක් දවා ගනිමිනි. එහි පළමු ඉනිමේදී ලකුණු 75කට කඩුලු 7ක් දවාගත් තරිඳු ඉනිම දෙකේදී ලකුණු 125කට කඩුලු 14ක් දවා ගත්තේ පළමු පෙළ තරග දිවියේ තරගයකදී දක්ෂතම පන්දු යැවීමද සටහන් කරමිනි.

අනෙක් තරගවලින් වරාය අධිකාරියට එරෙහිව මුවර්ස් ද, හලාවත මේරියන්ස්ට එරෙහිව ද්‍රවිඩ සංගම් පිල ද පළමු ඉනිමේ ජය හිමිකර ගනිද්දී බී.ආර්.සී, රාගම සහ සැරසන්ස් ද පළමු ඉනිමේ ජය අත්කර ගත්තේය.

මේ අතර බී.ආර්.සී පිලට ජය අහිමිවී ගියේ දිනය නිමාවීම හේතුවෙනි. මග්ගොන පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බදුරලිය පළමු ඉනිම ලකුණු 258කට සීමාකළ බී.ආර්.සී. ක්‍රීඩකයෝ පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 449ක් රැස් කළේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු ලෙසිනි. ලකුණු 191ක් පිටිපසින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරැඹු බදුරලිය ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි හා අවසන් දිනය නිමාවනවිට දෙවැනි ඉනිමට කඩුලු 9ක් ලකුණු 164ක් රැස්කර තිබිණි.

මේ තරගවලදී ශතක 6ක් වාර්තා වීම කැපී පෙනුණි. එහිදී ඇන්ජලෝ පෙරේරා (එන්.සී.සී.) සහ ප්‍රවිනාත් විජේසූරිය (බී.ආර්.සී) ලකුණු 123 බැගින් රැස්කළ අතර හෂේන් රාමනායක (බී.ආර්.සී.), සචිත්‍ර සේරසිංහ (ද්‍රවිඩ සංගමය), කිත්රුවන් විතානගේ (ද්‍රවිඩ සංගමය) සහ අශේන් බණ්ඩාර (සැරසන්ස්)ද ශතක රැස්කිරීමට සමත් වූහ.

එන්.සී.සී නායක ඇන්ජලෝ පෙරේරා පළමු ඉනිමේදී ලකුණු 123ක් වාර්තා කළේ රාගම ක්‍රීඩා සමාජයට එරෙහිවය. පන්දු 154ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.

බදුරලිය පිල සමග පැවැති තරගයේදී පළමු සතියේ ඉහළම ඉනිම දියත් කළ බී.ආර්.සී පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ප්‍රවිනාත් විජේසූරිය පන්දු 92කදී වේගවත් ලකුණු 123ක් රැස්කළේ හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමගිනි. ඔහු හේෂාන් රාමනායක සමගින් 6 වැනි කඩුල්ලට ලකුණු 273ක සබඳතාක් ගොඩනැගීමට සමත් විය. රාමනායක පන්දු 172කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 110ක් ඉනිමට එක් කළේය.

හලාවත මේරියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය වෙනුවෙන් කිත්රුවන් විතානගේ පන්දු 144කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 105ක් රැස්කළ අතර සචිත්‍ර සේරසිංහ ලකුණු 112ක් ඉනිමට එක්කළේ පන්දු 209කදී හතරේ පහර 8ක් සමගිනි.

තරිඳු රත්නායකට අමතර සී.සී.සී ක්‍රීඩා සමාජයේ ලක්ෂාන් සඳකැන් කඩුලු 10ක් (58/6 සහ 76/4) දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මොහොමඩ් ශිරාස් (බී.ආර්.සී) සහ රමිත රඹුක්වැල්ල (ද්‍රවිඩ සංගමය) ද ඉනිමකදී කඩුලු 5 බැගින් දවා ගත්හ.

එස්.එස්.සී ට ලකුණු 112ක ජයක්

එස්. එස්. සී පළමු ඉනිම - 229 (ඕවර 63) කෞෂාල් සිල්වා 41 (ලක්ෂාන් සඳකැන් 58/6, ළහිරු ගමගේ 27/2) සහ දෙවැනි ඉනිම - 245 (ඕවර 53.1) සම්මු අශාන් 65, සඳුන් වීරක්කොඩි 47 (අශාන් ප්‍රියංජන් 67/4, ලක්ෂාන් සඳකැන් 76/4, සොනාල් දිනූෂ 34/2)

සී. සී. සී. පළමු ඉනිම - 225 (ඕවර 83) ලසිත් ඇඹුල්දෙණිය 92 (තරිඳු රත්නායක 75/7, නුවන් ප්‍රදීප් 30/2) සහ දෙවැනි ඉනිම - 137 (ඕවර 40.5) සොනාල් දිනූෂ 59, ලසිත් ඇඹුල්දෙණිය 47 (තරිඳු රත්නායක 50/5, ධනුෂ්ක ගුණතිලක 20/2)

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජය

හලාවත පළමු ඉනිම - 210 (ඕවර 56.5) හර්ෂ කුරේ 68, යශෝධ ලංකා 48 (රමිත රඹුක්වැල්ල 54/5) සහ දෙවැනි ඉනිම - 251/8 (ඕවර 74) (රමිත රඹුක්වැල්ල 58/3, කමිඳු මෙන්ඩිස් 47/2)

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 390 (ඕවර 106.4) සචිත්‍ර සේරසිංහ 112, කිත්රුවන් විතානගේ 105, ළහිරු මිලන්ත 53 (නිමේෂ් විමුක්ති 61/4, තික්ෂිල ද සිල්වා 73/2, රොෂාන් ජයතිස්ස 114/2)

මුවර්ස් පළමු ඉනිම ජයගනී

මුවර්ස් පළමු ඉනිම - 320 (ඕවර 91.5) චාමර සිල්වා 87, ඉරෝෂ් සමරසූරිය 51, පබසර වඩුගේ 42 (චමින්ද බණ්ඩාර 82/4, චානක කොමසුරු 105/3, චාලනක වීරසිංහ 62/2)

වරාය පළමු ඉනිම - 156 (ඕවර 67.3) (තරිඳු කෞෂාල් 40/4, දනෝෂ් රනොදිත් 45/2) සහ දෙවැනි ඉනිම - 165/4 (ඕවර 68) යොහාන් ද සිල්වා 59, අදීෂ නානායක්කාර නොදැවී 58 (දනෝෂ් රනොදිත් 52/2)

බී.ආර්.සී. පළමු ඉනිම දිනයි

බදුරලිය පළමු ඉනිම - 258 (ඕවර 84) සුබ්‍රමනියම් ආනන්ද් 65, නදීර නාවෙල 57 (මොහොමඩ් ශිරාස් 44/5, එච්.රාමනායක 26/2, එස්. තිලකරත්න 61/2) සහ දෙවැනි ඉනිම - 164/9 (ඕවර 73) නදීර නාවල 76 (ටී.එන්.සම්පත් 39/3, දුවිඳු තිලකරත්න 44/3)

බී.ආර්.සී. පළමු ඉනිම - 449/6 (ඕවර 109.3) ප්‍රවිනාත් වර්ණසූරිය 123, හෂේන් රාමනායක 110, රුමේෂ් බුද්ධික 95, දේශාන් ඩයස් 48 (සචිත් පතිරණ 143/3, රිස්වාන් හයිදර් 55/2)

පළමු ඉනිමේ ජය රාගමට

එන්.සී.සී. පළමු ඉනිම - 272 (ඕවර 73.3) ඇන්ජලෝ පෙරේරා 123 (අමිල අපෝන්සු 48/4, ඉෂාන් ජයරත්න 73/4, නිශාන් පීරිස් 62/2) සහ දෙවැනි ඉනිම - 137/6 (ඕවර 37) හසිත බෝයගොඩ 51 (අමිල අපෝන්සු 48/4)

රාගම පළමු ඉනිම - 377 (ඕවර 114) ඉෂාන් ජයරත්න 99, සමීර ද සොයිසා 70, ළහිරු තිරිමාන්න 53, සමින්ද ප්‍රනාන්දු 43 (සචින්ත පීරිස් 96/4, චතුරංග ද සිල්වා 111/2)

සැරසන්ස්ට පළමු ඉනිමේ ජය

සැරසන්ස් පළමු ඉනිම - 316 (ඕවර 108.2) අශාන් බණ්ඩාර 106, සාලිය සමන් 79, මිලින්ද සිරිවර්ධන 70 (කවිෂ්ක අංජුල 68/3, ජෙහාන් ඩැනියෙල් 39/2, නිසල තාරක 74/2) සහ දෙවැනි ඉනිම - 145/7 (ඕවර 48) නිපුන් කරුණානායක 57 (නිසල තාරක 25/3, අකිල ධනංජය 58/3)

කෝල්ට්ස් පළමු ඉනිම - 224 (ඕවර 72) සදීර සමරවික්‍රම 64 (චාමිකර එදිරිසිංහ 44/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 22/2, කසුන් රාජිත 66/2) සහ දෙවැනි ඉනිම - 56/3 (ඕවර 11) (මොහොමඩ් ඩිල්ෂාඩ් 6/2)

 

Post Bottom Ad

Pages