නව පරපුර දුරස් වීමෙන්පක්ෂ කල්ලි බවට පත්වෙලා - ධම්ම දිසානායක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-08

නව පරපුර දුරස් වීමෙන්පක්ෂ කල්ලි බවට පත්වෙලා - ධම්ම දිසානායක


ඡායාරූප - සරත් පීරිස්

ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ සම කැඳවුම්කරු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා

"වත්මන් දේශපාලන අර්බුදය හා එය විසඳා ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ව ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ සම කැඳවුම්කරු වන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා සමඟ කළ කතාබහකින් සැකසුණකි."

වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය අපට සුළුවෙන් තැකිය නොහැකි සරල දේශපාලන ව්‍යාකූලතාවකට එහා ගිය එකකි. මෙරට නිදහස ලැබීමෙන් අනතුරුව ඇති වුණු දරුණුතම දේශපාලන අස්ථාවරභාවය සහ අර්බුදය ලෙස මෙය හැඳින්විය හැකිය. ඊට හේතුව වන්නේ ආණ්ඩුවක් නැති මෙවැනි සංක්‍රාන්ති මොහොතක් මෙරට දේශපාලන ඉතිහසයේ මෙතෙක් වාර්තා වී නැති නිසාය. මෙරට පවතින්නේ ජනාධිපති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නිසා රටේ පරිපාලන, දේශපාලන හා ආර්ථික ස්ථාවර භාවය යම් මට්ටමකින් නඩත්තු වේ. පාර්ලිමේන්තුවක් නැතිව, ආණ්ඩුවක් නැතිව අමාත්‍ය මණ්ඩලයක් නැතිව අවම වශයෙන් භාරකාර ආණ්ඩුවක් හෝ නැතිව මෙරට සාමාන්‍ය ජනයා සාමාන්‍ය පරිදි ක්‍රියා කරති. එක් අතකින් මේ ජනාධිපති ක්‍රමය නොවන්නට අපට මේ ස්ථාවර භාවය පවත්වාගෙන යා නොහැකි වේ. එය මේ ජනාධිපති ක්‍රමයට විරුද්ධව පෙළගැසෙන සියලු දෙනා නැවත සිතා බැලිය යුතු කරුණකි. එසේම ජනතාව මෙම ඛේදවාචකය දෙස බලන්නේ එහි පාර්ශ්වකරුවකු ලෙස නොව මින් තරමක් දුරස්ථව හිඳිහින් මෙය විසඳා ගැනීම පිළිබඳ ව ය. මේ ගැටලුව දෙස ඔවුන් මෙලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව එක් අතකින් අප ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුය. කෙසේ නමුත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් දරණු ඛේදවාචකයක් දක්වා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඊට හේතුව වන්නේ පැවති ආණ්ඩුවේ දේශපාලන අර්බුදය, දේශපාලන නොපෑහීම, ප්‍රතිපත්තිමය නොපෑහීම හා බල ගැටුම අද ඊයේ ඇති වූවක් නොවන නිසා ය. එය 2015 ජනවාරි 09 වෙනිදා සිට ඉදිරියට පැමිණියකි. එනිසා මේ තත්ත්වය අළු යට ගිනි පුළිඟු මෙන් දිගටම පැවතුණකි. නමුත් ඔක්තෝබර් 26 වෙනිදායින් අනතුරුව ඇති වූ අර්බුදකාරී තත්ත්වය දෙස බැලීමේ දී පෙනී යන්නේ මෙය දිගින් දිගට ම පැවතියහොත් කඩා වැටුණු රාජ්‍යයක් දක්වා මේ තත්ත්ව වර්ධනය වීමට ඉඩ ඇති බවයි. වෙනත් විදියකට කියන්නේ නම් සිම්බාබ්වේ, කෙන්යාව, සෝමාලියාව ... වැනි රටවල් මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය දක්වා මෙයද වර්ධනය වීමට අවශ්‍ය වටපිටාවක් මේ වන විටත් නිර්මාණය වී තිබේ. නමුත් එවැනි තත්ත්වයකට මේ රට ගමන් කිරීමට මේ රටේ ජනතාව කිසිදා ඉඩ නොදෙන බව සහතික ය. එනිසා මේ මොහොතේ රටේ පාලකයන්ට වඩා විශ්වාසය තැබිය හැක්කේ මේ රටේ ජනතාව මත ය. එනමුත් විදේශ බලවේග පිළිබඳව අප මේ මොහොතේ අවදියෙන් පසු විය යුතුය. ඒ ඔවුන් මීට මැදිහත් වීමට ගන්නා උත්සාහය වළක්වා ගැනීමට අවශ්‍ය ශක්තිය අප තුළ වර්ධනය කරගැනීම සඳහා ය.

සිම්බාබ්වේ, සෝමාලියාව ... වැනි රටවල් මුහුණදුන් තත්ත්වයට අප පත් නොවන බව මම මීට පෙර පැවසුවෙමි. ඊට එක් හේතුවක් වන්නේ වන්නේ මෙරට දේශපාලන ක්‍රියාවලියට අලුතින් එකතු වූ ජනයා (වසර 20-25 නොයික්ම වූ තරුණ තරුණියන්) එක්තරා ආකාරයකින් දේශපාලනය සමඟ පවත්වන්නේ දුරස්ථ සම්බන්ධය නිසාය. විශේෂයෙන් ම දේශපාලන පක්ෂ සමඟ, දේශපාලන නායකයන් සමඟ හා ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ සමඟ මේ තරුණ ජනයා පවත්වන්නේ ඉතාම දුරස්ථ සම්බන්ධයකි. එනිසා පවතින දේශපාලන අර්බුදය සමඟ ඔවුන් අනන්‍ය නොවේ. එනිසා මේ කිසිදු දේශපාලන පක්ෂයක පැත්තක් ගැනීමට ඔවුන් පෙලඹෙන්නේ නැත. කොටින් ම ඔවුහු ජනතා විමුක්ති පෙරමුණ සමඟ හෝ සම්බන්ධයක් නොපවත්වති. එසේ වූයේ නම් මේ වන විට ඔවුන් පාරට බැසීමට කටයුතු කර හමාර ය; නමුත් එසේ වී නැත. එනිසා පෙරකී රටවල තත්ත්වයට මෙය වර්ධනය වීමට ඇති ඉඩ සීමිත ය. එය එක්තරා ආකාරයකින් යහපත් තත්ත්වයකි.


දේශපාලන පක්ෂ වෙනුවට දේශපාලන කල්ලි බිහි වීම

අනෙක් අතින් අප දේශපාලන පක්ෂ ලෙස හඳුනා ගන්නා බොහෝ දේශපාලන ව්‍යාපාර පක්ෂ නොව කල්ලි ය. මේවා පක්ෂ නම් මීට වඩා විධිමත් විය යුතුය. එනිසා මේ දේශපාලන කල්ලිවලට බහුජන අරමුණු වෙනුවෙන් පෙනී සිටීමේ විභවයක් නැත. එනම් මහජනයාට සමාජ දේශපාලන දැක්මක් ලබාදීමට හෝ පොදු ජනයා දේශපාලන වැඩපිළිවෙළකට ඒකරාශී කරගැනීමට හෝ ප්‍රතිපත්ති ධාරාවක් මත එකතු කිරීමට හෝ මෙම කල්ලි අසමත් ය. එවැනි විභවයක් මේ අය තුළ නොවන්නේ ඔවුන් දේශපාලනය බලය මේ වනතෙක් යොදා ගෙන ඇත්තේ සිය ව්‍යාපාරික කටයුතු සඳහා වීම ය. එනිසා මේ දේශපාලන කල්ලිවලට තරුණ පරම්පරාව තුළ දේශපාලන සුජාතභාවයක් නැත. එසේම සාමාන්‍ය ජනයා පිළිබඳව සැලකීමේදී පවා ඔවුන්ට නායකත්වය සැපයීමට මේ කල්ලි අද අසමත් ය. මැතිවරණ කාලයේදී මැතිවරණ මානසිකත්වය සමඟ ඔවුන් ඒ සමඟ සම්බන්ධ වී කටයුතු කළ ද එය දේශපාලන මානසිකත්වයක් ලෙස ගිණිය නොහැකිය. වෙනත් ආකාරයකට කියන්නේ නම් අවුරුදු උත්සව කාලයට ජනතාව ඒ සමඟ කටයුතු කර කිසියම් වින්දනයක් ලබයි. අනතුරුව එය අමතකව යයි. එසේම මැතිවරණ කාලයට ඒ පිළිබඳව සැලකිලිමත් වී අනතුරුව එය අමතක කර දමයි. මේ කාරණා හේතුවෙන් පාලකයන්ට මේ රට ඔවුන් බලාපොරොත්තු වන විනාශය කාරා රැගෙන යෑමට නොහැකි වී තිබේ. ඇත්තෙන් ම මෙරට පාලකයන්ට මේ රට අවශ්‍ය නොවේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සති පොළකි. (කඩ කුලී , බිම් කුලී ලබාගන්නා ආකාරයට විවිධ පාර්ශව සමඟ ගනුදෙනු කරමින් ඒ හරහා පැමිණෙන එකඟතා මත කමිෂන් ලබාගනීමට කටයුතු කරති.) මේ හේතූන් නිසා පෙර කියූ ඛේදවාචකය සිදු නොවූවද එවැනි තත්ත්වයක් වර්ධනය කිරීමට අවශ්‍ය වටපිටාව මේ තුළ නැතුවාම නොවේ. ස්ථාවර නොවුණු අප වැනි රටවල් ඕනෑ ම මොහොතක වෙළෙඳ හා ආරක්ෂක මැදිහත් වීමකට ලක්වීමට හැකි ආකාරයේ හිස් බිමක් බවට පරිවර්තනය වන්නේ නම් විදේශිය බලවතුන් ඊට බෙහෙවින් කැමති ය. එවැනි බලවේගයකට මැදිහත් විය හැකි ඉඩ කඩක් මේ නිසා අතිවිය හැකිය. එනිසා දිගින් දිගටම මේ අස්ථාවර භාවය තුළ රට ගමන් කළ හොත් මෙය ඉතා දරුණු ඛේදවාචකයක් බවට පත් වීමට ඉඩ තිබේ. එනිසා හැකි ඉක්මනින් අප මීට පිළියම් සෙවිය යුතු අතර, ඒ සඳහා මේ අර්බුදය නිවැරදිව හඳුනාගත යුතුය.

අර්බුදයට මඟ පෑදූ දේශපාලන සැකැස්ම

මෙම ඛේදවාචකය පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා කූඨප්‍රාප්තිට පත් වුව ද මෙහි ඉතිහාසය ඉන් එහාට දිවයන්නකි. මේ රටේ පවතින පාර්ලිමේන්තු ක්‍රමය තුළ ව්‍යවස්ථාදයක, විධායක හා අධිකරණ යන අංශ තුන විධිමත් රේඛාවක නැති නම් බල තුලනයක පිහිටුවා නොතිබීම මේ අර්බුදය මේ තත්ත්වට වර්ධනය වීමට හේතු වී තිබේ. ප්‍රංසය, ඇමරිකා එක්සත් ජනපදය ... වැනි රටවල මේ අයතන තුන තුලනයකින් යුතුව පවත්වාගෙන යයි. එය හඳුන්වන්නේ සංවරණ හා තුලන මූලධර්මය ලෙසය. එනිසා මේ කිසිවක් නොමැතිව පැමිණි මේ දේශපාලන ගමන ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය කරමින් පැමිණි බව කිව හැකිය. එනම් 1978 ව්‍යවස්ථාව වනාහී ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් නොවේ. එය සම්පාදනය කළේ එක් පුද්ගලයෙකි. යටත්විජිත යුගයේ පැවති සාක්ෂි විමසීමේ කොමිසන් සභාව මඟින් ජනතාවගෙන් සාක්ෂි විමර්ශනය කර ඒ කරුණු සැලකිල්ලට ගෙන ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට කටයුතු කළ ද මෙහිදී එවැනි ඉඩක් හෝ ජනතාවට නොලැබුණි. එනිසාම 1978 ව්‍යවස්ථාව යනු ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් නොවනවා සේම එය තනිකරම දේශපාලන කල්ලියක අරමුණු (තමන්ට දිර්ඝකාලයක් බලයේ රැඳී සිටීමට) මූලික කරගෙන නිර්මාණය කළ ව්‍යවස්ථාවකි. එනිසා මේ අර්බුදය එදා සිටම නිර්මාණය වී තිබුණි. මෙනිසා ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන ආයතන තුන එකිනෙකට වග නොකියන ආයතන තුනක් දක්වා පිරිහුණි. මේ ආයතන තුන ම එදා සිට ම උත්සාහ කළේ අනෙකට වඩා එකක් බලවත් වීමට ය. එනිසා මෙය මේ මොහොතේ පැනනැඟුණු අර්බුදකාරී තත්ත්වයක් ලෙස ප්‍රකට වුව ද මෙය ඓතිහාසිකව වර්ධනය වෙමින් ආ අර්බුදයකි. අන්දකාරයේ නැති වී ගිය යතුරක් අකුණු එළියෙන් වුව ප්‍රඥාවන්ත මනුෂ්‍යයකුට සොයාගැනීමට හැකි යැයි කියති. ඒ ආකාරයට සිතන්නේ නම්, මෙය අපට මේ මොහොතේ මේ ඓතිහාසික අර්බුදයෙන් ගොඩ ඒමට ලැබුණු එක්තරා අවස්ථාවකි.

මේ රටේ කිසි දිනක ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු වී නැත. බ්‍රිතාන්‍යයන් විසින් අතහැර දැමිය යුතු කාලයේ මේ රට අතහැර දැමීය. එසේ අත හැර දැමූ රටක් ස්වදේශික වැඩවසම් ප්‍රභූන් අතට පත් වූවා මිස ජාතියේ පියකු හෝ මවක නිසා එසේ වූවා නොවේ. මෙරට බ්‍රිතාන්‍යයන් විසින් අතහැර දැමූ පසු මෙරට වැඩවසම් ප්‍රභූන් විසින් මෙය ඔවුන්ගේ පාලනයට නතු කරගත්තේය. මේ ප්‍රභූන් පාර්ලිමේන්තුව සිය නින්දගමක් බවට පත් කෙරිණි. එනිසා අප රටට උරුමව ඇත්තේ නින්දගම් දේශපාලන සම්ප්‍රදායක් විනා ප්‍රජාතාන්ත්‍රීය දේශපාලන සම්ප්‍රදායක් නොවේ. ඒ අනුව ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා පවුල් කිහිපයක් විසින් මේ රටේ දේශපාලන බලය අල්ලාගත්තේ ය. එසේම අද වන විට කල්ලි කිහිපයක් මේ දේශපාලන බලය අල්ලාගෙන සිටිති. ඒ අනුව බලන කල මෙකී බලයට හිමිකම් නොකියන්නේ මෙරට ජනතාව පමණි. ජනතා සංවිධානක් හෝ කණ්ඩායමක් හෝ මේවනතෙක් මෙරට දේශපාලන බලය අතපත් කරගෙන නැත. එනිසා පැරණි වැඩවසම් සම්බන්ධතා තුළම මිනිසුන් රවටමින් (තමන් පැමිණි පසු නොයෙක් දේවල් ලබාදෙන බව පවසමින්) ඡන්දය ලබාගෙන ප්‍රභූ පවුල් සහ කල්ලි විසින් විටින් විට මෙරට පාලනය කර ඇත. එනිසා මේතාක් අප විසින් නඩත්තු කරමින් ගෙනැවිත් ඇත්තේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හෝ පාලන ක්‍රමයක් නොවේ

දියවන්නාවේ නැති අහසේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය

එනමුත් අපට විටින් විට ඇසෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උත්තරීතර වන බවය. සත්‍යකි, නමුත් එය ඇත්තේ දියවන්නාවේ නොව අහසෙහිය. ප්‍රජාතන්ත්‍රවාදී බලය ස්ථාපිත කර ගැනීම සඳහා මෙරට කිසිදා විප්ලවීය මැදිහත් වීමක් සිදු වී නැත. මෙම තත්ත්වයට එරෙහිව නැඟී සිටි ඇතැම් පිරිස් පවා අවසානයේ ගොනු වූයේ මෙම ප්‍රජාතාන්ත්‍රීය නොවූ ව්‍යූහය තුළමය. එනිසා මෙය අප දිනා ගත යුතු තත්ත්වයකි. මෙම ප්‍රජාතාන්ත්‍රීය විපරිවර්ථනය සඳහා සැබෑ ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩනඟා ගැනීම සඳහා වූ විප්ලවීය ක්‍රියාමාර්ගයකට ගමන් කළ යුතුය. මේ ඊට කදිම අවස්ථාවකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් තීරණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනසක් සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවකි. මන්දයත් මේ මොහොතේ සියලු පාර්ශව (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ අය සහ පක්ෂ අය. නව අගමැතිවරයෙක් පත් කිරීමට විරුද්ධ අය සහ පක්ෂ අය) කතා කරමින් සිටින්නේ පාර්මේන්තු සම්ප්‍රදාය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වන නිසාය. එනිසා මේ සඳහා ජනයා සූදානම් කිරීමේ විශේෂ වූ කාර්යයක් විප්ලවීය සංවිධානවලට හා බුද්ධිමතුන්ට පැවරී තිබේ. එසේම මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාවෙන් නොනැවතී ඊට අදාළ ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා මේ තත්ත්වය අපට යොදා ගත හැකිය. එසේ නමුත් එය පාලකයන්ගෙන් ඉටු නොවන බව නම් සහතික ය. එනිසා මෙය ජනතාව කළ යුතු මැදිහත් වීමකි. ඒ සඳහා ජනතාව මේ පාලකයන්ගෙන් ගැලවිය යුතුය. එසේ ගැල වී “මේ දේ ඉටුකරන්න, මේ සඳහා මේ ක්‍රියාමාර්ගය ගන්න” ආදී වශයෙන් ඔවුන්ට බලපෑම් එල්ල කළ යුතුය. එසේම එය පුද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් නොව ජාතික අභිලාසයන් මූලික කරගත් කටයුත්තක් බවට නියත වශයෙන්ම පත් විය යුතුය. මේ සදහා නිර්මාණ ශීල්පීන් ජනතාව සමඟ එකට එකතු වී වැඩ කළ යුතුය. මන්දයත් මේ කාර්ය සැලසුම් සහගතව සිදු කිරීම සඳහා ඔවුන්ගේ සහය අත්‍යාවශ්‍ය වන හෙයිනි. එනිසා මෙය කිසිසේත් පැහැර හැරිය නොයුතු අවස්ථා ලාභයකි.

ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද?

මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බව ඇතැම් උදවිය යෝජනා කරති. මැතිවරණයක් පිළිබඳ ව මෙමඟින් යෝජනා වන නිසා මේ කවර යෝජනාවක් වුව එ් අර්ථයෙන් බලන කල හොඳය. එනමුත් අප විසින් විමසා බැලිය යුතු වන්නේ මෙහි ප්‍රතිඵලය කුමක් විය හැකිද? යන්නය. ජනාධිපතිවරණයක් පවත්වා කවුරුන් හෝ තේරීපත් විය හැකිය. නමුත් ගැටලුව වන්නේ එලෙස පත්වන ජනාධිපතිවරයාට හෝ වරියට හෝ කටයුතු කිරීමට සිදු වන්නේ මේ විකෘති පාර්ලිමේන්තුව සමඟ වීම ය. මේ මොහොතේ අවංකව කටයුතු කරන්නේ නම් මේ රටේ පාලකයන් තේරුම්ගත යුත්තේ 2015 අගෝස්තු මාසයේ පත් කරගත් පාර්ලිමේන්තුව සේම 26 වෙනිදා නිර්මාණය කරගත් පාර්ලිමෙන්තුව ද හුදු බල ගනුදෙනුවක් තුළ නිර්මාණය කරගත් යාන්ත්‍රණයක් මිස රටකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය වන සංයුතියක් නොවන බව ය.

අගෝස්තු මාසයේ සිට වසර තුනහමාරක් තිස්සේ ඉදිරියට පැමිණ ඇත්තේ එයයි. ඒ අනුව බලන කල මේ පාර්ලිමේන්තුව තුළ ඇත්තේ විකෘති බල තුලනයකි. මේ වන විට පාර්ලිමේන්තුව තුළ කිසිදු පාර්ශවයකට බහුතරයක් නොමැතිය.

බහුතර බලය සකස් කර ගැනීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ වෙනත් පාර්ශවයක් සමඟ ගනුදෙනුවකට යෑමෙනි. ඇතැම් විට එය රටට අතිශයින් ම අහිත කර කොන්දේසි අනුව සිදු වන ගනුදෙනුවක් විය හැකිය. එසේ වූ විට අප පෙර කතා කළ පරිදි ජාතික අභිලාසයන් ඉටු කරගැනීමට සමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය නොවේ. එනිසා අංක එකට සංශෝධනය කරගත යුතුවන්නේ පාර්ලිමේන්තුවය. ඉන් අනතුරුව අපට ජනාධිපතිවරණයකට ගමන් කළ හැකිය. ඊට හේතුව වන්නේ මේ පාර්ලිමේන්තුව මේ ආකාරයට පවතිද්දී කවරකු ජනාධිපතිවරා බවට පත් වුවද ඔහුට හෝ ඇයට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට නීතිය සහ පිළිවෙළ නඩත්තු කළ නොහැකි නිසාය. එසේම ජනයාගේ යහපත සඳහා ද ඔහුට හෝ ඇයට කටයුතු කිරීමට නොහැකිය. මන්ද යත් මෙම සන්ධානගත වීම නිසා ජානතා අපේක්ෂාවලින් බැහැරව එකී පාර්ශ්වයන්ගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවන නිසා ය.

මේ බල අරගලය ව්‍යසනකාරී ලෙස ඔඩු දුවමින් තවතවත් අර්බුද රාශියක් නිර්මාණය කිරීමට අති ඉඩකඩ ද බොහෝය. එනිසා කිසියම් දේශපාලන අරමුණක් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට කෙනකුට යෝජනා කළ හැකි වුවද, ජාතික අභිලාසයන් වෙනුවෙන් පෙනීසිටින අපට නම් එය කිසිසේත් අනුමත කළ නොහැකිය. මේ පාර්ලිමේන්තුව පිරිසිදු නොකර සිදු කරන කිසිදු මැදිහත් වීමකින් අපට අවශ්‍ය ප්‍රතිඵලය ළඟාකරගත නොහැකිය. මන්ද යත් එහි ආදීනව අපට කල්තියා විනිශ්චය කළ හැකි හෙයිනි.

silumina

Post Bottom Ad

Pages