තීරණ දෙකේ ඇතුළත කතාව - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-08

තීරණ දෙකේ ඇතුළත කතාව

Image result for decision?

"2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වූ දේශපාලනයට වෙනස්, සඟවාගත් දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුණු බවට වන අනෙක් තීරණාත්මක සාක්ෂිය වන්නේ බැඳුම්කර වංචාවයි. පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් කළේ දූෂණය වංචාව පිටු දකින, රටට මිතුරු ආර්ථික සංවර්ධනයක් උදෙසා නම් යහපාලන ආණ්ඩුවේ අරුණලු යාමයේ ම මෙවැනි මහා වංචාවක් සිදුවීමට ඉඩක් නොතැබිය යුතුව තිබුණි."

‘තීරණය රට ‍ෙවනුවෙන්’ යන තේමාවෙන් පසුගිය 4වැනි දා කොළඹ දී පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනය අමතා එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, දින දෙකකදී තමා ගත් විශේෂ තීන්දු දෙකක් ඉස්මතු කර දැක්වීය. 2014 නොවැම්බර් 21 හා 2018 ඔක්තෝබර් 26 එම දින දෙකයි. මේ දින දෙකට අදාළව ඔහු ගත් තීන්දු දෙක ගැන මේ වන විට රට පුරා සෑම තැනකදීම, සෑම තරාතිරමකදීම විවිධ විග්‍රහ ඉදිරිපත් වෙයි. වර්තමානයේ රට මුහුණ දෙන දේශපාලන අර්බුදය පහදා ගන්නට හැකි ආලෝක ධාරාව ද එම තීන්දුවලම ගැබ්වන බව එළඹගත් සිහියෙන් යුතුව ඒ ගැන විග්‍රහ කරන්නේනම් පෙනී යනු ඇත. අර්බුදය හරිහැටි දකින්නට නොහැකිව, තවමත් අඳුරේ අතපතගාන දේශපාලකයාටත් පොදුවේ රටවැසියාටත් එම ආලෝකය යම් පිහිටක් වනු ඇත.

විප්ලවීය තීන්දුව

2014 නොවැම්බර් 21වැනිදා වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව සිට, තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා විප්ලවීය තීන්දුවක් ගත්තේය. එම අවස්ථාවේ පක්ෂයට ද්‍රෝහි වී යැයි අවලාද නැගුණ ද ඔහු එම තීන්දුව ගත්තේ රටේ බහුතර ජන පදාසයක වුවමනාවන් වෙනුවෙන්ය කියන කාරණය තව අතකින් විග්‍රහ කළ හැකි විණි. එහෙත් ඒ පැත්ත හිතා මතාම යට ගැසිණි.

දේශපාලන පක්ෂයක් පවතින්නේ ද රට වෙනුවෙන් මිස රටක් පක්ෂයකට හෝ එහි නායකත්වයට ලඝු කිරීම වැරදි බවයි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එදින ගත් තීන්දුවෙන් සනාථ කෙරුණේ. මහින්ද රාජපක්ෂ මහතා තෙවන වර ජනාධිපති වීම වැළැක්වූ එම තීරණය නිසා ආර්ථික සංවර්ධනය අතින් ගත් කල අසීමිත දූෂණය වෙතට රට ගිය ගමනද වැළකිණි. එමෙන්ම ඊට සමගාමීව විජාතික අතපෙවීමකට තිබුණු ඉඩකඩ ද ඇහිරිණි. ශ්‍රී ලංකාව මුහුණ දෙන ඓතිහාසික අපලයක එක් මුහුණුවරක් වූ කොටි ත්‍රස්තවාදය, යුද්ධයෙන් පරාජය කොට පැහැදිලි දේශපාලන විසඳුමක් දී තිබියදීත් 13+ වැනි රටේ ඒකීය භාවය අනතුරේ දමන පියවරකට ද විජාතික බලවේග විසින් එවක රජය පොළඹවනු ලැබූ බව මෙහිදී අමතක නොකළ යුතුය. බලය දූෂණයට මාර්ගයක් වන නිසා, තෙවන වරටත් ජනාධිපති වීම දූෂණයට සුපිරි මාර්ගයක් ඉදිවීමට තිබුණු ඉඩ ද මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ගත් තීන්දුව නිසා මඟහැරිණි.

පරස්පර විරෝධය මවාපෑමක්

2018 ඔක්තෝබර් 26 වැනි දා සිදුවන්නේ කුමක්ද? තම රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් ඉවත් කොට, තමන් විසින් පරාජයට පත් කරන ලද මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙහි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළේය. පැවැති මහින්ද රාජපක්ෂ රජය පරාජය කළ ජනතා වුවමනාව පෙළ ගැසුණේ දූෂණය වංචාව පිටුදකින යහපාලනයක්, ශිෂ්ට සම්පන්න සාධාරණ සමාජයක් යන අරමුණු උදෙසාය. එම තර්කයට අනුව ජනාධිපතිවරයා ගත් දෙවන තීන්දුව අරමුණ හා ක්‍රියාව අතර පරස්පරයක් බව බැලූ බැල්මට පෙනී යයි. එහෙත් මතුපිටින් බලා කරුණු දැක්විය හැකි දේශපාලනයකට වඩා බරපතළ, රටට හතුරු සිදුවීම් මාලාවක් 2015 ජනවාරි 8වැනිදා සිටම ව්‍යවස්ථානුකූලව ද ඇරඹිණි. රටේ රාජ්‍ය නායකයා ජනාධිපති වුවද එතැන් පටන් ඇරඹුණේ අගමැතිගේ ආණ්ඩුවක් බව රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරයෙන් පෙන්නුම් කෙරිණි. අගමැතිගේ ආණ්ඩුව ‘ජනවාරි 8 - ජනතා අරමුණ’ නොසලකන අත්තනෝමතික ක්‍රියාකලාපයක් ගත්තේය. මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත් කිරීම පිණිස පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂය මෙහෙයවූයේ සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් අතැතිව ද යන කුකුස, එතැන් පටන් දිග හැරුණු සිද්ධි දාමය හරහා දිනෙන් දිනම වැඩුණු ආකාරය රහසක් නොවේ.

19 වැනි සංශෝධනයේ අවුල

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ සම්මත කර ගැනීම අගමැති ආණ්ඩුවේ න්‍යාය පත්‍රය එළිදැක්වූ අවස්ථාවක් බව එදාටත් වඩා හොඳින් දැන් පැහැදිලි වෙයි. රටේ අද පවතින දේශපාලන අස්ථාවර භාවය ඇතිවීමෙහිලා තීරණාත්මකව බලපෑවේ මෙකී 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයයි. ජනාධිපති ධුරයේ අසීමිත බලතල ගැන ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දමා කතා කරන ගමන්, මහජන ඡන්දයකින් ජනාධිපති විය නොහැකි අයෙක්, පාර්ලිමේන්තුව මගින් අගමැති තනතුර කෙසේ හෝ ලබා ගත හැකියැයි විශ්වාස කොට, එම අගමැති තනතුරට අසීමිත බලයක් ගොනු කළ කුමන්ත්‍රණයක් හැටියට ද 19 වැනි සංශෝධනයට අර්ථකතනයක් දිය හැකිය. ජනාධිපති වරයාගේ ධුර කාලය වාර දෙකකට සීමා කරන හා ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කරන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරට මුවා වී, 19වැනි සංශෝධනය හරහා දියත් වූයේ එවැනි රටට හතුරු අනතුරකි.

පටු ජාතිවාදී නියෝජනයක් සහිත සුළු ජාතික පක්ෂවලට පාර්ලිමේන්තුව හසුරුවන්නට හැකි අවස්ථාවක; ජනාධිපති ධුරයෙහි බලය පවරා ගත් අගමැතිවරයා, මහජන ඡන්දයකට අකමැති අගමැතිවරයා, එහෙත් බලය අත්හරින්නට ද අකමැති අගමැතිවරයා රටේ ඒකීය භාවය ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කරනුයේ කෙසේද? ජනාධිපති ධුරයේ බලතල අගමැති තනතුරට ඒකරාශි කරන මේ පරිවර්තනය 13+ අනතුරටත් වඩා භයානක වූ රටට හතුරුකමක් බවට ද අර්ථකතනය කළ හැකි වන්නේ ඒ අනුවයි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙතරම් භයානක වූවානම් ඉන් මඟ හැරුණු ඉතිරි බලතල අගමැති ධුරයට ගොනු කරනු පිණිස එජාපයේ හා දෙමළ ජාතික සංධානයේ ආශිර්වාදය මැද ජවිපෙ විසින් ගෙන එන ලද 20වැනි සංශෝධනය රටේ ඒකීය භාවයටත් දේශපාලන ස්ථාවර භාවයටත් මොන තරම් නම් අනතුරු දායක විය හැකිව තිබුණිද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් දෙවැනි තීන්දුව නිසා ඒ අනතුරට ද වැට බැඳිණි.

බැඳුම්කර බළලා මල්ලෙන් එළියට

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වූ දේශපාලනයට වෙනස්, සඟවාගත් දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුණු බවට වන අනෙක් තීරණාත්මක සාක්ෂිය වන්නේ බැඳුම්කර වංචාවයි. පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් කළේ දූෂණය වංචාව පිටු දකින, රටට මිතුරු ආර්ථික සංවර්ධනයක් උදෙසා නම් යහපාලන ආණ්ඩුවේ අරුණලු යාමයේ ම මෙවැනි මහා වංචාවක් සිදුවීමට ඉඩක් නොතැබිය යුතුව තිබුණි. අගමැතිගේ ආණ්ඩුව එකී වංචාව සාධාරණීකරණය කළේ හෝ ඒ ගැන නෑසුණා සේ කල් ඇරියේ තමන් රටට ඕන හැටියට නොව රට තමන්ට ඕන හැටියටය කියන උද්ධච්ච හැඟීමෙනි. පැවැති රජය පලවා හැරීමට යොදා ගත් සටන් පාඨය ම බලය ලබා ගත් සැණින් උල්ලංඝනය කිරීම තරම් රටට හතුරුකමක් හෝ රට අසරණ කිරීමක් හෝ තවත් තිබෙන්නට හැකිද? රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ඒ හානිය බිය සැක නැතිවම කළේය. ඊටත් වඩා රටට හතුරුකම වන්නේ විජාතික අතපෙවීම් සඳහා තාර්කිකවම පෙනී සිටීමයි. රටේ ඒකීය භාවයට පමණක් නොව ආර්ථික සංවර්ධනයට ද අනතුරු කැන්දන ලෙස ඒ අතින් ඉදිරියට ගියේ එලිපිටමයි.

තමන්ට ව්‍යවස්ථාපිත බලයක් නැතිවත් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩු සමයේ අගමැති ලෙස, නෝර්වේ රජය (බටහිර) අතරමැදියකු කර ගෙන, කොටි ත්‍රස්වාදීන් සමඟ සටන් විරාම ගිවිසුමකට යාමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර මේ සිදුවීම් සමඟ ගලපා බැලීම වටී. එනම් ඔහුට ව්‍යවස්ථාපිත විධායක බලයක් ලැබුණොත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක කප්පිත්තා වනු ඇත්තේ ඔහුද නැතිනම් ඔහු චෝදනා කරන අනෙක් අයද යන්න විමසා බැලිය හැකිය. රටේ ආර්ථිකය විදේශීය වුවමනාවන් මත තබන්නට මුල් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කමිටුවේ අත්නෝමතික ක්‍රියාවන් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිප විටක් කළ ප්‍රකාශ මගින් ද තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එදා සිටම නියැළී සිටින මේ අත්තනෝමතික දේශපාලනයයි.

දොන් ජුවන් හා විභීෂණ කණ්ඩායම්

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වීමට ගත් තීරණයත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීමට ගත් තීරණයත් රටට මිතුරු ප්‍රතිපත්තියක පිහිටා ගත් දේශපාලන තීන්දු දෙකක් බව රට ගැන හිතන රටවැසියාගේ කල්පනාවට යා යුතුය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීන්දු දෙක මඟින් කර ඇත්තේ, මව් බිම තම පෞද්ගලික දේපළක්, කෙළිබිමක්, දඩබිමක් ලෙස සිතා, රටට හතුරු දේශපාලනයක නියැළෙන දෙස් විදෙස් එකමුතු බලවේගයක් වෙනුවෙන් තනිව නැඟී සිටීමයි. පාර්ලිමේන්තුවේ ගැලරියට පැමිණ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල හෑල්ලුවට දැමූ පාර්ලිමේන්තු හැසිරීම වෙනුවෙන් දිරිදුන් විදෙස් තානාපතිවරුන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන්, ජන සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් එසේ කළායැයි සිතීම මුළාවකි.

රටට මිතුරු චේතනාව

රටට හතුරු බලවේගයක් මෙලෙස බලවත් වන අවස්ථාවක එය පරාජය කළ හැකි සංස්කෘතික හයිය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යි. විජාතික සන්ධානය එම පක්ෂය දෙකඩ කරන්නට කටයුතු කළ බව ද හිතන්නට ඉඩ ඇත්තේ එබැවිණි. රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වේදිකාවකට ගැනීමේ රටට මිතුරු චේතනාව පොදු අපේක්ෂකයා වූ දා පටන් ම මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ විණි. යහපාලනයට හා ශිෂ්ට සම්පන්න සමාජයක් උදෙසා රටේ ප්‍රධාන පක්ෂ දෙක එක් අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමද අවශ්‍යම දේශපාලන ගමනකි. එහෙත් රටට හතුරු වීමේ ඓතිහාසික විකාශනයක් වන දොන් ජුවන් කණ්ඩායම හා විභීෂණ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මඟට එරෙහිව සන්ධානගත වූ බව පෙනී යයි. බැලූ බැල්මටම නොපෙනෙන මේ යට දේශපාලනය මහත් පීඩාවක් මැද දකින්නට හැකි වූ නිසා, විසිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි සමඟි මාවතට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට කැඳවීම මඟින් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළා විය හැකිය.

රටට හතුරු බලවේගයට එරෙහිව තමන් නියැළී සිටින රටට මිතුරු සටන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයේ දී රටට පැහැදිලි කරනු ලැබීම කෙරෙහි ද මේ දේශපාලන පසුබිම හේතු වන්නට ඇත.

ලක්ෂිත රාජතිලක - silumina

Post Bottom Ad

Pages