අපට සම්භාව්‍ය සංගී­ත­යක් අහිමි වුණේ ඉන්දීය ගැති­භා­වය නිසයි - ලංකා සාන්ත - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-08

අපට සම්භාව්‍ය සංගී­ත­යක් අහිමි වුණේ ඉන්දීය ගැති­භා­වය නිසයි - ලංකා සාන්ත




සුනිල් සාන්ත නම් වූ දැවැන්ත සංගි­ත­වේ­දි­යාගේ ජීවි­තය පිට­පස සැඟව තිබූ අදිසි හස්තය පිළි­බඳ අද අපිට හෙළ­ද­රව් කරන්නේ ඔහුගේ එක් පුත්‍ර රත්න­යක් වන ලංකා ශාන්ත ය. ඔහු කිසිදු දිනක සංගී­ත­යට සම්බ­න්ධ­තා­වක් දක්වා නැත. එහෙත් සිය පියාගේ මැදි­හ­ත්වීම තව දුර­ටත් සමා­ජය වෙත විදා­ර­ණය කර­න්නට හෙතෙම නිර­න්ත­ර­යෙන් ම වෙහෙස දරයි. මතු දැක්වෙන්නේ ඔහු සමඟ කළ සාක­ච්ඡාව ය.

ඔබේ පියා දැඩි ලෙස අසා­ධා­ර­ණ­යට ලක්වුණ සංගීත ශිල්පි­යෙක්. ඔබ ඒ සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත් වෙන්නෙ කොහො­මද?

ඒ දේවල් අපි දැන­ගන්නෙ පසු කාල­යක දී. තාත්තා සංගී­තය ඉගෙන ගන්න ඉන්දි­යා­වට යන්නෙ 1939 වසරේ. ඉන්දි­යාවේ ශාන්ති නිකේ­ත­නයේ වස­රක සංගී­තය හදා­රලා පසුව භාත්ඛ­ණ්ඩෙට යනවා. එහි වසර හත­රක් ම සංගී­තය හදා­ර­නවා. ආපසු තාත්තා ලංකා­වට එන්නෙ 1944 වසරේ. ඒ එන්නෙ ගාය­නය සහ වාද­නය යන විෂ­ය­යන් දෙකට ම පළමු පන්තියේ සාම­ර්ථ්‍ය­යක් අර­ගෙන. ඒ ආවට පසුව ඔහු ඕළු පිපිලා, හඳ­පානේ යන ජන­ප්‍රිය ගිත පද රච­නය කරලා, සංගීත තනු නිර්මා­ණය කරලා ගායනා කර­නවා. තාත්තාගේ පළමු ගීත රචනා පොත වන ‘රිදි වලාවේ’ කෘතිය නිකුත් කරන්නෙ 1947 වසරේ. එහි ඇතු­ළත් වුණ ගීත දහ­ස­යෙන් දොළ­හක් ම රචනා කළේ තාත්තා. මගේ මත­ක­යට අනුව නම් ඉතිරි ගීත හතරේ රච­කයා වුණේ කුමා­ර­තුංග මුනි­දාස මහ­ත්මයා. මේ ගීත හතර ඇතුළු සියලු ම ගීත­වල තනු නිර්මා­ණය සහ ගාය­නය තාත්තාගේ.

ඔබ පව­සපු ආකා­ර­යට විදේ­ශ­ය­කින් සංගී­තය හදා­රලා දක්ෂතා දක්වලා ලංකා­වට එන තාත්තා පිළි­ගන්න පිරි­සක් මේ රටේ හිටියා ද?

සංගී­තය පිළි­බඳ සියලු විභා­ග­ව­ලින් පළමු සාම­ර්ථ්‍යය ලබා­ගෙන ආපු තාත්තාට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ හිටපු ප්‍රධා­නියා ලබා දීලා තිබුණෙ ශාරී­රික අභ්‍යාස (සරඹ) ගුරු තන­තු­රක්. එහෙම දෙන්න හේතුව තාත්තා පාසල් අව­ධියේ හොඳ මලල ක්‍රීඩ­ක­යෙක් වීම. නමුත් තාත්තා එය ප්‍රති­ක්ෂේප කර තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් සංගී­තය පිළි­බඳ පළමු සාම­ර්ථ්‍ය­යක් ලංකාවේ දී ලැබු­වත් ඒ පුද්ග­ල­යාට සංගීත විද්‍යා­ලයේ කථි­කා­චාර්ය තන­තු­රක් දෙනවා. නමුත් භාත්ඛණ්ඩේ විභා­ගයේ පළමු සාම­ර්ථ්‍යය ලබා­ගෙන හිටපු තාත්තාට අවම වශ­යෙන් පාසල් සංගීත ගුරු තන­තු­රක් හෝ දෙන්නෙ නැහැ.

ඒ සිද්ධි­යෙන් පස්සෙ මොකද වෙන්නෙ?

මේ සිද්ධි­යෙන් පස්සෙ තාත්තා රක්වානෙ හිටපු මාම කෙන­කුගේ ගෙදර යනවා. එහේ දී ගීත කිහි­ප­යක් ම ලියලා තනු දාලා නැවත ගුවන් විදු­ලි­යට එනවා. තාත්තා ඉන්දි­යාවේ යන්න කලින් ගුවන් විදු­ලි­යත් එක්ක සම්බ­න්ධ­යක් තිබුණා. ඒ කාලේ තාත්තාගේ ළඟම හිත­වතා වෙලා හිටියේ සූර්ය ශංකර් මොල්ලි­ගොඩ මහ­ත්මයා. ගුවන් විදුලි සංස්ථාවේ දී පළ­මු­වෙන් ම තාත්තාගේ ගීත­යක් තැටි­ගත වෙන්නෙ ඊට පසු­වයි. ඒ ‘ඕළු පිපිලා’ නමැති ගීතය. ඒ දව­ස්වල කියන්නේ ‘තැටි කප­නවා’ කියලා. දෙවන ගීතය ‘සඳ­පානේ’ නමැති ගීතය.

සුනිල් සාන්ත සංගි­ත­වේ­දි­යාගේ ජිවි­තයේ අභා­ග්‍ය­ස­ම්පන්න කාලය උදා­වෙන්නෙ ඉන්දි­යානු සංගීත ශිල්පී රත­න­ජං­කර්ගේ ලංකා­ග­ම­න­යෙන් පසුව බව වාර්තා වෙනවා.

මගේ තාත්තා සංගීත විෂ­යය ඉගෙ­න­ගන්නේ රත­න­ජං­කර් සංගි­ත­වේ­දි­යා­ගෙන්. ඒක ඇත්ත. මගේ තාත්තාගේ දක්ෂ­තාව පිළි­බඳ රතන ජංකර්ගේ අස්ස­නින් යුත් ලිපි­යක් පවා ඒ කාලයේ තිබුණා. ඇත්තට ම ඒක සහ­ති­ක­යක්. එහි සඳ­හන් වෙලා තිබුණේ තාත්තා හොඳ ම ශිෂ්‍යයා විදි­යට පළමු පෙළ සාම­ර්ථ්‍ය­යක් ලබා­ගත් බවයි. ඒ යුගයේ සංගී­තය පිළි­බඳ ව තාත්තා තර­මට ඉගෙන ගත්තු කෙනෙක් ඉඳල නැහැ. මෙතැ­නදි මට පැහැ­දිලි කරන්න වුව­මනා දෙයක් තියෙ­නවා. ඒ, ගීත ගායනා කර­නවා යන්න සහ සංගී­ත­වේ­දියා යන්න පැහැ­දි­ලිව ම විෂ­ය­යන් දෙකක් බව. ගීත ගායනා කරන හැම දෙනාට ම සංගී­ත­වේ­දි­යකු වෙන්න බැහැ. අනෙක් පැත්තෙන් බැලු­වාම ඇතැම් සංගී­ත­වේ­දියෝ ඉන්නවා වෙනත් විදෙස් නිර්මා­ණ­යක් ඇසුරු කරලා, එය අනු­ග­ම­නය කරලා හෝ ඒ ආකා­ර­යට සංගී­තය නිර්මා­ණය කරන. නමුත් තාත්තා ඉන්දීය සංගී­තය හැදෑ­රු­වාට ඔහු අපේ ම කියන දේ පිළි­බ­ඳව විශේෂ අව­ධා­න­යක් යොමු කළා.

රත­න­ජං­කර් ලංකා­වට පැමිණි වේලාවෙ තාත්තාගේ මතය වුණේ අපි අපේ සංගීත ආරක් අනු­ග­ම­නය කර­නවා මිස ඉන්දි­යානු සංගී­තය අනු­ග­ම­නය කළ යුතු නැහැ යන්නයි. ඒ වගේ ම අපේ සංගී­තය වර්ගී­ක­ර­ණය කරන්න ඉන්දි­යානු සංගීත ශිල්පි­ය­කුට බැහැ. එය කළ යුත්තේ අපි බවයි තාත්තා අද­හස් කළේ. නමුත් ඒ වන විට ගුවන් විදුලි සංස්ථාවේ හිටපු බොහෝ දෙනකු තාත්තා සමඟ යම් ඊර්ෂ්‍යා­ව­කින් පෙළුණා. ඒ අයට වුව­මනා වුණේ රත­න­ජං­කර් ඉදි­රියේ පෙනී ඉඳලා සාම­ර්ථ්‍ය­යක් ගන්න. තාත්තා එයට සපු­රාම විරුද්ධ වුණා.

ඒ එක්කම තාත්තා මතු කරපු තර්කය වුණේ රත­න­ජං­කර් ලංකා­වට එන සමය වෙද්දි තාත්තා මෙරට සංගී­තය පිළි­බඳ වසර හයක් පමණ පර්යේ­ෂ­ණ­වල නිරත වෙලා හිටියා. එය රට ම පිළි­අ­ර­ගෙ­නත් තිබුණා.

ඒ සංගී­තය පිළි­බඳ රතන ජංකර්ට දැනු­මක් නැහැ. ඒ නිසා ම අපේ දේශීය සංගී­තය වර්ග කරන්න තර­මට එයාට සුදු­සු­කම් නැහැ යන්නයි තාත්තාගේ මතය වුණේ. ඒ මතය දැඩිව අනු­ග­ම­නය කරපු තාත්තා කිය­නවා රත­න­ජං­කර් ගේනවා නම් මම ඒ පරී­ක්ෂ­ණ­යට සහ­භාගි නොවන බව. ඒ තාත්තාගේ ප්‍රති­පත්ති තීර­ණ­යක්. අව­සා­නයේ තාත්තාට ඊර්ෂ්‍යා කරපු අයගේ මැදි­හත් වීමෙන් රත­න­ජං­කර් ගෙන්ව­නවා. තාත්තා ඒ පරි­ක්ෂ­ණ­යට යන්නෙ නැහැ. ඒ පරී­ක්ෂ­ණ­යට නොගිය නිසා තාත්තාට ගුවන් විදුලි සංස්ථාවේ දොර වැහෙ­නවා.

නමුත් වසර ගණ­නා­වක ඇවෑ­මෙන් යළිත් සුනිල් සාන්ත සංගි­ත­වේ­දි­යාට ගුව­න්වි­දුලි සංස්ථාව ආරා­ධනා කර­නවා?

ඔව්. එදා රත­න­ජං­කර් හමුවේ අපේ සංගී­තය පාවා නොදුන් තාත්තාට ඊට අවු­රුදු පහ­ළො­ව­කට පස්සෙ ගුවන් විදුලි සංස්ථා­වෙන් ආරා­ධනා කර­නවා. මොකට ද ආරා­ධනා කරන්නේ... එදා රතන ජංකර් ඇවිත් කරපු සංගීත පරී­ක්ෂ­ණය කරන්න. ඒ අනුව අපේ ශිල්පීන් වර්ග කරන්න. ඒ වෙද්දි ගුව­න්වි­දුලි සංස්ථාවේ හිටපු බල­ධා­රින් පිළි­ග­න්නවා රත­න­ජං­කර් කළ දේ සුනිල් සාන්තට කරන්න පුළු­වන් බව. අම­ර­දේව මහ­ත්මයා ඉන්දි­යාවේ ගිහින් එන්නෙ 1958 වසරේ. ඒ වන විට ඔහුත් දක්ෂ සංගීත ශිල්පි­යෙක්.

ගුවන් විදුලි සංස්ථාවේ අය තාත්තාට කොප­මණ ඊර්ෂ්‍යා කළත් තාත්තා කිය­නවා ‘මම තනි­යම නොවෙයි අපි කිහිප දෙනෙක් ම මේ පරි­ක්ෂ­ණය කරමු’ කියලා.

ඒ අනුව ඒ පරී­ක්ෂණ මණ්ඩ­ලයේ මුලි­කයා වෙන්නෙ තාත්තා. අනෙක් දෙදෙනා විදි­යට තාත්තා තෝරා ගන්නේ අම­ර­දේව මහ­ත්මයා සහ රූප­සිංහ මහ­ත්මයා.

ඒ පරී­ක්ෂ­ණ­යට යද්දි තාත්තා තනි­යම ගියේ නැහැ. අපි දකි­නවා එක් එක් ශිල්පීන් ඇවිත් තමන්ගේ දක්ෂතා ඉදි­රි­පත් කර­නවා. ඒ අනුව මට වැට­හුණු කාර­ණය වෙන්නෙ 1952 වසරේ වර්ග කිරීම පව­රන්න තිබු­ණෙත් සුනිල් සාන්ත නමැති සංගී­ත­වේ­දි­යාට මිස රත­න­ජං­කර්ට නොවේ යන්නයි. එදා ගුවන් විදුලි සංස්ථාවේ අය අර විදියේ අත්ත­නෝ­ම­තික වැඩක් නොක­රන්න අපේ රටේ අපේම වුණු සම්භාව්‍ය සංගීත පර­පු­රක් බිහි­වෙන්න තිබුණා. ඒ අව­ස්ථාව අහිමි වුණේ අපේ බල­ධා­රින්ගේ තිබුණු ඉන්දීය ගැති­භා­වය නිසා.

මම පොත්ප­ත්වල කියවා තිබෙ­නවා ඔබේ පියාට ජීවිත තර්ජන තිබුණු බව?

ඒක තර­මක් සංකීර්ණ කතා­වක්. ඒ යුගයේ ආසි­යාවේ ම පළමු ගුවන් විදුලි නාලි­කාව වුණේ අපේ ගුවන් විදුලි සංස්ථාව. ඒ කාලෙ අපේ ගුවන් විදුලි සේවය ඉන්දි­යා­ව­ටත් ඇහුණා. එහෙම ඇහෙද්දි ඉන්දි­යා­වට දැනෙ­නවා ඉන්දි­යාවේ නැති සංගී­ත­යක් ලංකාවේ පව­තින බව.

‘ඕළු පිපිලා’ සහ ‘බෝවි­ටියා දං’ යනාදි ගීත ඉන්දි­යාවේ සංගීත රටාව බැහැර කරපු අපේ ම ආරක ගීත. ඒ ගීත බට­හිර ආරක් ගත්තෙත් නැහැ. කිසිදු ආග­මික නැඹු­රු­ව­කුත් නැහැ. මේ වෙනස ඉන්දි­යා­වට දැනෙ­නවා. ඒ අයගේ රට­ව­ලට පවා මෙම සංගීත ආර පැති­රේය යන බිය ඔවුන්ට ඇති වෙනවා. මම විශ්වාස කරන්නෙ මේ සියලු සිදු­වීම් පිටු­පස ඉන්දි­යානු මැදි­හත් වීම බල­පාන්න ඇති බවයි.

ඔබ අහපු ජිවිත තර්ජන පිළි­බ­ඳව පැහැ­දිලි කර­නවා නම්, තාත්තාගේ හොඳ ම යාළුවා වුණ සූරිය ශංකර් මොල්ලි­ගොඩ මහ­ත්මයා මිය යන්නෙ ඔහුට අවු­රුදු තිස්ග­ණ­නක් වෙද්දි.

ඔහු වෙනු­වෙන් තාත්තා ‘සුමි­හිරි මිහි­රැති මල් ඇයි මෙත­රම් හනි­කට පර­වන්නේ’ යනු­වෙන් ගීත­යක් නිර්මා­ණය කර­නවා. ඒ ගීතයේ ‘ මා මිතුරා ගැලවූ සැටි මා හතු­රන් අත­රින්’ යනු­වෙන් පද­යක් තියෙ­නවා. තාත්තා ඒ ගැන කව­දා­වත් අපිට කියලා නැහැ.

නමුත් අපේ රටේ හිටපු ප්‍රසිද්ධ ගීත රච­ක­ය­කුගේ පුතෙක් මට පසු කාල­යක දී මේ විදියෙ දෙයක් කිව්වා. එයාගේ තාත්තා අපේ තාත්තා­ගෙන් අර පදයේ අර්ථය අසා තිබෙ­නවා. ඒ අව­ස්ථාවේ අපේ තාත්තා එයාට කියලා තියෙ­නවා එක්තරා පුද්ග­ල­යෙක් තාත්තාට වස දෙන්න සූදා­නම් වෙද්දි තාත්තා බේරා­ගත්තේ සුර්ය ශංකර් මොල්ලි­ගොඩ මහ­ත්මයා බව.

තාත්තා විවාහ ජිවි­ත­යට ඇතුළු වෙලා තියෙ­න්නෙත් මේ අව­ධියේ දී. ඔය කාල සීමාවෙ දී තාත්තාගේ ගීත පොත් හොරෙන් මුද්‍ර­ණය කරලා තියෙ­නවා. ඒ සඳහා සහ­යෝ­ගය දක්වලා තියෙ­න්නෙත් ගුවන් විදුලි සංස්ථාවේ හිටපු බල­ධා­රින් බව පසුව තාත්තා දැන­ගෙන තියෙ­නවා. මේ සියලු දේ පිළි­බ­ඳව කල­කි­රුණු තාත්තා ආයෙ අම්මා එක්ක ජාඇළ දෙහි­යා­ගාත ගමට යනවා. එහේ අවු­රුදු පහ­ළො­වක් ජීව­ත්වෙ­නවා.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහ­ත්මයා සුනිල් සාන්ත සංගිත ශිල්පියා හමු­වෙන්නෙ ඔය කාලයේ නේද?

ඔව්. රේඛාව චිත්‍ර­ප­ටයේ සංගි­තය නිර්මා­ණය කිරීම සඳහා තාත්තාව සොයා­ගෙන එන්නෙ, එහෙම ගමේ ගිහින් විවිධ රැකියා කර­ගෙන ඉන්න කාල සිමාවේ. රේඛාව නිර්මා­ණය වෙන්නෙ එතෙක් ලංකාවේ නිර්මා­ණය කළ චිත්‍ර­ප­ට­ව­ලට වඩා වෙනස් විදි­ය­කට. එහි ගීත එතෙක් අපේ සින­මාවේ තිබුණ ගීත­ව­ලට වඩා නැවුම් බවක් ගන්නවා. කිසිදු ඉන්දි­යානු සංගීත ආරක් ඒ ගීත­වල අඩංගු වෙන්නෙ නැහැ. ඒ ගීත සහ සංගී­තය වගේ ම සිනමා නිර්මා­ණ­යත් ඉතා ජන­ප්‍රිය වෙනවා.

සන්දේ­ශය චිත්‍ර­ප­ට­යට සුනිල් සාන්ත සංගී­ත­වේ­දියා දක්වපු දාය­ක­ත්වය මොන වගේ ද?

සන්දේ­ශයේ ගීත ලියන්නෙ අරි­සෙන් අහු­බුදු මහ­ත්මයා. තාත්තා සංගී­තය සප­ය­නවා. සන්දේ­ශය චිත්‍ර­ප­ටයේ ගීත විශාල වශ­යෙන් ජන­ප්‍රිය වෙනවා. ඒ සිනමා නිර්මා­ණ­යේ­දිත් තාත්තා ඔප්පු කර පෙන්ව­නවා අපිට ඉන්දි­යානු සංගී­තය නැතුව අපේම වූ සංගීත ආර­කින් නිර්මාණ කරන්න පුළු­වන් බව. පසු කාල­ය­කදි ලෙස්ටර් ජේම්ස් පිරිස් මහ­ත්මයා අපේ තාත්තාව සොයා­ගෙන ඇවිත් ඔහුට මුදල් දෙනවා. තාත්තා අහ­නවා මොන­වට ද කියලා. ලෙස්ටර් ජේම්ස් පිරිස් මහ­ත්මයා කිය­නවා ඒ මුදල් සන්දේ­ශය චිත්‍ර­ප­ටයේ ගීත විකු­ණපු මුද­ලෙන් තාත්තාගේ කොටස බව. ලෙස්ටර් මහ­ත්මයා ඒ තර­මට නිහ­ත­මානි පුද්ග­ල­යෙක්. 1967 දී නැවත ගුවන් විදු­ලි­යට කතා කරලා අර පරී­ක්ෂ­ණය කරන්න කියල තාත්තාට ආරා­ධනා කරන්නෙ ඔය කාල­යෙන් අන­තු­රු­වයි.

සුනිල් සාන්ත සංගී­ත­වේ­දියා කව­දා­වත් චිත්‍ර­පට සංගීත නිර්මා­ණය සඳහා ඉන්දි­යා­වට යන්නෙ නැහැ. මෙයට විශේෂ හේතු­වක් තියෙ­නවා ද?

ඒ සඳහා පාදක වෙන්න ඇති යැයි මම අනු­මාන කරන කාර­ණ­යක් තිබෙ­නවා. මට හිතෙ­නවා තාත්තාට ඉන්දි­යාවේ දී යම් අන­තු­රක් කරාවි යන සැකය ඔහුට තියෙන්න ඇති. මොකද අපි දන්නවා සේනක බිබිලේ මහ­ත්ම­යාට අත්වුණ ඉර­ණම. ඇතැම් විට තාත්තා හිතන්න ඇති ඉන්දි­යාවේ දී තාත්තාව ඝාත­නය කරාවි කියලා. මේ සම්බ­න්ධ­යෙන් ඔහු කව­දා­වත් කියලා නැහැ. නමුත් ඔහුගේ සම­කා­ලින අය කියන විස්ත­ර­ව­ලට අනුව ඔහු පිළි­බඳ ඉන්දි­යාව දැඩි අම­නා­ප­ය­කින් පසු­වෙලා තියෙ­නවා. අයිවෝ ඩෙනිස් මහ­ත්මයා යවන්නේ නිර්මා­ණ­යට අදාළ සියලු දේ සම්පූ­ර්ණ­යෙන් ම ඔහු වෙත ලබා දීලා. අපි සමඟ ගුවන් විදුලි සංස්ථා­වට ගියෙත් ඒ සැකය නිසා වෙන්න ඇති කියලා මම අනු­මාන කර­නවා.

පල්ලියේ සංගී­තය අනු­ග­ම­නය කළ බවට ඇතැම් අය සුනිල් සාන්ත සංගි­ත­වේ­දි­යාට චෝදනා කළා?

ඔව්. සම­හර අය එහෙම චෝදනා කළා. නමුත් ඒ කිසි­වක් සාක්ෂි සහි­තව ඔප්පු කළේ නැහැ. නමුත් ඕස්ට්‍රේ­ලි­යානු ජාතික ආචාර්ය ටෝනි ඩොන­ල්සන් මහ­ත්මයා පරී­ක්ෂ­ණ­යක් කරලා ඔප්පු කරලා තිබෙ­නවා දළදා මාලි­ගාවේ කවි­කාර මඩුවේ සංගී­තය සහ සුනිල් සාන්තගේ නිර්මා­ණ­වල ඇතු­ළත් සංගී­තයේ මුලික සිද්ධාන්ත සමාන බව. ඒ ප්‍රකා­ශ­යෙන් ඔප්පු­වෙන්නෙ මොනවා ද? සුනිල් සාන්ත කිසි­යම් සංගිත නිර්මා­ණ­යක් කර තිබේ ද එය අපේ ම වූ සංගී­ත­යක් බවයි. නව­සිය හත­ළිහ සහ පනහෙ දශ­ක­වල ලංකාවේ ජන­ප්‍රිය ම ගාය­කයා වෙන්නේ සුනිල් සාන්ත.

අම­ර­දේව මහ­ත්මයා සහ අයිවෝ ඩෙනිස් මහ­ත්මයා සමඟ සුනිල් සාන්ත සංගී­ත­වේ­දි­යාගේ පැවති සබ­ඳ­තාව මොන වගේ ද?

තාත්තා සමඟ බොහොම කලින් සහ ළඟින් ගැව­සෙන්නේ අම­ර­දේව මහ­ත්මයා. ඒ. ජේ. රණ­සිංහ මහ­ත්මයා ලියපු යමක් මම සිහි­පත් කර­න්නම්. නව­සිය හත­ළිස් පහේ දී පමණ තාත්තා චිත්‍ර­සේන මහ­ත්මයා සහ ඒ. ජේ. රණ­සිංහ මහ­ත්මය බොහොම කිට්ටු­වෙන් ඇසුරු කර තිබෙ­නවා. රණ­සිංහ මහ­ත්මයා නවා­තැන් අර­ගෙන ඉඳලා තියෙ­න්නෙත් චිත්‍ර­සේන මහ­ත්ම­යාගේ කලා ආය­ත­නයේ ම යි. ඒ කාලේ තාත්තා දව­සක් චිත්‍ර­සේන මහ­ත්ම­යාට කිව්වලු ‘එක ළම­යෙක් ඉන්නවා එයා හොඳට වය­ලි­නය වාද­නය කරන්න පුළු­වන්‘ කියලා. චිත්‍ර­සේන මහ­ත්මයා කියලා තියෙ­නවා ‘ඒ ළමයා එක්ක­ර­ගෙන එන්න‘ කියලා. ඒ වෙද්දි අම­ර­දේව මහ­ත්මයා අවු­රුදු 18ක පමණ ශිෂ්‍ය­යෙක්ලු. එයා වය­ලී­නය වයලා පෙන්නු­වාම චිත්‍ර­සේන මහ­ත්මයා කියලා තියෙ­නවා, තමන්ගේ කලා­ය­ත­නයේ නතර වෙලා ඉගෙන ගන්න කියලා. ඒ වේලා­වෙම ඒ.ජේ. රණ­සිංහ මහ­ත්මයා අම­ර­දේව මහ­ත්ම­ය­ලගේ ගෙද­රට ගිහින් එයාගේ ඇඳුම් ටික බෑග් එකක දාගෙන ඇවිත් ඒ.ජේ. රණ­සිංහ මහ­ත්ම­යාගේ කාම­රයේ ම නතර කර­ගෙන තියෙ­නවා. ඒ වගේම අම­ර­දේව මහ­ත්මයා මා සමඟ පවසා තිබෙ­නවා, අපේ තාත්තා ඒ කාලෙ අම­ර­දේව මහ­ත්මයා තාත්තාගේ ගමට එක්ක­ර­ගෙන ගිහින් ගමේ පරි­ස­රය පෙන්න­වලු. ‘ඕළු පිපිලා’ සහ ‘බොවි­ටියා මා දං’ යන ගීත ලිව්වෙ ඒ පරි­ස­රය නර­ඹ­මින් බව තාත්තා අම­ර­දේව මහ­ත්ම­යාට කිව්වලු.

අයිවෝ ඩෙනිස් මහ­ත්මයා තාත්තාට හමු­වෙන්නෙ නව­සිය පනස් දෙක වසරේ. එයාගේ හැකි­යාව දැකලා එයාට උග­න්වලා තියෙ­න්නෙත් නොමිලේ. පසු කාලෙක දී ක්‍රිස්ටෝ­පර් පෝල් මහ­ත්ම­යත් තාත්තා­ගෙන් සංගී­තය ඉගෙ­න­ගෙන තිබෙ­නවා. මහා­චාර්ය කාලෝ ෆොන්සේකා, මහා­චාර්ය නන්ද­දාස කෝදා­ගොඩ, මහා­චාර්ය විනී විතා­රණ සහ දොස්තර මහින්ද තෙන්න­කෝන් යන දක්ෂ අය වෙනත් විෂ­ය­යක යෙදිලා හිටි­යත් තාත්තා­ගෙන් සංගී­තය ඉගෙන ගෙන තියෙ­නවා.

ඔහු ඉගෙන ගත් විෂ­යය භාවිත කරන්න අව­ස්ථාව ලැබෙන්නෙ වසර හය යි. ඔහුට සිය හැකියා පෙන්වන්න අව­ස්ථාව පව­තින්නේ 1946 සිට 1952 දක්වා පම­ණයි. නමුත් කිසි­වක් ම හදා­රන්නෙ නැතිව වසර පහ­ළො­වක් ඉක්ම ගියාට පසුව ඔහු ගුවන් විදු­ලි­යට යළි කැඳ­වන්නෙ ඔහුගේ හැකි­යාව හඳුනා ගත්තු නිසා.

මම මේ මොහොතේ තවත් වැද­ගත් යමක් සිහි­පත් කළ යුතුයි. සුනිල් සාන්ත සංගී­ත­වේ­දියා කිසිම දව­සක ඉන්දි­යානු සංගී­තය හදා­රන්න එපා කියල කිසිම පුද්ග­ල­ය­කුට කිව්වේ නැහැ. එය අත්හ­රින්න කියලා කිව්වෙත් නැහැ. එයාගේ මුඛ්‍ය පර­මා­ර්ථය වුණේ දේශීය අන­න්‍ය­තා­ව­කින් යුත් සංගීත ආරක් නිර්මා­ණය කිරී­මයි.

silumina

Post Bottom Ad

Pages