19න් පහළ රග්බි නායක චේතියට වසර දෙකක අත්හිටවු තහනමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

19න් පහළ රග්බි නායක චේතියට වසර දෙකක අත්හිටවු තහනමක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායක ගැමුණු චේතියට වසර දෙකක අත්හිටවූ තරග තහනමක් පැනැවීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක කමිටුව තීරණය කළේය. පසුගිය දෙසැම්බරයේ චීන තායිපේ හී පැවැති ආසියානු රග්බි ශූරතාවලිය අතරතුර විනය විරෝධී හැසිරුණු බවට එල්ලවී ඇති චෝදනාවට ඔහු වරදකරු බවට තහවුරුවීමෙන් මේ තීරණය ගෙන තිබේ. කෙසේවෙතත් මේ කාලසීමාව තුළ ඔහුට තව දුරටත් රග්බි ක්‍රීඩාවේ නිරතවීමට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න මහතා ‘දිනමිණ‘ ට කීවේය. එහෙත් ඉදිරි වසර දෙකක කාලය තුළ ඔහුගේ හැසිරීම රග්බි ආයතනයේ දැඩි නිරීක්ෂණයට ලක් කෙරෙනු ඇතැයි ද ගුණරත්න මහතා සඳහන් කළේය.

පසුගිය සඳුදා රැස්වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක කමිටුව මේ තීරණය ගත් අතර මීට අමතරව ගැමුණු චේතිය උපදේශන සේවාව වෙත යොමු කිරීමට ද තීරණය කර ඇත. ගැමුණු චේතියට අවම දඬුවමක් පැනැවීමටත්, ඔහුගේ සේවය ඉදිරියේදි ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට අවශ්‍ය වන බැවින් උපදේශන සේවාවට යොමු කිරිමටත් රග්බි ආයතනය පියවර ගෙන ඇත්තේ ඔහු යොවුන් වියෙහි පසුවන දස්කම් සපිරි ක්‍රීඩකයකු වන බැවිනි. ඔහු ලෝක රග්බි සම්මේලනයේ විනිසුරුවරයකු වන අරුණ ජයසේකර මහතා යටතේ වසරක කාලයක් උපදේශන සේවාව ලබනු ඇත.

ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාව පිළිබඳ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පසුගියදා විනය පරීක්ෂණයක් සිදු කළ අතර එහිදී ගැමුණු චේතිය සිය වරද පිළිගෙන තිබිණි. කෙසේවුවත් ඔහු තවදුරටත් පාසල් ක්‍රීඩකයකු නොවන බැවින් ඔහුට එරෙහිව තරග තහනමක් පැනවීමේ වගකීම ශ්‍රී ලංකා රග්බි ආයතනය පැවැරීමට පාසල් රග්බි සංගමය කටයුතු කළේය.

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගත් හෝටලයේ කාර්ය මණ්ඩලයේ තරුණියකගේ අතින් ඇල්ලීම ගැමුණු චේතියට එල්ලවූ චෝදනාව විය. තායිවානයේ නීතිරීතිවලට අනුව එම සිදුවීම බරපතල වරදකි. කෙසේවෙතත් එම සිදුවීම පිළිබඳ අදාළ තරුණිය කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැත. එහෙත් සී.සී.ටී.වී. දර්ශන නැරැඹූ හෝටල් කළමනාකාරීත්වය එම සිදුවීම තායිවාන රග්බි සංගමයට පැමිණිලි කිරීමෙන් පසුව ඔවුන් එය ආසියානු රග්බි සංගමයට දැනුම් දී ඇති අතර ආසියානු රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දෙනු ලැබීය.

කෙසේවෙතත් ගැමුණු චේතිය වෙනුවෙන් මේ සංචාරයට වැය කළ රුපියල් ලක්ෂ 3ක පමණ මුදල ඔහුගෙන් නැවත අය කර ගැනීමට කටයුතු කරන බවත්, එම මුදල ගෙවීමට අසමත්වන්නේ නම් නීති මාර්ගයෙන් ක්‍රියා කරන බවත් පාසල් රග්බි සංගමයේ සභාපතිවරයා පසුගියදා කීවේය.

මීට අමතරව පාසල් වර්ණ ප්‍රදානයේදී ගැමුණු චේතියට ලැබිය යුතු සම්මාන හා සහතික පත් අවලංගු කිරීමටත්, ඔහු අධ්‍යාපනය ලැබූ පාසල දැනුවත් කිරිමටත් විනය කමිටුව තීරණය කර තිබිණි.

Post Bottom Ad

Pages