සී.සී.සී-එස්.එස්.සී ඉනිමකින් ජය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

සී.සී.සී-එස්.එස්.සී ඉනිමකින් ජය ලබයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියට අදාළව පැවැති තරගවලින් සී. සී. සී ක්‍රීඩා සමාජය සහ එස්. එස්. සී ක්‍රීඩා සමාජය ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.

කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී සී. සී. සී. ක්‍රීඩකයෝ බී. ආර්. සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 118ක ජයක් හිමිකරගත් අතර එස්. එස්. සී. පිල ඉනිමක සහ ලකුණු 46කින් ජය වාර්තා කළේ මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව එස්. එස්. සී පිටියේදීය.

මේ සතියට අදාළව පැවැති අනෙක් තරගවලින් එන්. සී. සී. ක්‍රීඩා සමාජය මුවර්ස් පිටියේදී මුවර්ස් පිලට එරෙහිව ලකුණු 543ක දැවැන්ත ජයක් අත්කරගත් අතර කෝල්ට්ස්, පී.සරා ඕවල් සහ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගවලදී පිළිවෙළින් බදුරලිය, ද්‍රවිඩ සංගමය සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.

මේ තරග හයේදී කණ්ඩායම් 6ක් ලකුණු 400 සීමාව පසුකිරීම විශේෂත්වයක් විය. එහිදී සී.සී.සී (498), හලාවත (482), එස්.එස්.සී (446), බදුරලිය (420), කොල්ට්ස් (419) සහ ද්‍රවිඩ සංගමය (416) ලකුණු හාරසියය පසු කිරීමට සමත් විය.

මේ තරගවලදී ද්විත්ව ශතක දෙකක් සහ ශතක 9ක් වාර්තා විය. එහිදී කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ කෞෂාල් සිල්වා මෙවර තරගවාරයේ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 210ක් වාර්තා කළේය. පන්දු 313ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 26කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. අනෙක් ද්විත්ව ශතකය කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රියමාල් පෙරේරා වාර්තා කළේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිවය. හතරේ පහර 19ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 481කදී ඔහු නොදැවී ලකුණු 206ක් රැස් කළේය. පළමු පෙළ තරග 36කට සහභාගිවී ඇති 23 හැවිරිදි ප්‍රියමාල්ගේ මංගල ද්විත්ව ශතකය මෙය වීම විශේෂත්වයක් වන අතර ඔහු මින් පෙර වාර්තා කර තිබුණේ අර්ධ ශතක 15ක් පමණි. ඉහළම ලකුණු සංඛ්‍යාව 96ක් විය.

බී.ආර්.සී පිලට එරෙහිව සී.සී.සී ක්‍රීඩා සමාජයේ මිනෝද් භානුක ලකුණු 180ක් රැස්කළ අතර එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ පැතුම් නිශ්ශංක (163) සහ හසිත බෝයගොඩ (101), හලාවත ක්‍රීඩා සමාජයේ ඕෂද ප්‍රනාන්දු (140) සහ රිසිත් උපමාල් (104), වරාය අධිකාරියේ අදීෂ නානායක්කාර (137), යුද හමුදාවේ සංජීක රිද්ම (119), ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ සිතාර ගිම්හාන (105) සමගින් ජීවන් මෙන්ඩිස්ද (106) ශතක රැස් කළහ.

ජීවන් මෙන්ඩිස් නිමාවූ සතියේ දක්ෂතම පන්දු යවන්නා වූයේ වරාය අධිකාරී පළමු ඉනිමේදී ලකුණු 53කට කඩුලු 9ක් දවාගනිමිනි. එය මෙවර තරගාවලියේ ඉනිමක ඉහළම පන්දු යැවීම ලෙස සටහන්වූ අතර ඔහු තරගය පුරා කඩුලු 12ක් දවාගත්තේ මේ තරගවාරයේ තරගයකදී වාර්තාවූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙසිනි. මින් පෙර තරිඳු රත්නායක කඩුලු 14ක් සහ අමිල අපෝන්සු කඩුලු 13ක් දවාගෙන තිබිණි. එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ චතුරංග ද සිල්වා මුවර්ස් පිලට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු ත්‍රිත්වයක්ද සමගින් කඩුලු 6ක් දවාගත් අතර ඔහු සමස්ත තරගය තුළ බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 10කි. එම ක්‍රීඩා සමාජයේ සචින්ත පීරිස් සහ වරාය අධිකාරියේ ඉමේෂ් උදයංග කඩුලු 6 බැගින් බිඳ දැමූ අතර සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර සහ බදුරලිය කණ්ඩායමේ බුද්ධික සංජීව කඩුලු 5 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සී.සී.සී. පිලට ජය

බී. ආර්. සී. පළමු ඉනිම - 105 (ඕවර 43.4) (විශ්ව ප්‍රනාන්දු 52/4, ළහිරු ගමගේ 19/3) සහ දෙවැනි ඉනිම - 275 (ඕවර 79.2) රුමේෂ් බුද්ධික 83 (මාලින්ද පුෂ්පකුමාර 82/5, වනිඳු හසරංග 44/3)

සී. සී. සී පළමු ඉනිම - 498/7 (ඕවර 119) ඉනිම අත්හිටුවන ලදි. මිනෝද් භානුක 180, අශාන් ප්‍රියංජන් 69, ලසිත් අබේරත්න 66 (හෂේන් රාමනායක 47/2)

එස්.එස්.සී පිලට ජය

මීගමුව පළමු ඉනිම - 212 (ඕවර 62.3) (විමුක්ති පෙරේරා 33/3, සම්මු අශාන් 11/2, ආකාශ් සේනාරත්න 44/2, තරිඳු රත්නායක 65/2) සහ දෙවැනි ඉනිම - 188 (ඕවර 44.1) ලසිත් කෘෘස්පුල්ලේ 87 (ආකාශ් සේනාරත්න 68/3, හිමේෂ් රාමනායක 32/2)

එස්. එස්. සී. පළමු ඉනිම - 446/9 (ඕවර 113.2) කෞෂාල් සිල්වා නොදැවී 210, සඳුන් වීරක්කොඩි 63 (සඳකැන් පතිරණ 126/4, උපුල් ඉන්ද්‍රසිරි 144/4)

බදුරලිය පළමු ඉනිම ජයගනී

බදුරලිය ක්‍රීඩා සමාජය කෝල්ස්ට් පිලට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීම පළමු ඉනිමේ ජය අත්කර ගත්තේය.

කෝල්ට්ස් පළමු ඉනිම - 419/9 (ඕවර 150) ප්‍රියමාල් පෙරේරා නොදැවී 206, විශාද් රන්දික 85 (බුද්ධික සංජීව 86/5, සචිත් පතිරණ 121/2)

බදුරලිය පළමු ඉනිම - 420/9 (ඕවර 120) ළහිරු සමරකෝන් නොදැවී 71, ශිරාන් රත්නායක 66, සුබ්‍රමනියම් ආනන්ද් 54, අලංකාර අසංක 49 (නිසල තාරක 90/4, හර්ෂ රාජපක්ෂ 52/2)

ද්‍රවිඩ සංගමය පළමු ඉනිම දිනයි

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිමේ ජය අත්කර ගත්තේ පී. සරා ඕවල් පිටියේදී වරාය අධිකාරියට එරෙහිවය.

වරාය අධිකාරිය පළමු ඉනිම - 245 (ඕවර 82) රුවිඳු ගුණසේකර 66, ප්‍රශාන් වික්‍රමසිංහ 59 (ජීවන් මෙන්ඩිස් 53/9) සහ දෙවැනි ඉනිම - 296/8 (ඕවර 76) අදීෂ නානායක්කාර 137, ගයාන් මනීෂාන් 65 (ජීවන් මෙන්ඩිස් 106/3, කමිඳු මෙන්ඩිස් 65/2)

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 416 (ඕවර 105.5) ජීවන් මෙන්ඩිස් 106, සිතාර ගිම්හාන 105, ළහිරු මිලන්ත 58 (ඉමේෂ් උදයංග 147/6, චමින්ද බණ්ඩාර 71/2, චානක කොමසුරු 110/2)

පළමු ඉනිමේ ජය හලාවතට

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය යුද හමුදාව සමගින් පනාගොඩ පැවැති තරගයේදී පළමු ඉනිමේ ජය හිමිකර ගත්තේය.

යුද හමුදා පළමු ඉනිම - 357 (ඕවර 124.4) සංජීක රිද්ම 119, ලක්ෂාන් එදිරිසිංහ 76 (තික්ෂිල ද සිල්වා 95/3, සාගර් පරේෂ් 111/3, රොහාන් ජයතිස්ස 62/2)

හලාවත පළමු ඉනිම - 482/9 (ඕවර 130) ඕෂද ප්‍රනාන්දු 140, රිසිත් උපමාල් නොදැවී 104, යශෝද ලංකා 76 (ලක්ෂාන් මදුෂංක 98/3, දුෂාන් විමුක්ති 92/2, දනුෂික බණ්ඩාර 152/2)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages