තරගයක් නිමා කරන විදිහ තවම අවබෝධ කරගෙන නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

තරගයක් නිමා කරන විදිහ තවම අවබෝධ කරගෙන නෑ

මාලිංග පිතිකරුවන්ට දෙහි කපයි

තරගයක් සාර්ථකව නිමා කිරීම කණ්ඩායමකට කොපමණ වැදගත්දැයි ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට තවම අවබෝධයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.

නවසීලන්ත සංචාරය නිමා කරමින් පසුගියදා ඕක්ලන්ඩ් නුවර පැවැති විස්සයි20 තරගයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායකයා මාධ්‍ය හමුවේදී මේ අදහස් පළ කළේය.

‘හතරේ සීමාව ඉතා ළඟ මෙවැනි ක්‍රීඩාංගණයකදී ලකුණු 180ක් හඹා යාම අපහසු ඉලක්කයක් නොවෙයි. අපිට අපේ කණ්ඩායමේ පිතිකරුවන්ම 7ක් හිටියා. ඔවුන්ට තරගයේ ස්වභාවය තේරුම් ගන්න තිබුණා. තරගය අවසන් වනතුරු පාලනය කළ යුතුව තිබුණා. මේක පසුගිය අවුරුදු දෙකේදිම දකින්නට ලැබුණු දුර්වලතාවක්. තරගයක් නිමා කරන විදිහ ගැන ඔවුන්ට තවම අවබෝධයක් නෑ.’ මාලිංග එසේ කීවේය.

‘තරගයක් නිමා කරන්නා ඕනෑම කණ්ඩායමක වටිනාම ක්‍රීඩකයෙක්. පිටියේ ක්‍රීඩකයන් දෙදෙනක් සිටින විට ඔවුන් තුළ විශ්වාසයක් තිබිය යුතුයි අපි තමයි තරගය නිමා කරන්නෝ කියලා. අනිත් අයට ඒක ඉතිරි නොකර.’ ලසිත් මාලිංග කියා සිටියේය.

නවසීලන්තය හමුවේ එම තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූයේ ලකුණු 35කිනි. එහිදී ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් 5 දෙනකුගෙන් 4 දෙනෙකුම ලකුණු 15 සීමාව පසුකිරීමට සමත්වූවත්, ඒ වනවිට අවශ්‍ය ලකුණු ලබාගැනීමේ වේගයට වඩා ඉදිරියෙන් පසුවූවත් කිසිදු පිතිකරුවකුට අර්ධ ශතකයක් කරා යාමට නොහැකි විය.

නිරෝෂන් දික්වැල්ල සහ කුසල් පෙරේරා විශේෂයෙන් කනගාටුවට පත්වනු ඇත. දික්වැල්ල පන්දු 10කින් ලකුණු 18ක් ද, කුසල් පන්දු 12කින් ලකුණු 23ක් ද රැස් කිරීමට සමත්වූහ. තිසර පෙරේරා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ පන්දු 24කින් ලකුණු 43ක් රැස් කරමිනි. එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා පිල ඕවර 12ක් නිමාවනවිට කඩුලු 4කට ලකුණු 117ක් ලබා සිටි අතර ලකුණු 180 ඉලක්කය වෙත පහසුවෙන් යනු ඇතැයි පෙනෙන්නට තිබිණි. එහෙත් මුල්පෙළ පිතිකරුවන්ගෙන් කිසිදු පිතිකරුවකුට ඉනිම ඉදිරියට ඇදගෙන යාමට හැකිවූයේ නැත. මැදපෙළ සහ අගපෙළ පිතිකරුවන්ට මුහුණපෑමට සිදුවූයේ ද එවැනි ඉරණමකි.

‘වෙනදා වගේම අදත් (තරගය දිනයේ ) ඕවර දෙකක්ම ඉතිරිව තිබියදී ඉනිම නිමාවට පත්වුණා. මං බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස හයේදි ඔවුනොවුන්ගේ හැකියාවන් පිළිබඳ අවබෝධයක් සියළු දෙනාටම ලැබේවි කියලා. ඉනිමේ මැද හරියේදී ඔවුන්ට තමන්ගේ දස්කම් පෙන්වීමට සිදුවෙනවා.’ මාලිංග පැවැසීය.

විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ ද අවසන් ඕවර කිහිපයේදී දැඩි ප්‍රහාරයකට ලක්වූහ. නවසීලන්ත ඉනිම එක් අවස්ථාවක ඕවර 10ක් තුළ ලකුණු 55කට සීමා කරමින් කඩුලු 5ක් දවාලීමට සමත්වූවත් ඊළඟ ඕවර කිහිපය පුරා දුර්වල පන්දු යැවීමෙන් නවසීලන්ත පිලේ අගපෙළ පිතිකරුවන්ට හයේ පහරවල් කරා යාමට අවස්ථාව ලැබිණි. අවසන් ඕවර කිහිපය තුළ මාලිංග හැරුණු විට සෙසු පන්දු යවන්නන්ට තරගය පාලනය කරගත නොහැකි විය. 17වැනි, 18 වැනි සහ 20 වැනි ඕවරවලදී නවසීලන්ත පිතිකරුවන් උදුරා ගත් ලකුණු සංඛ්‍යාව පිළිවෙළින් ලකුණු 23ක්, ලකුණු 18ක් සහ ලකුණු 17ක් ලෙස සටහන් විය.

‘අපේ පන්දු යවන්නන් පවා එහෙමයි. ආරම්භයේදී ඉතා සාර්ථකව පන්දු යවමින් විශ්වාසය වැඩි කරගත්තත්, අවසන් ඕවර තුළදී පවා එවැනි විශ්වාසයක් රැක ගත යුතුව තිබෙනවා.’ මාලිංග කීවේය.

‘අවස්ථානුකූලව පන්දු යැවීමට ඔවුන්ට සිදුවෙනවා. අපිට මේ අංශයත් දියුණු කරන්න වේවි.’ ඔහු කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages