රට හමුවේ තුන්බියක් – මහින්දගෙන් විශේෂ නිවේදනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-09

රට හමුවේ තුන්බියක් – මහින්දගෙන් විශේෂ නිවේදනයක්

2015 ජනවාරි 9 වැනිදා ආණ්ඩු වෙනසට වසර 4ක් ගතවන මේ මොහොතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, එම පාලනය හේතුවෙන් මතු පරපුරට රට අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බවයි.

එමෙන්ම විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුන් බියකට ගොදුරු වී ඇති බවයි.

සිව් වසරක අවපාලනය හා මතුපරපුරට රටත් අහිමි වීමේ අවදානම යන තේමාව ඔස්සේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (09) මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් පහතින් දැක්වෙයි

“2015 ජනවාරි 9 වැනිදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු 4ක් ගතවන මේ මොහොතේ ශ්‍රී ලංකාව තුන් බියකට ගොදුරු වී සිටී.

ඉන් පළමුවැන්න ආර්ථිකය කුමන මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක්වීමේ අවදානමයි.

මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60 කට වැඩි කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුළු ණය ප්‍රමාණය මෙන් 50% කට වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු හතර ඇතුළත පමණක් ලබාගෙන ඇත.

2006 – 2014 අතර මුළු අවුරුදු නවය පුරාම රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 28 කින් පමණි.

නමුත් පසුගිය අවුරුදු හතර ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතුවත් අපේ මුදල් ඒකකය රුපියල් 53කින් අවප්‍රමාණය වී ඇත.

අපි මුහුණ දී සිටින ඊළඟ බිය වන්නේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානමයි.

19 වන සංශෝධනය නිසා, ආණ්ඩුවක් අයවැය හෝ රාජාසන කතාව පැරදුනත්, විශ්වාසභංග යෝජනාවකින් පැරදුනත් මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක.

2018 පළාත් පාලන ඡන්දයෙන් පසු, එ.ජා.ප.යට ජනවරමක් නොමැති බවත්, ඔවුන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුළු රටම දනී.

එවන් තත්වයක් යටතේ, ජනාධිපතිතුමාට එ.ජා.ප.යට රට භාරදී පසෙකට වී සිටීමට කොහෙත්තම නොහැක.

19 වෙනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත.

අපේ රට ඉදිරියේ ඇති තුන්වෙනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත්කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාවයි.

ආණ්ඩුව එමඟින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඩිමය.

අද මධ්‍යම ආණ්ඩුව සතු සියලුම බලතල ඒ ඒ පළාත් වලට බෙදා දීමට නියමිතය.

මේ හැම පළාතකටම වෙනම පොලීසියකුත් ඇති කිරීමට නියමිතය.

හදිසි අවස්ථාවකදීවත්, මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය හා ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වෙන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත්, නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමඟින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත.

අපට ආරංචි වෙන ආකාරයට, මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටි.

මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකි යැයි කියූ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි. “


No comments:

Post a Comment

Post Bottom Ad

Pages