ශ්‍රී ලංකා පිල අද පළමු එක්දින තරගයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

ශ්‍රී ලංකා පිල අද පළමු එක්දින තරගයට

එක්දින ලෝක කුසලාන තරගාවලිය අත ළඟ බැවින් කණ්ඩායම යළි ගොඩනැගීමට කාලයක් නැතැයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග කියයි. දෙපිල අතර අද (3) ඇරැඹෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වසරේ මැද භාගයේ දී එංගලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පූර්ව සූදානමක් කරගැනීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව වී තිබේ.

නැවුම් බලාපොරොත්තු රැසක් කරපින්නාගත් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල අද නවසීලන්තයට එරෙහිව පළමු එක්දින තරගයට එක්වන්නේ දැවැන්ත ටෙස්ට් තරග පරාජයකින් 2018 වසර නිමාවට පත්වීමෙන් පසුවය.

මෙය නව ව‍සරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගය ද වන අතර මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර දෙපිලම සිය දස්කම් මුවහත් කර ගැනීමේ සටනට පිවිසෙනු ඇත.

‘මේ වසරේදි එක්දින ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන නිසා අපිට කණ්ඩායම යළි ගොඩනගා ගැනීමට කාලයක් නෑ. දැන් තියෙන්නේ කවුද හොඳ ක්‍රීඩකයන් කියා හඳුනා ගැනීම පමණයි.’ මාලිංග එසේ කීවේ එක්දින තරගයට පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදීය.

‘පහුගිය අවුරුදු තුනක හෝ හතරක කාලයක් තිස්සේ අපිට ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න බැරිවුණා. නමුත් දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන් රැසකටම හොඳ අවස්ථාවක් ලැබී තිබුණා. දැන් අපිට තියෙන්නේ දක්ෂතා පෙන්වන එකයි. අපේ අන්තිම එක්දින තරගාවලි 2දී දස්කම් අතරට පිවිසීමට හැකිවුණා.’ ඔහු කීවේය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීමෙන් සංචාරයෙන් ඉවත්වීම දැඩි පසුබෑමක් පෙන්නුම් කළ ද නවක ක්‍රීඩකයන් ලෙස ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, තුන්ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, දසුන් ශානක සහ අසේල ගුණරත්න කණ්ඩායමට එක්වීමෙන් එක්දින පිල ශක්තිමත් මුහුණුවරක් ලැබී තිබේ.

දෙපිලම එක්දින තරගාවලියට එක්වන්නේ ටෙස්ට් තරගමාලාවෙන් පසුව කණ්ඩායමේ සිදුවූ වෙනස්කම් රැසක් සමගිනි. මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට ඉහළ මානසිකත්වයෙන් එක්වීමේ අරමුණ ඇතිව දෙපිලම ඔවුනොවුන්ගේ කඳවුරු තුළ සිටින තරග වෙනස් කළ හැකි ක්‍රීඩකයන් හඳුනාගැනීම මේ තරගාවලියෙන් සිදුවනු ඇත. ටෙස්ට් තරගමාලාවෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැන අත්කරගැනීමට සමත්වූ නවසීලන්තය එක්දින තරග බිමේද තුන්වැනි තැන පසුවන බැවින් අද තරගයේදි ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් එල්ල වනු ඇත.

ජාත්‍යන්තර එක්දින තරග බිමේ 8 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා පි‍‍ලේ පිතිකරුවන්ට වේග පන්දුවට හිතකර නවසීලන්ත තණතීරුවේ හිස එසැවීමට දැඩි සටනක් දීමට සිදුවනු ඇත. කෙසේවුවත් නවසීලන්ත සංචාරය අරඹා මාසයකට ආසන්න කාලයක් ගතවී ඇති බැවින් එහි දේශගුණයටත්, තණතීරුවලටත් ශ්‍රී ලංකා පිල මේ වනවිට හුරුවී අවසානය. එබැවින් අද තරගයේදි පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ද ඔවුනොවුන්ගේ කාර්යභාරය නිවැරැදිව ඉටු කරන්නේ නම් නවසීලන්ත පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් එක්දින තරග 95ක් පැවැති අතර ඉන් තරග 45ක් නවසීලන්තය ජයගත් අතර ශ්‍රී ලංකාව තරග 41ක ජය හිමිකරගෙන සිටී. එක් තරගයක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වූ අතර තරග 8ක් විසඳුමකින් තොරව නිමාවට පත්වී තිබේ.

දෙපිල අතර අද ඇරැඹෙන එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා පිලට නායක මාලිංග ඇතුළුව නවක මුහුණු 6ක් එක්වෙද්දි නවසීලන්තය ඔවුන්ගේ ජයග්‍රාහී ටෙස්ට් තරගමාලාවේ තුරුම්පුව බවට පත්වූ ටොම් ලේතම් වෙනුවට එක්දින තරග විශේෂඥ මාටින් ගප්ටිල් කණ්ඩායමට කැඳවා තිබේ. ඒ හැරුණු විට තුන්ඉරියව් ක්‍රීඩකයන් වශයෙන් ජිමී නීෂම් සහ වේග පන්දු යවන ඩග් බ්‍රෙස්වේල් ද ඇතුළත්වී සිටිති. ටෙස්ට් තරගමාලාවේදි ශ්‍රී ලංකා පිලට දැඩි හිසරදයක් ගෙන දුන් ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් එක්දින තරගාවලියේදි ද දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 ට ආරම්භ වේ.

ෆවුස් මොහොමඩ්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages