ශරියාවට දොර අරින භික්‍ෂු විශ්වවිද්‍යාල ගැටය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

ශරියාවට දොර අරින භික්‍ෂු විශ්වවිද්‍යාල ගැටය

ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයෙන් ගලවා අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම කූට අරමුණක් සඳහා සැලසුම් කරන ලද උපක‍්‍රමික ගැටයක් ලෙස හඳුනාගැනීම හෝ නිරාවරණය කරගැනීම මේ ලිපියේ අරමුණයි.

අමාත්‍යාංශයක විෂය පථයන් බෙදිය යුත්තේ පරිපාලනමය පහසුව සලකා ගෙනයි. එහෙත් මේ වනවිට කලක සිටම එන පරිදි අමාත්‍යාංශය භාර අමාත්‍යවරයාගේ සිතුම් පැතුම් හා චර්යාවන් මත වෙනස් කරනු දක්නට ලැබේ. ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට අයත් විෂයයක් වන්නේ ඒ අනුවයි. අලූතෙන් පැන නැගී ඇති උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයන් බෙදීම හෝ වෙනස් කිරීම නව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පමණක් නොව සුවිසල් සැලස්මක එක් ක‍්‍රියාකාරකමකි. ඒ අනුව මේ වන විට ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයෙන් ගලවා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් විෂය පථය වන්නේ පාසල් පද්ධතික ක‍්‍රියාකාරකම්ය. ඒ අනුව පළමුවන වසරේ සිට දහතුන්වන වසර දක්වා දරුවාගේ අධ්‍යාපනික අවශ්‍යතා සැපිරීම එහි ප‍්‍රමුඛ කාර්යභාරයයි. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළාත් සභා බලයට යටත් පාසල්වල පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර රාජ්‍ය අධ්‍යාපන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරවීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කෙරේ. රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ජාතික පාසැල්” පිරිවෙන්” වතු පාසල්” පෞද්ගලික පාසල්” ජාත්‍යන්තර පාසල්” ඇගයීම්” සහතික පත් ආදි අනුශංගික විෂය පථයන් ඉහත කී පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය හා බද්ධ ව සිදු කෙරේ.

විශ්වවිද්‍යාලය හා ඊට සමගාමී උසස් අධ්‍යාපන ආයතන යනු එකී අධ්‍යාපන අමත්‍යාංශයට අදාළ ආයතනවල හැදෑරීම්වලින් පසු ශිෂ්‍යයකු අධ්‍යාපනය ලබන ආයතනයයි. අ.පො.ස උසස් පෙළ සාමාර්ථයෙන් පසු ලාංකේය සිසුවා උසස් අධ්‍යාපනයට පිවිසෙන්්නේ ඒ අනුවයි.

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර රාජ්‍ය විශ්වවිද්‍යාලය” රාජ්‍ය විශ්වවිද්‍යාලයීය මණ්ඩප” රාජ්‍ය විශ්වවිද්‍යාලයීය අනුබද්ධ ආයතන හා පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් වෙයි. උපාධි ප‍්‍රදානය කරන ඇතැම් පෞද්ගලික ආයතන ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරනු ලැබ තිබේ. තාක්‍ෂණ විද්‍යාලය හා සාගර විශ්වවිද්‍යාලය ඒ ඒ අමාත්‍යාංශ යටතේ ද පාලනය වෙයි. ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයත්” බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් කලින් කලට විවිධ අමාත්‍යාංශ යටතේ ද පාලනය කරනු ලැබ මෙතෙක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පාලනය යටතේ පැවතිණි.

මේ විශ්වවිද්‍යාල දෙකෙහි ම අතිබහුතරයක් අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථි ප‍්‍රජාව භික්‍ෂූහු ය. එකී විශ්වවිද්‍යාලයීය විෂය නිර්දේශයන්” විභාග පටිපාටි” ඇගයුම් පමණක් නොව අධ්‍යයන කාර්ය මණ්ඩලයීය වැටුප්” තනතුරු හා උසස්වීම් රාජ්‍ය විශ්වවිද්‍යාලයීය ප‍්‍රතිපත්ති හා සමරේඛීය ය. Qualification Framework අනුව එකී ප‍්‍රතිපත්ති සියල්ල ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අනුකූලවම සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව නිශ්චිත වශයෙන්ම ඉහත කී විශ්වවිද්‍යාලද්වය උසස් අධ්‍යාපනික ආයතනම වන්නේ ය. ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන බවට පත් කිරීමෙන් එහි පිළිගැනීම අවතක්සේරු වීම වැළැක්විය නොහැකි ය. අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළ වැටුප් හා වරප‍්‍රසාද එලෙසම පැවතිය ද එමගින් නිකුත් කෙරෙන සහතිකයේ වලංගුභාවය ජාතික හා ජාත්‍යන්තර ව අවතක්සේරු වන්නේ ය. මෙය දැනුම හෝ ආකල්ප හෝ කුසලතා හෝ පිළිබඳ සාකච්ඡාවක් නොවන්නේ ය. පැහැදිලි ලෙස හිතාමතා සැලසුම් සහගත ව කරනු ලැබූ ගැටයක් ම වන්නේ ය.

මෙබඳු ක‍්‍රියාවක දී එරෙහි ප‍්‍රතිචාර පැනනගින බව නොරහසකි. එය ස්වභාවසිද්ධ ධර්මතාවකි. එය මෙහි ගැට සම්පාදකයන්ගේ ද වුවමනාවකි. එකී වුවමනාව මත ම පැන නගින මේ ප‍්‍රතිරෝ්ධතාවල ඉල්ලීම වන්නට නියමිත ව ඇත්තේ මෙම භික්‍ෂු විශ්වවිද්‍යාලද්වය ඍජුව හා පැහැදිලිවම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නා ලෙස බලකිරීම ය. එකී බලකිරීම වර්ධනය වන්නට ඉඩහැරීම ඊළඟ සැලැස්ම ය. ඊට භික්‍ෂු ප‍්‍රජාවගේ ද භික්‍ෂු නායකත්වයේ ද නිදහස් අධ්‍යාපන ලෝලීන්ගේ ද විරෝධතා ඒ අනුව සංවිධානය වීමට නියමිත ය. සත්‍යග‍්‍රහ” අට්ටාල” පිකටින්” ශිෂ්‍ය මර්දන හා කඳුළු ගෑස් වැනි පාරිභාෂික මේ සමග ඉදිරියට කරලියට එනු ඇත. ඒ අනුව රටක් හැටියට තීන්දු ගන්නා රාජ්‍ය පරිපාලනය විසින් ආගමික විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම යෝජනා වනු ඇත.

එකී අවසරයෙන් නැගෙනහිර ලංකාවේ ඉදිකර ඇති මේ වන විටත් පරිපාලන ව්‍යුහයන් සකස් කොට නිමකර ඇති පරිපාලන මණ්ඩල පත්කරනු ලැබ ඇති සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයන්ගෙන් සමන්විත ශරියා විශ්වවිද්‍යාලය ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට සූක්‍ෂම යෝජනා ඉදිරිපත් වනු ඇත. නැවත වතාවක් බහු ජාතික” බහු ආගමික සංකල්ප” අදහස් පත‍්‍රිකා සමග සාම භාවනා සංවිධානය වනු ඇත. ආගම් ඇදහීමේ නිදහස හා සිංහල ජාතිකයන්ගේත් බෞද්ධ ආගමිකයන්ගේත් භික්‍ෂූන්ගේත් ජාතිවාදී ආගම්වාදී හැසිරීම් පිළිබඳ ශ‍්‍රව්‍ය-දෘශ්‍ය ප‍්‍රචාරයන් ක්‍ෂණික ව ලොව පුරා විකාශය වනු ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාවගේ මැදිහත්වීම් ද තර්ජනද බලහත්කාරකම් ද සම්බාධක තර්ජනද ඉදිරිපත් වනු ඇත. ධවල චර්මධාරී බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ ඉහළ මාලවල සිට වාද විවාද නිරීක්‍ෂණය කරනු ඇත. තමාට වාසිදායක වුවමනාව වෙනුවෙන් කතාකරන මැති ඇමති උතුමන්ලා අත උඩින් ද අත යටින් ද සංතෘප්ත කරනු ඇත. වැඩි ඡන්දයෙන් එකී යෝජනා සම්මත කරනු ඇත. ඇතැම්විට සෙංකෝලය කර උඩ තියාගෙන හිටගෙන සම්මතයි යනුවෙන් තෙවරක් දොර ලඟ සිට හඬ නගා කියා දොර ළඟින් ම පිට ව යනු ඇත. ඉන් අනතුරුව නීතියේ දෙවඟන ආසිරි මල් ඉසිනු ඇත. එදා අධිකරණ අමාත්‍යාංශය භාරව සිටි ඇමතිතුමා අද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නේ ඒ කටයුතු මෙහෙයවීමට ය. ශරියා විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා නැගෙනහිර ආණ්ඩුකාරකම භාරගන්නේ ද ඒ සැලැස්මේ ම තවත් දිගුවක් වශයෙනි.

දැන් සැලැස්ම සඳහා මූලික අවශ්‍යතා සම්පූර්ණ කොට අවසන් ය. පළමු ක‍්‍රියාකාරකම ද අවසන් ය. ඒ අනුව භක්‍ෂු විශ්වවිද්‍යාලද්වය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරනු ලැබ තිබේ. සැලැස්මේ දෙවන අදියර වන විරෝධතා ඇරඹී තිබේ. යුක්තිය හා සාධාරණය පිළිබඳව සංවිධානවලට හා සාම භාවනා සංවිධානය කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවලින් ප‍්‍රතිපාදන එවා ඇද්දැයි නොදනිමි. ආගමික සහජීවනය හා සංහිඳියාව පිළිබඳ ව්‍යාපෘති යෝජනා ටිකක් සකස් කොට ක‍්‍රියාත්මක කරන්නේ නම් ඉදිරි දින කීපය තුළ එන්ජී ඕ කාරයන්ට සාමාන්‍ය ගාණක් කපා ගැනීමට හැකිවනු ඇත.

ඉහත කී අවසරයෙන් දිය බොරවනු දැක මාලූබා ගැනීමට ද ඇතැමුන් කැසපට කවනවා ඇත. යාපනය ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය” කොළඹ පිහිටි ආගමික මූලයන් සහිත උපාධි ප‍්‍රදානය කරන ආයතන මේ කුණාටුවේදී රුවල් දැමීමට ඉදිරිපත්වීමද සිදුවනු ඇත.

ඒ අනුව සැලසුම් කළ පරිදිම ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් විෂයපථයන් ලෙස ගැසට් කරනු ඇත. ඒ සමඟ ම ඉහත කී ආගමික විශ්වවිද්‍යාල ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගනු ඇත. සැලැස්ම නිම වන්නේ ඉන් අනතුරුව ය. අවසානයේ ඒ සියල්ලෝ සතුටින් විසිර යනු ඇත.

රටක් ලෙස අධ්‍යාපනය දෙස බැලිය යුත්තේ ඵලදායී හා දිගුකාලීන ආයෝජනයක් වශයෙන් ¥රදර්ශීව ය. අද වන විට රටට ජාතියත් ජාතියට රටත් අහිමිව තිබේ. සුද්දන්ගේ නියමය පරිදිම ජාතීන් වශයෙන් වාර්ගිකව සිතීමට අප හුරු කරනු ලැබ තිබේ. භූමියද ජනවර්ග වශයෙන් බෙදනු ලැබ තිබේ. රට පුරා ගම දක්වාම මීට අමතරව නිල් හා කොළ වශයෙන් වර්ණ වශයෙන් බෙදනු ලැබ තිබේ. තවත් නිර්නායකයක් යටතේ ආගම් වශයෙන් බෙදනු ලැබ තිබේ. කුල හා නිකාය වශයෙන් බෙදී වෙන් වී සිටීමට හුරු කරනු ලැබ තිබේ. ලිංග වශයෙන් විරසක වීමට පාර කපනු ලැබ තිබේ. 1800 ට පෙර මෙහි තිබූ රට දැන් නැත. එදායින් පසුව ඇත්තේ වෙන ම රටකි. දැන් එහි වෙසෙන්නේ වෙන මනසක් ඇති සතෙකි. අධ්‍යාපනයද ප‍්‍රතිපත්ති වශයෙන් මෙහෙයවනු ලබන්නේ ඒ වෙනත් සතා මෙහෙයවීම සඳහා පමණි.

රටත් එහි හිමිකරුවාත් වාසය කරන්නාත් භෞතික වූ බිමත් එහි ඊයේ සහ හෙටත් පිළිබඳ ප‍්‍රඥාගෝචර දැනුම් සම්පත්තියකින් හා බුද්ධි සම්ප‍්‍රදායකින් තොරව අධ්‍යාපනයක් හෝ උසස් අධ්‍යාපනයක් මෙහෙයවිය නොහැක. ඕනෑම නම් ටික දුරක් තල්ලූකරගෙන යන කරත්තයක් සේ සලකා අමාත්‍යාංශ තල්ලූ කරගෙන යා හැක. එහෙයින් විදේශීය අවශ්‍යතා සඳහා මිනිස් ඇඟවල් නිර්මාණය කිරීම අධ්‍යාපන ප‍්‍රතිපත්තිය නොවිය යුතුය.

මේ සියලූ සටකපටකම් කුමන හෝ නිර්නායකයක් යටතේ රට බෙදීමේ සැලැස්මේ උපාංගම වන්නේය. කෙසේ හෝ ගෙන ඒමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය මේ සියල්ලේ කූටප‍්‍රාප්තිය වනු ඇත. රට කරවන කවුරු කවුරුත් ඉල්ලා සිටින මහ මැතිවරණයක් දීමට එකඟ වීම කොන්දේසිය සේ සලකා ඍජු ව හෝ වක‍්‍ර ව කවුරු කවුරුත් විස්සට අත උස්සනු ඇත. නැතහොත් කාරක සභා අවස්ථාවලදී හෝ නීති කෙටුම්පත් අංශවලදී සම්මත වීමට අදාළ පහසුකම් සපයා අපව රැවටීමට සුරතල් විරෝධතාවක් පානු ඇත. අවසාන විග‍්‍රහයේ දී ස්වයං නිර්මිත දැල්වල අධිරාජ්‍යයන් ගොඩනගා ගන්නා කුඩා මකුළුවන්සේ කුඩා ප‍්‍රාන්තවල සාමන්ත රජවරුන් රැසක් බිහිවනු ඇත. එවිට ඒ ඒ විශ්වවිද්‍යාලයන් ද ඒ ඒ ප‍්‍රාන්තවල ප‍්‍රාන්ත රාජ්‍ය විශ්වවිද්‍යාලයන් වනු ඇත. ඉරී වෙන්වී ගිය දේශය දුර්වල හෙයින් ද සමස්තය ගිල ගැනීමට වඩා කුඩා කුඩා කෑලි ගිලගැනීම පහසු හෙයින් ද ඒ ඒ පාට ගිජුලිහිණියන් ඒ ඒ දේශවලින් පැමිණ ඒ ඒ කුඩා කෑලි ගිල ගනු ඇත. අවසානයෙහි දී අපට සිදුවන්නේ ඒ අතරින් එක් ගිජුලිහිණියෙකුගේ කුස තුළ දිරවා වසුරු ලෙස පිටවීමටයි. එතෙක් සව්දිය පුරමු.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි


No comments:

Post a Comment

Post Bottom Ad

Pages