ජාතික මල්ලව පොර තරග බිමේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ විප්ලවය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-04

ජාතික මල්ලව පොර තරග බිමේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ විප්ලවය

Author(s): 
ෆවුස් මොහොමඩ්

ජාතික මල්ලවපොර පිටියේ කාන්තා ආධිපත්‍ය පතුරුවාලමින් අඛණ්ඩව තුන්වැනි වරටත් ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත්වූහ. පසුගියදා නිමාවට පත්වූ ජාතික මල්ලවපොර ශූරතාවලියේදි කාන්තා කිරුළ තුන්වැනි වරටත් රැක ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත්වෙද්දි ගුවන් හමුදාවට පිරිමි ශූරතාව අහිමිවූයේ ලකුණු දෙකකිනි.

මීට වසර අටකට පෙර එනම්, 2011 වසරේදි එවකට සිටි ගුවන් හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රීඩකයන් අටදෙනකුගෙන් යුතුව පුහුණුකරු දිල්රුක් ද සිල්වා මහතාගේ පුහුණුකාරිත්වයෙන් බිහිවූ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර සංචිතය එතෙක් මල්ලවපොර පිටියේ ගුවන් හමුදාවවට හිමිනොවූ වරප්‍රසාදය අත්කර ගනිමින් විප්ලවීය වෙනසක් සිදු කිරීම කැපී පෙනේ. එම කණ්ඩායමෙන් බිහිවූ ක්‍රීඩිකාවන් තිදෙනකු වර්තමානයේදි ද කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයකි. එවකට යුද හමුදාවේ කාන්තා මල්ලවපොර කණ්ඩායම අත තිබු ජාතික ශූරතාවට අභියෝග කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ 2014 වසරේ ආරක්‍ෂක සේවා මල්ලවපොර තරගයේ දී පළමුවරට ශූරතාව දිනාගනිමින් සිය ආධිපත්‍යය පතුරුවාලීමට සමත්වූහ.

වසර 2016 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියා මල්ලවපොර තරගාවලියට එක්වූ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ එහිදී රිදී පදක්කම් 2ක්ද, ලෝකඩ පදක්කම් 3ක් ද දිනාගැනීම කැපී පෙනුණි. එම ක්‍රීඩිකාවන් ද වර්තමානයේ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම ශක්තිමත් කරති.

පසුගියදා පැවැති ජාතික මල්ලවපොර ශූරතාවලියේදි රන් පදක්කම් 5ක් දිනා ගුවන් හමුදාව ඉහළට ඔසවා තැබූ ක්‍රීඩිකාවන් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවේ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරග වැදුණු ආශා කරුණාසේනය. කොලොන්න ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා ක්‍රීඩාවට ඇති උනන්දුව මත 2013දි ගුවන් හමුදාවට එක්වු ආශා මල්ලවපොර ක්‍රීඩාවට යොමුවූයේ ඉන් පසුවය. ඇය පසුගිය වසරේ ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලියේද ශූරිය බවට පත්වූවාය.

2016 වසරේ සාෆ් තරගාවලියේදී පදක්කම් දිනූ ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩිකාවන් අතර නිවුන් සොයුරියන් ද සිටීම විශේෂත්වයකි. ප්‍රියංගා කුමාරි සහ මධුෂානි කුමාරි සාෆ් ක්‍රීඩා උළෙලේදි පදක්කම් දිනාගත්හ. දරු ප්‍රසූතිය හේතුවෙන් මෙවර ජාතික ශුරතාවලියට මධුෂානි කුමාරි සහභාගි නොවු අතර ඇගේ නිවුන් සොයුරිය ප්‍රියංගා කුමාරි කිලෝග්‍රෑම් 62 බර පන්තියේ රන් පදක්කම දිනාගත්තාය.

ප්‍රියංගා ගුවන් හමුදාවට එක්වි වසර අටක් ගතවන අතර ඇය ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදි ද රන් පදක්කම් ලාභිනියකි. කුරුණෑගල ලක්දාස් මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රියංගා ද මල්ලවපොර ක්‍රීඩාවට යොමුවූයේ ගුවන් හමුදාවට බැඳීමෙන් පසුවය. සිය නිවුන් සොයුරිය සමග එක්ව ඉදිරියේදි ද ගුවන් හමුදාව වෙනුවෙන් රට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ අත්කරදිම ඇගේ අරමුණ වී ඇත.

මල්ලවපොර ක්‍රීඩාව කාන්තාවන්ට සුදුසු ක්‍රීඩාවක් නොවන බවට පළවන මතය ඇය එකහෙළාම බැහැර කරන්නීය. මේ ක්‍රීඩාව කාන්තාවන්ගේ ආත්ම ආරක්ෂාවට ද සුදුසු ක්‍රීඩාවක් බව ඇගේ අදහස වී තිබේ.

ජාතික ශූරතාවලියේදි කිලෝග්‍රෑම් 76 බර පන්තියෙන් රන් පදක්කම දිනාගත් රවිහාරි වීරසිංහ වසර 6ක් පුරා අඛණ්ඩව එම බර පන්තියේ ශූරිය වන්නීය. මීරිගම ඩී.එස්.සේනානායක විදුහලෙන් අධ්‍යාපනය ලැබූ රවිහාරි සාෆ් ක්‍රීඩා උළෙලේදි මෙන්ම ආරක්ෂක සේවා තරගාවලියේදි ද රන් පදක්කම්ලාභිනියකි.

මාතලේ නෙලුවකන්ද බෞද්ධ විදුහලෙන් අධ්‍යාපනය ලබා මීට වසර 12කට පෙර ගුවන් හමුදාවට එක්වූ අයෝමි සෙනෙවිරත්න වසර 6ක් පුරා ගුවන් හමුදා මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරන්නීය. ඇය එම කාලය තුළ කිලෝග්‍රෑම් 68 බරපන්තියෙන් ආරක්ෂක සේවා සහ ජාතික ශූරතාවලියේ අපරාජිත ශුරිය ද වන්නීය. ශ්‍රී ලංකා ජාතික මල්ලවපොර කණ්ඩායම ද නියෝජනය කරන අයෝමි සාෆ් පදක්කම්ලාභිනියකි.

කිලෝ ග්‍රැම් 72 බරපන්තියෙන් තරග වදින මාලා මධුවන්ති රූපසිංහ ගුවන් හමුදාවට බැඳී වසර 7කි. පසුගිය ආරක්ෂක සේවා සහ ජාතික ශූරතාවලියේ සිය බර පන්තියේ රන් පදක්කමට හිමිකම් කියන ඇය සාෆ් රිදි පදක්කම්ලාභිනියකි. ඇය අධ්‍යාපනය ලැබුවේ කොට්ටාව ආනන්ද විදුහලෙනි.

වසර 1969දි මල්ලවපොර ක්‍රීඩාවට එක්වූ ගුවන් හමුදාව මේ වසරේදි සමරනු ලබන්නේ එහි පනස්වැනි සංවත්සරයයි. මේ දශක පහක දීර්ඝ කාලය තුල විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබාගැනීමට සමත්වූ බව ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් වයිස් මාෂල් ප්‍රියන්ත වීරසිංහ මහතා පවසයි.

ගුවන් හමුදාවේ 18 දෙනෙකුගෙන් යුතු කාන්තා සංචිතය මෙන්ම 20 දෙනෙකුගෙන් යුතු පිරිමි සංචිතයද අද වන විට ජාතික තලයේ සමාජිකයන්ගෙන් සමන්විත වන බව ඔහු කීවේය.

වාර්ෂිකව සමස්ථ ගුවන් හමුදා ක්‍රීඩා සංචිතයට වෙන්කරන ප්‍රතිපාද වලිනි අවශ්‍ය සැම පහසුකමක්ම ලබාදිමට අප කටයුතු සංවිධාන කරනවා. පෝෂණය, වෛද්‍ය පහසුකම්, විටමින් හා ශාරීරික සුවතා පහසුකම් සකසමින් පුද්ගලිකව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය සොයා බලමින් කටයුතු කිරිමට මා උපදෙස් දී තිබෙනවා. මා ද එම වැඩකටයුතුවලට මැදිහත් වෙමින් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීමට සහය දෙනවා.’ ඔහු පැවැසීය.

වසර ගනණාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මල්ලවපොර ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට උරදුන් පුහුණුකරු වන්නේ පී.එස්.ආර්. මහතාය. වසර 1981දී ගුවන් හමුදා මල්ලවපොර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඒ මහතා කාන්තා හා පිරිමි කණ්ඩායම් ජයග්‍රහණය දක්වා රැගෙන යාමට සමත්වී ඇත.

ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාතික මල්ලවපොර සංගමයේ උපසභාපතිවරයකු වන ගෘප් කපිතාන් එරන්දික ගුණවර්ධන මහතාය. නලින් වැවකුඹුර මහතා උපලේකම්වරයා ලෙස කටයුතු කරයි.

Post Bottom Ad

Pages