නව වසරේදී ක්‍රීඩා අමාත්‍යාංශයට දුක්ගන්නාරාළ පත් කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

නව වසරේදී ක්‍රීඩා අමාත්‍යාංශයට දුක්ගන්නාරාළ පත් කෙරේ

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

අදින් ආරම්භවන නව වසරේ මුල් සතිය තුලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න හා අසාධාරණකම්වලට සවන් දෙන දුක්ගන්නාරාළ කෙනෙක් (Ombudsman) ක්‍රීඩා අමාත්‍යාංශයට පත්කරන බව ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එය ක්‍රීඩා අමාත්‍යාංශයට තමන් යටතේ සිදු කෙරෙන පළමු පත්වීම බවත්, ක්‍රීඩා දුක්ගන්නාරාළ වෙත ලැබෙන සෑම දුක් ගැනවිල්ලක්ම බදාදා දිනයේ පරීක්ෂා කොට විසඳුම් ලබාදීම අපේක්ෂාව බවත් ඇමැතිවරයා පැවැසීය.

එමෙන්ම ක්‍රීඩාව තුල සිදුවන දූෂණ වංචා හා වෙනත් ප්‍රශ්න සෘජුවම ලබාදිය හැකි ක්ෂණික දුරකතන අංකයක් සහිත දුරකතන මධ්‍යස්ථානයක් (Call center) ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාපිත කරන බවද ඇමැතිවරයා පැවැසීය. ඉදිරියේ ක්‍රියාත්මක එම දුරකතන මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකතන අංකය 1978 වනු ඇතැයි ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අන්තර්ජාලය හරහා ක්‍රීඩාව පිළිබඳ තොරතුරු හුවමාරු කළ හැකි වෙබ් අඩෙවියක් ඉතා ඉක්මණින් නිර්මාණය කිරීමට ද කටයුතු යෙදේ.

ක්‍රිකට් දූෂණ වලට පාතාලය පවා සම්බන්ධකම් ඇතැයි අයි. සී. සී දූෂණ මර්ධන ප්‍රධානීයාගේ අදහස බැවින්, යම් වරදක්වී සිදුවී ඇත්නම් නිදහසට කරුණු පැවැසීමේ පොදු සමා කාලයක් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ලබාදීමට අයි. සී. සී දූෂණ මර්ධන ඒකකය බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවැසූවේ ඊයේ එම අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව කළ සාකච්ඡාවේ ප්‍රතිඵල කිහිපයක් ද ප්‍රකාශ කෙරුණි.

“ පසුගියදා මා අයි. සී. සී දූෂණ මර්ධන ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා හමු වුණා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තුල සිදුවූ දූෂණ වංචා ඇතුලත් ලේඛණයක් මා වෙත ලබා දුන්නා. එය රහසිගත ලේඛණයක් බැවින් එහි අඩංගු කරුණු ප්‍රසිද්ධ නොකිරීමට මා වග බලා ගන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ දූෂිතම සංගමය බව අයි. සී. සී දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියාගේ අදහසයි. සිම්බාබ්වේ රටේ ක්‍රිකට් දූෂණ ප්‍රශ්න තිබුණත් එහි පරිපාලනය හොදයි. ඒ නිසා ශ්‍රී ලංකාව තුල පූර්ණ කාලීන ක්‍රිකට් දූෂණ මර්ධන කාර්යාලයක් ඇති කොට මාස දෙකක් තුළ ප්‍රශ්න ඉවර කිරීමට කටයුතු කරනවා“ ඇමැතිවරයා පැවැසීය.

ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට කළ ඉල්ලීම පිළිබඳ මේ 10වැනිදාට පෙර අයි. සී. සී විධායක කමිටුවේ ප්‍රතිචාරය දක්වනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. “ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන අයි. සී. සීය විධායක කමිටුවේදී තීරණයක් ගෙන අපට දැනුම් දෙන බව පැවැසූවා. නිලවරණයට යනවාද? අතුරු කමිටුවක් එනවාද? යන්න ඔවුන් ගන්නා තීරණය අනුව සිදුවෙනවා. අතුරු කමිටුවක් පත් කළහොත් මෙරට හා පිටරට ගෞරවයට පාත්‍රවූ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකුට ක්‍රිකට් පරිපාලනය භාර කිරීම අපේක්ෂාවයි. ක්‍රිකට් පිරිසිදු කිරීම පිළිබඳ රොෂාන් මහානාම, සිදත් වෙත්තමුණි, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වැනි ප්‍රවීණයින් සමග සාකච්ඡා කොට තිබෙනවා. පවතින ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කොට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතට ගන්න ඔවුන් උදව් කරන බව මා සමග පැවැසූවා. අයි. සී. සීය විධායක කමිටු තීන්දුවෙන් පසුව අප ඒ ගැන කතා කරනවා“

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණයට ඡන්ද 142ක් පමණ තිබෙන බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ශ්‍රී ලංකාවේ නාමික ක්‍රිකට් සමාජ හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවා ඇති බවත් ඇමැතිවරයා පැවැසීය. එංගලන්ත ක්‍රිකට් නිලවරණයට ඡන්ද 18ක් හා ඔස්ට්‍රේලියාවේ ඡන්ද 9කින් නිලධාරීන් තේරී පත්වන හෙයින් එවැනි ක්‍රමයකට නීති සකස් කිරීමේ වැදගත්කමද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිළිබඳ වාර්තාවක් කැඳවීමට ද ඇමැතිවරයා පියවර ගෙන ඇත. “ කොන්ත්‍රාත් සේවකයන් පිළිබඳ වෙන වෙනම සොයා බලා ඉදිරියේදී කටයුතු කරනවා. ඔවුන්ගෙන් සිදුවන සේවය කුමක්ද කියා බැලිය යුතුයි. දේශපාලන අරමුණක් නෑ“ ක්‍රිකට් තේරීම් කමිටුවට එතරම් චෝදනා එල්ල නොවී ඇති බැවින් දැනට ක්‍රියාත්මක සංචාර වලින් පසුව යම් සමාලෝචනයක් කරන බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සියයට 80ක පමණ මුදල් ලැබෙන හෙයින් අයි. සී. සීය සමග ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඇමැතිවරයා අවධාරණය කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages