ඊළාම් අරගලයට විරුද්ධව විජේවීර ලියූ පොත රහසේ මුද්‍රණය කළහැටි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-11

ඊළාම් අරගලයට විරුද්ධව විජේවීර ලියූ පොත රහසේ මුද්‍රණය කළහැටි

වල්හපුතැන්නේ පදිංචියට පැමිණීමත් සමඟ විජේවීරගේ ජීවිතය වඩාත් අරුත්බර එකක් වූයේය. පවුලේ දරුවන්ගේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ අතර පක්ෂයේ කටයුතු සඳහා බැහැර නොගිය හැම විටෙකම අත්‍යවශ්‍ය ලිපි ලේඛන සඳහා කාලය මිඩංගු කරන්නට අවකාශය ලැබිණි. 1986 ජනවාරි මාසයේ අලුත් පාසල් වාරය ආරම්භ වීමත් සමඟ විජේවීරගේ වැඩිමහල් දියණිය එවකට දීපානි ශ්‍යාමලී අත්තනායක වල්හපුතැන්න මහා විද්‍යාලයේ පළමු වසර පන්තියට භාර දුන්නේය. එම කටයුතු සඳහා විජේවීර සහභාගි නොවූ අතර චිත්‍රාංගනී දරුවන් කැටුව ගියාය. එවකට ඇගේ නම ශ්‍රියානි චන්දිමා වූයේය. වැඩිමහල් දියණිය පාසලට ඇතුළත් කොට නොබෝ දිනකට පසු දෙවැනි දියණියද පාසල් යන්නට පෙරළි කරන්නට වූවාය. එවකට ඇය සුරනි විදීශා වූ අතර ඇය පසුවූයේ සිවු හැවිරිදි වියේය.

වල්හපුතැන්න මහා විද්‍යාලයේ විදුහල්පති වූයේ රණවීර නම් මහතෙකි. රණවීර මහතා නතර වී සිටියේද විදුහලේම ගුරු නිවාසයේය. සුරනි ඇගේ අක්කා සමඟ පළමු වසර පන්තියේ සිටිනවාට විදුහල්පතිවරයා විරුද්ධත්වය පෑවේ නැත. ඒ නිසාම දීපානි, සුරනි අක්කා නඟෝ පළමු වසරේ එකට අධ්‍යාපනය ලැබූහ. නමුත් සුරනිගේ නම එක වසර නාම ලේඛනයේ නොවීය. ඇය නිසි වයස් සම්පූර්ණ කිරීමෙන් පසු 1987 සිට නිල වශයෙන් පළමු වසරට ඇතුළත් කෙරිණි. විදුහල්පති රණවීර මහතා ඔවුන් හඳුනාගෙන තිබුණේ පාසල ඉදිරිපිට වත්තේ වෙසෙන අත්තනායක පවුලේ දරුවන් වශයෙනි. දියණියන් දෙදෙනා පාසල කරා කැටුව යෑමේ සහ ආපසු ගෙන ඒමේ කටයුතු කරන ලද්දේ නිවෙසේ අත් උදව්වට සිටි රමණී නමැති නැඟණිය විසිනි. රමණී පක්ෂයට හිතවත් කිසිවකුගේ දියණියකි. ඒ නිසාම ඕ විජේවීර පවුලේම නැඟණියක මෙන් කටයුතු කළාය.

වල්හපුතැන්නේ පදිංචියට එන්නට පෙර දිනම චිත්‍රාංගනීගේ දිගට වවා තිබූ කොණ්ඩය ඉතා කොටට කපා මුල් ස්වරූපය වෙනස් කරගනු ලැබුවේය. සිසිරගේ බිරිය නන්දා විසින් එසේ කරන ලද්දේ විජේවීරගේ උපදෙස් පරිදිය. ඒ නිසාම චිත්‍රාංගනී මුලින් දැක තිබූ අයකු අහම්බෙන් ඇය දුටුවද හැඳින ගැනීම වැළකුණේය.

මේ අතර යටිබිම් ගත නව වැඩ ශෛලිය යටතේ ජනතා විමුක්ති පෙරමුණ නැවත ශක්තිමත් ලෙස ගොඩනැඟෙමින් තිබුණේය. පක්ෂ නායකත්වය ඉතා දක්ෂ ලෙස නව වැඩ සැලැස්ම මෙහෙයවූ බැවින් පෙරට වඩා ජවයකින් සහ උද්යෝගයකින් තරුණ පිරිස් පක්ෂය කරා ඇදී ආවෝය. විමුක්ති කොටි සංවිධානය මේ වකවානුව වනවිට උතුරු පළාතේ විවිධ සන්නද්ධ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටියේය. දකුණේ ජාතිවාදීන් රජයේ උදවු ඇතිව සිදුකළ 1983 කළු ජූලිය කොටි සංවිධානයේ ව්‍යාප්තියට ප්‍රබල උත්තේජනයක්ව තිබිණි. මේ තත්ත්වය තුළ ලංකාවේ ජාතික ගැටලුව ස්ථානගත වී ඇති ආකාරය පිළිබඳව මාක්ස් ලෙනින් වාදී දෘෂ්ටි ප්‍රවේශයකින් යුතු විශ්ලේෂණයක කාලීන අවශ්‍යතාවක් මතුව තිබුණේය. ලෝකය තුළ අධිරාජ්‍යවාදයේ උපාය මාර්ගික අරමුණු මෙන්ම දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ උපක්‍රමික අරමුණු හෙළි කිරීම දැඩි පන්ති අවශ්‍යතාවක් ලෙස මතුව තිබිණි. දක්ෂිණාංශික කොටි සංවිධානයේ ඉලක්ක මතවාදී ලෙස පිටුදැකීම සඳහා එවැනි දාර්ශනික මඟ පෙන්වීමක අවශ්‍යතාව අතපසු කළ නොහැකි කාර්යභාරයකි.

රෝහණ විජේවීර මේ දිනවල අදාළ විශ්ලේෂණයන් සහිත ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ කෘතිය ලියා අවසන් කරමින් සිටියේය. එකී වගකීම විජේවීරට පවරන ලද්දේ පක්ෂය තහනම් කරන්නට පෙර 1983 ජූලි මාසයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු රැස්වීමේදීය. දේශපාලනය, ඉතිහාසය, ජාත්‍යන්තර අත්දැකීම් මාක්ස් ලෙනින්වාදය, ජාතික ප්‍රශ්නය ආදී විෂයයන් ගණනාවක් අධ්‍යයනය කරමින් හා තොරතුරු කරුණු හා දත්ත එක්රැස් කරමින් මෙම කෘතිය ලියන්නට සිදුව තිබිණි. පක්ෂ තහනම නිසා රහසිගතව සැඟවී සිටිමින් නමුත් කෘතියේ ලේඛන කටයුතු අවසානයකට ගෙන ඒමට විජේවීර සමත්ව තිබුණේය. 1986 මැයි පළමු වැනිදා ලෝක කම්කරු දිනයේ එම ග්‍රන්ථය එළිදැක්වීම ජවිපෙ අපේක්ෂාව වූයේය.

මුද්‍රණ කටයුතු භාරව සිටියේ ‘නියමුවා’ පත්‍රයේද කර්තෘවරයකු වූ ගුණරත්න වනසිංහටය. වනසිංහ ජවිපෙ මධ්‍යම කමිටු සාමාජිකයෙකි. කොහිලවත්තේ තිබූ පක්ෂයේ මුද්‍රණාලය තහනමෙන් පසුව ආරක්ෂක අංශ විසින් අත්පත් කරගැනීම නිසා විනාශයට පත්විය. පක්ෂයේ මුද්‍රණ කටයුත්තක් වී නම් එය රහසිගතව ඉතා පරීක්ෂාකාරීව සිදුකළ යුතු විය. එය අතිශය දුෂ්කර කටයුත්තක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ යනුවෙන් මුද්‍රණය කෙරෙන කිසිදු ලියවිල්ලක් මුද්‍රණය කරන්නට මුද්‍රණාල හිමියන් බිය වූ නිසාය.

මුද්‍රණ කටයුතු පිණිස කුඩාවට හෝ මුද්‍රණාලයක් ආරම්භ කරන්නට වනසිංහට උපදෙස් ලැබිණි. ඔහු ප්‍රථමයෙන් පක්ෂයේ අයකුට වගකීම පැවරුවේ මුද්‍රණ කටයුතු කරගත හැකි අන්දමේ පහසුකම් ඇති පාළු ප්‍රදේශයක නිවෙසක් කුලියට ගැනීම පිණිස සොයන ලෙසය. හෝකන්දර නගරයේ අතුරුගිරිය පාරෙන් වමට හැරී ගිය අතුරු පාරක කිලෝමීටරයක් පමණ අෑතින් පොල්වත්තක් මැද පිහිටි කුඩා නිවෙසක් පක්ෂයේ ක්‍රියාකාරිකයකු විසින් කුලියට ගන්නා ලදී. මසකට රු. 3,000 බැගින් ඊට තුන් මසක මුදල් ගෙවා තිබිණි. ඔහු අයිතිකරුට දන්වා තිබුණේ පොත පත ලියමින් නිදහසේ වෙසෙන මහත්මයකු එහි පදිංචියට පැමිණෙන බවය.

ගේ කුලියට ගත්තත් නිවෙසට අවශ්‍ය ගෘහ භාණ්ඩ නොවීය. පක්ෂයට සම්බන්ධ නිවෙසකින් අබලන් පුටු කීපයක් ගෙනැවිත් පෙනෙන්නට තැබීය. ඒ අවට තිබුණේ අක්කර දෙක _ තුන විශාල පොල් ඉඩම්ය.

සෑහෙන දුරකින් පෙනෙන ගෙවල් දෙකක් හෝ තුනක් විය. පොල් ඉඩම්වලට යන අබලන් පාරක් නිවෙස ඉදිරියෙන් වැටී තිබිණි. ප්‍රදේශයට විදුලිය ලැබී නැත. වනසිංහ අදහස් කළේ අකුරු කේස් ගෙන්වා මැටර් සකස් කර මුද්‍රණාලයකට යවා රහසිගතව මුද්‍රණ කටයුතු කර ගන්නටය. ඒ සඳහා මුද්‍රණ කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති වසන්ත සහ බන්දු, වනසිංහ සමඟ සිටියේය.

එකල මුද්‍රණ කටයුතු සිදු කෙරුණේ අකුරු අමුණන ලෙටර් ප්‍රෙස් ක්‍රමයටය. පොයින්ට් 10,12,14 ප්‍රමාණයේ අකුරු කේස් තුනක් ගෙනා අතර පුංචි බොරැල්ලේ චිත්‍රා මුද්‍රණාලයෙන් අකුරු වර්ග මිලදී ගත්තේය. පක්ෂයට හිතවත් කිහිපදෙනෙක් බාහිර මුද්‍රණාලවල වැඩ කළ අතර අවකාශය ලැබෙන පරිදි පිටු 8 හා 16 බැගින් රහසේ මුද්‍රණය කර ගැනීම ඔවුන්ගේ උදව්වෙන් කර ගන්නට සැලසුම් කෙරිණි. අකුරු බෝඩ් 3 තිබූ පසු කුඩා සාලය සම්පූර්ණයෙන්ම ඇහිරිණි. රාත්‍රි කාලයේ කුප්පි ලාම්පු එළියෙන් වැඩ කිරීම අපහසු විය. බැහැරට යවා මුද්‍රණය කරනු පිණිස දිවා කාලයේ අකුරු ඇමිණීම සිදු කෙරිණි. විජේවීරගේ අත්අකුරු සහිත ප්‍රධාන ලිපි ගොනුව වනසිංහ භාරයේ පැවැතිණි. රාජගිරියේ මුද්‍රණාලයක වැඩ කළ සගයකු රාත්‍රි කාලයේ පිටු 8ක මැටර් එක බැගින් මුද්‍රණය කර දුන්නේය. පොතේ වැඩ ක්‍රම ක්‍රමයෙන් කෙරීගෙන යන්නට විය.

පොල්වත්ත මැද කුඩා නිවෙසේ සිදු වන්නේ කුමක්දැයි අවට පදිංචිකරුවන්ට කුතුහලයක් ඇති විය. රාත්‍රි කාලයේ එහි වාහන එන යන බවද ඔවුන් දැන සිටියෝය. ප්‍රදේශයේ සිදුවන දෑ ගැන විමසිල්ලෙන් පසුවන තැනැත්තෙක් තලංගම පොලිස් ස්ථානයට ගොස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළේය. ඔහුගේ පැමිණිල්ල වූයේ කොටින් යැයි සැක කළ හැකි පිරිසක් හෝකන්දර පොල්වත්තක ගෙයක් කුලියට ගෙන පදිංචිව සිටින බවය. එදින රාත්‍රියේම පොලිසිය අදාළ නිවෙස වැටලීය. එදින වසන්ත බැහැර ගොස් තිබූ අතර බන්දු දවසේ වැඩ නිමා කොට පිටව ගොස් තිබිණි. ගේ වටලද්දී එහි සිටියේ ගුණරත්න වනසිංහ පමණි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. ජවිපෙ රහසිගත මුද්‍රණාලයක් වටලා නායකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් පොත්වල සටහන් විය.

පසුදින රාත්‍රි 11.00ට පමණ වසන්ත එහි පැමිණෙන විට වෙනදා දුර සිට පෙනෙන කුප්පි ලාම්පුවේ ආලෝකය නොවීම නිසා ඔහුට සැක පහළ විය. ඔහු අන්ධකාරයේම හොර බළලකු මෙන් කිට්ටු වී බලන විට ‍ෙදාරවල් ඇර දමා ඇති අතර පාරට පෙනෙන්නට විජේවීරගේ පින්තූරයක් බිත්තියේ එල්ලා ඇති අයුරු දුටුවේය. එය බන්දුගේ ලිපි ගොනුවක තිබූ ඔහු විසින් අඳින ලද පින්තූරය බැව් වසන්ත හැඳින ගත්තේය. එය නම් කිසිසේත් විය නොහැක්කකි. ඔහු පොල්වත්තට රිංගා කළුවරේම කුඹුරු යායකට බැස නියරක් දිගේ ප්‍රධාන පාරට විත් රෑ පුරා පා ගමනින් ගොස් එළිවන ජාමයේ පක්ෂයේ අයකුගේ නිවෙසට ගොඩවිය. හෝකන්දර සිදුවීම ඒ වනවිටත් එහි සොයුරාට ආරංචි වී තිබිණි.

කෙසේ වුවද පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ ග්‍රන්ථයේ එක පරිච්ඡේදයක් පමණි. එම පරිච්ඡේදය කඩිනමින් නැවත ලියන්නට විජේවීරට පැවරිණි. විජේවීර වල්හපුතැන්න නිවෙසේ පදිංචි වූ මුල් කාලයේ වැඩි වේලාවක් මිඩංගු කළේ එම පරිච්ඡේදය නැවත ලියන්නටය.

ජනතා විමුක්ති පෙරමුණ ඉන් අනතුරුව උත්සාහ කළේ කොළඹින් කුඩා මුද්‍රණාලයක් බද්දට ගන්නටය. එය සාර්ථක විය. කොස්ගස් හන්දියේ ග්‍රෑන්ඩ්පාස් පාරට මුහුණලා ‘සුපර් ප්‍රින්ට්’ නම් කුඩා මුද්‍රණාලයක් මාස කිහිපයක් තිස්සේ වසා දමා තිබිණි. ඒ ගැන සෝදිසි කර බැලූ විට කලින් සිටි බදුකරු කුලී නොගෙවීම නිසා එය වසා දමා ඇති බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව අයිතිකරු හමුවී වසන්ත එය බද්දට ගත්තේ තම පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙනි. බැහැරින් ලැබෙන මරණ දැන්වීම් ආදී කුඩා මුද්‍රණ වැඩ කරදෙන අතරම විජේවීරගේ පොත මුද්‍රණය කිරීම අරඹන ලදී.

එහි කටයුතු ඉතා සාර්ථකව සිදුවිය. මුල් අදියරයේ පිටපත් 1,000ක් මුද්‍රණය කළේය. එහිදී ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොවූයේ කිසිවකුට සැක පහළ නොවන අයුරු හැසිරෙන්නට සියල්ලන් වග බලාගත් හෙයිනි. පොත එළි දක්වන්නට තීරණය කළ 1986 මැයි 01 වැනිදා වනවිට වැඩ අවසන් කරන්නට විශාල ආයාසයක් දරන්නට සිදුවිය. එයට එක් හේතුවක් වූයේ මුද්‍රණාලයට යාබද නිවෙසේ සිටි තරුණ ගැහැනු ළමයින් දෙදෙනෙකි. එම තරුණියන් නිදන්නේ රාත්‍රි 10.00ටය. අවදි වන්නේ උදෑසන 5ටය. ඒ කාලය තුළ මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා කරවුවහොත් නින්දට බාධා කරන බව දන්වා ඔවුන් පොලිසියට පැමිණිලි කරන්නට ඉඩ තිබිණි.

කලින් සිටි මුද්‍රණාල හිමියා මේ අකරතැබ්බයට මුහුණදී පොලිසියටද ගොස් තිබේ. ඒ ගැන සැලකිලිමත් වෙමින් ජවිපෙ සාමාජිකයෝ හරියටම රෑ 10.00 වෙද්දී මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා විරහිත කළෝය. එය නැවත පටන් ගත්තේ තරුණියන් පාන්දර නැඟිට කිචි බිචි ගාන හඬ ඇසුණු පසුය.

එය අකුරටම ඉටු කළ නිසා අල්ලපු ගෙදර තරුණියන්ගෙන් මුද්‍රණාලයට පොල්ලක් වැටුණේ නැත. ඔවුන් හරස් වූවා නම් විජේවීරගේ අගනා ග්‍රන්ථය ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ හිරවෙන අතර පොත තුන් වැනි වතාවටත් නැවත ලියන්නට විජේවීරට සිදුවේ. මුද්‍රණ කාර්යයට දායක වූ සියලුම සහෝදරවරු සිය අභියෝගය මැයි 01 දිනට පෙර ජයගත් අතර ප්‍රථම පොත් තොගය ඉතා ආරක්ෂිතව රට පුරා බෙදා හැරියේය. හෝකන්දරදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කලකට පසු නිදහස ලැබූ ගුණරත්න වනසිංහ 1989දී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දමනු ලැබීය.

උදේනි සමන් කුමාර


Post Bottom Ad

Pages