කිරි නැති හරක්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-13

කිරි නැති හරක්!

දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි ගවයින් සදහා මුදල් ආයෝජනය කළ ව්‍යවසායකයන්, ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ඵලදායිතාවයන් නොලැබීම හේතුවෙන් මහත් අපහසුතාවයන්ට පත්ව සිටියි.

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලබාදුන් කිරි දෙනුන්ගෙන් නිසි ආදායමක් නොලැබීම මෙන්ම එම සතුන් ලෙඩ රෝග හේතුවෙන් මියයෑම නිසා කිරී ගොවීන්ට සිදුව ඇත්තේ තම දේපල බැංකු වලට සින්න වන ආකාරය දෙස බලාසිටීමටයි.

ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරු සමයේ ආරම්භ කළ කිරි හරක් විසි දාහක් මෙරටට ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට ගෙන්වා ඇති කිරි හරක් 5000 අතුරින් විශාල ප්‍රමාණයක් මේ වන විට ලෙඩ රෝග හේතුවෙන් මිය යාමට පටත් ගෙන තිබේ.

නිරෝධායනයට ලක් කිරීමකින් තොරව මෙම සතුන් ලංකාවට ගෙන්වා තිබෙන අතර සතුන් ලංකාවට ගෙන ඒමෙන් පසුව , පශු පර්යේෂණ ආයතනය විසින් සිදුකළ නිරෝධායකය මගින් අනාවරණව වී ඇත්තේ මෙම සතුන්ට හරක්ට වැළදෙන බී.වී.ඩී සහ තවත් රෝගයක් පවතින බවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ලංකා නිවුස් වෙබ් වෙත පැවසු පරිදි බ්‍රිතාන්‍යයේ පර්යේෂණ ආයතනයක් මගින් ද එම සතුන් රෝගී සතුන් බවට තහවුරු කර තිබේ.

නිරෝධායනයට ලක් කිරීමකින් තොරව මෙම සතුන් ලංකාවට ගෙන්වා තිබෙන බැවින් ඒම රෝග මිනිසුන් ඇතුලු ක්ෂිරපායී සතුන්ට බෝ වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා ලංකා නිවුස් වෙබ් වෙත වැඩි දුරටත් සදහන් කළේ මෙම සතුන් ලංකාවට ආනයනය කිරීමේදී විශාල මුල්‍ය වංචාවන් සිදුව ඇති බවට තොරතුරු පවතින අතර සතුන් මිළදී ගත් ගොවීන් මේ වන විට දැඩි අසරණ තත්වයකට පත්ව සිටින බවයි.

එක් කිරි ගවයෙකු ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත්ක වන අතර කිරි ගවයකු ලක්ෂ දෙකක් වැනි මිලකට කිරි ගොවීන් සදහා ලබා දුන් අතර මෙම සතුන් බෙදී ගියේ 100 ටත් අඩු ගොවීන් පිරිසක් අතර බව ඔහු පෙන්වා දෙයි.

නිරෝධායනයට ලක් නොකිරීම

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන පරිදි එයින්ද කිරි ගවයන් 400 ක් පමණ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා විසින් මිලදී ගෙන තිබෙන අතර හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා කිරි ගවයන් 50 ක් මිලට ගෙන තිබේ.

නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසු පරිදි රජයේ විගණකාධිපතිවරයා වූ එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා විසින් රජයට ලබා දෙන ලද විගණන වාර්තා රැසකින් දක්වා ඇත්තේ මෙම කිරි දෙනුන් මෙරටට ගෙන්වීමේදී පිළිපැදිය යුතු විද්‍යාත්මක කරුණු, නිරෝධායන ව්‍යාපෘති ක්‍රමවේද කිසිවක් සිදුකොට නැති බවයි.

බී.වී.ඩී. යනු ගවයන් ආශ්‍රිත පවතින ආර්ථිකයට අහිතකර ලෙස බලපාන රෝගයක් බැවින් ඒ සදහා ගතයුතු කඩිනම් පියවර කවරේද යන්න පවා ඔහු විසින් යෝජනා කර තිබේ.

විෂයභාර අමාත්‍යංශ නිලධාරීන් හා කිරි ගවයින් ආනයනය කල සමාගම් දෙක මුලින්ම පවසා ඇත්තේ එක් ගැබ්බර කිරි ගවයෙකුගෙන් දිනකට කිරි ලීටර් 18-20 ක් අතර ප්‍රමාණයක් ලබාගත හැකි බව බවයි.

නමුත් කිරී ගොවීන් පවසන්නේ දැනට ලබාගත හැකිව ඇත්තේ කිරි ලීටර් 04-05 ප්‍රමාණයක් බවය. .

විවිධ ලෙඩ රෝග නිසා දිනෙන් දින මව් සතුන් මියයෑමත් පැටවුන් මියයෑමත් කිරි ගොවීන් මුහුණ දී සිටින බරපතල ගැටලුවකි.

ගව පට්ටි හිමියන් විශාල පිරිසක් බැංකු මගින් ණය ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කර තිබෙන අතර එමගින් නිසි ප්‍රතිළුල නොලැබී යෑම හේතුවෙන් මේ වන විට කිරි ගොවීන් අසරණ වී සිටිති.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කරන්නේ සල්ලි දීලා ලෙඩ හරක් මිලදී ගෙන ජනතාව අසරණ කලා පමණක් නොව කරුණු එසේ තිබියදී මුදල් රෙගුලාසි අමුඅමුවේ උල්ලඝනය කරමින් යලිත් ඉතිරි කිරි ගවයින් 15000 ක් ගෙන්වීම සදහා ඩොලර් මිලියන 11.3 මුදල් ගෙවා ඇති බවයි.

එබැවින් ඉතිරි කිරි ගවයින් ගෙන්වීම වහාම නතර කරන ලෙසත් ,මියගිය මව් සතුන්ට හා පැටවුන්ට වන්දි ලබාදිය යුතු අතර ,බැංකුවලින් ලබාගත ණය මුදල් වාරික ගෙවීම සදහා සහන ලබාදිය යුතු බවත් නාමල් කරුනරතන මහතා අවධාරණය කරයි.

දේපොළ වෙන්දේසි කිරීම

මේ අතර පසුගිය සතියේ ‍මාතලේ පල්ලේපොළදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වී තිබුණේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් ආයෝජනය කර නිසි ප්‍රතිඵල නොලැබී යෑම හේතුවෙන් දැඩි සේ අසරණභාවයට පත්ව සිටින දෙනුන් ලබාගත් ව්‍යාපාරිකයන්ගේ දේපළ ජනවාරි 11 වැනිදා වෙන්දේසියේ විකිණීමට තීරණය වී ඇති බවයි.

මාතලේ පල්ලේපොළ අලුත්ගම ප්‍රදේශයේ ගොවියකු වූ අරුණ සමන් කුමාර කඳුරුගස්යාය මහතාගේ පදිංචි ඉඩම හා නිවෙස මේ වන විටත් වෙන්දේසි කිරීම සඳහා දැන්වීම් ප්‍රදර්ශනය කොට බව ඔහුට අයිති ගොවිපොළේදී පසුගිය සතියේ පැවැත්වු විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබුණි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේදී ගොවිපොළේ හිමිකරු වන අරුණ සමන් කුමාර මහතාගේ බිරිඳ ඉනෝකා කුමුදුනී අබේකෝන් මහත්මිය මාධ්‍යට පවසා තිබුණේ ආණ්ඩුව විශ්වාස කර කිරි හරක් ව්‍යාපෘතියකට තම සේසතම වියදම් කළ අතර අවසානයේදී පදිංචි ඉඩම සහ නිවෙස වෙන්දේසි කිරීම ජනවාරි 11වනදා සිදු කෙරෙන බවයි.

එසේ සිදුවන්නේ නම් තමන් ඇතුළු සියළු දෙනා සිය දිවි හානි කර ගන්නා බව ඇය හඬා වැටෙමින් පවසා තිබුණි.

“මම දඹුල්ල මූලික රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක්. හැමෝම දකින්න ඇති මගේ නිවෙස ආසන්නයේ ඉඩමේ එල්ලලා තියෙන බැනර් එක. බැංකුවෙන් මේ බැනර් එක ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ලබන 11වනදා මගේ ඉඩමයි ගෙදරයි ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනවා කියලා.”

“මට දරු තුන්දෙනෙකුත් එක්ක මහ පාරට බහින්න වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුව විශ්වාස කරලා තමයි මේ ණය මුදල් ලබාගෙන අපේ අතේ තිබුණු ලක්ෂ 150ක් විතර මුදල් වියදම් කරලා කිරි හරක් ගත්තේ. දැන් අවුරුදු තුනක ඉඳලා මගේ වැටුප සතයක්වත් මා අතට අරගෙන නැහැ. බැංකුවෙන් කපනවා”.

“අපි ලොකු ව්‍යාපාරයක් කරගෙන හිටපු අය. ඇත්තටම කියනවා නම් දැන් අපේ හිතවත් මාමා කෙනෙකුගේ කඩෙිකින් ණයට බඩු අරගෙන තමයි එදා වේල කන්නේ. 11වැනිදායින් පස්සේ අපිට ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. දරුවෝ තුන්දෙනෙක් එක්ක පාරේ බැහැලා තුන්දෙනත් එක්ක මගේ ජීවිතේ නැතිකර ගන්නවා. මහත්තයත් දැන් මානසික ලෙඩෙක් බවට පත් වෙලා. අපි යානවාහන තියාගෙන හිටපු මිනිස්සු. ආණ්ඩුව තමයි අප මේ තත්වයට ඇදලා දැම්මේ.”

දේශිය කිරි කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා බව පවසමින් පුවත්පත් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට කිරි දෙනක් රුපියල් ලක්ෂ 5 බැගින් මිල කොට කිරි ලීටර් 20කට අධික ප්‍රමාණයක් ලබාගත හැකි බව පවසමින් ආණ්ඩුව කිරි හරක් ලබාදුන් බවත් අවසානයේදී එම දෙනුන්ගේ කිරි ලීටර් 4ක 5ක ප්‍රමාණයක් ලැබුණු බවත් මේ වනවිට එම සතුන් හඳුනා නොගත් රෝගයකින් මිය යෑමට පටන් ගෙන තිබෙන බවත් කිරි ගොවීහු එහිදී අනාවරණය කර තිබුණි.

මෙම කිරි හරකුන් ලබාගත් අරුණ සමන් කුමාර මහතා එහිදී සදහන් කර තිබුණේ තම පදිංචි ඉඩම නිවාස වෙන්දේසි කිරීම නවතා ආණ්ඩුව විසින් තමන්ට ලබා දුන් කිරි දෙනුන් සහ තමන් විසින් සාදාගත් මෙම ගවගාල් ආණ්ඩුවට ලබාගන්නා ලෙසයි.

තමන් එම ණය මුදලින් රුපියලක් හෝ ඇහැටවත් දැක නැති බව ඔහු එහිදී සදහන් කර ඇත.

ඒ සියලු ණය මුදල් රජයේ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ලබාගෙන කිරිහරක් ලබාදුන් බවද ඔහු අනාවරණය කර තිබේ.

ලෙඩ රෝගවලට අමතරව කිරි දෙනුන්ට අවශ්‍ය තණකොල වර්ග මෙන්ම අවශ්‍ය පාරිසරික සාධකද නොමැතිකමෙන් බොහෝ ගොවිපලවල්වල ගවයන් මියැදෙන තත්වයකට පත්ව ඇති බව පැවසු සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සදහන් කළේ රජය මේ සදහා කඩිනම් විසදුම් ලබා දීමට මැදිහත් විය යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages