කුසල්ගෙන් ටෙස්ට් ලකුණු දහසක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

කුසල්ගෙන් ටෙස්ට් ලකුණු දහසක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

ගෙවී ගිය 2018 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමේ ලකුණු දහසේ සීමාව පසුකළ එකම ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසත්, එම ගෞරවය දිනාගත් දෙවැනි ජාත්‍යන්තර පිතිකරුවා ලෙසත් කුසල් මෙන්ඩිස් වාර්තාපොතට එක්විය. එමෙන්ම වසර 2005න් පසුව වසරකදී ටෙස්ට් ලකුණු දහසේ සීමාව පසුකළ ළාබාලතම පිතිකරුවා ලෙසත් කුසල් මෙන්ඩිස් වාර්තාවක් තැබුවේය. දකුණු අප්‍රිකානු පිලේ ඒ.බී.ඩිවිලියර්ස් එම වාර්තාවට හිමිකම් කීවේ 21 හැවිරිදි වියෙහි පසුවෙද්දීය.

23 හැවිරිදි කුසල් මෙන්ඩිස්ට පෙර වසරකදී ටෙස්ට් ලකුණු දහස පසුකළ ළාබාලතම පිතිකරුවන්ගේ ලැයිස්තුවට කොදෙව් පිලේ හිටපු ශ්‍රේෂ්ඨ පිතිකරු ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, එංගලන්ත පිලේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක්, දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායකයන් වන ඒ.බී.ඩිවිලියර්ස් සහ ග්‍රෙහැම් ස්මිත් ඇතුළත් වෙති.

නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 67ක් රැස් කළ කුසල් මෙන්ඩිස් එම ඉනිම අතරතුර මේ කඩඉම පසු කිරීමට සමත්විය. කුසල් මෙන්ඩිස්ට අමතරව වසර 2018දී ටෙස්ට් ලකුණු දහස පසුකිරීමට සමත්වූයේ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි පමණි. ඔහු ටෙස්ට් තරග 13කදී ලකුණු 1322ක් රැස් කිරීමට සමත්වූයේ ශතක 5ක් සහ අර්ධ ශතක 5ක් සමගිනි. කුසල් මෙන්ඩිස් එම කඩඉමට සේන්දුවූයේ ටෙස්ට් තරග 12කදී ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් ලකුණු 1023ක් රැස් කරමිනි. නමුත් දෙදෙනාගේ ලකුණු ලැබීමේ සාමාන්‍ය ගණනට අනුව කුසල් මෙන්ඩිස් ලකුණු 54.64ක සාමාන්‍ය ගණනක් රඳවා ගැනීමට සමත්වූ අතර කෝලිගේ ලකුණු ලැබීමේ සාමාන්‍යය 54.33කි.

එංගලන්ත පිලේ නායක ජෝ රූට් තරග 13කදී ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් සමග ලකුණු 948ක් රැස් කළ අතර ඉන්දීය පිලේ චේටස්වර් පුජාරා තරග 13කදී ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 837කි.

මෙම වාර්තාව පිළිබඳ මාස කිහිපයක සිට අවධානයෙන් පසුවූ බව කුසල් මෙන්ඩිස් කියයි.

‘මට ඇත්තෙන්ම සතුටුයි. ඒ ඉලක්කය මගේ සිතේ තිබුණා.‘ ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයෙන් පසුව කුසල් මෙන්ඩිස් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට එසේ කීවේය.

‘අවුරුදු 23දී එවැනි දස්කමක් පෙන්නුම් කිරිමට ලැබීම සතුටක්. නවසීලන්තට පැමිණීමට පෙර මට ඒ ඉලක්කය සපුරාගැනීමට ලකුණු 200 ගණනක් අඩුවී තිබුණා. අපේ පිතිහරඹ පුහුණුකරු තිලාන් සමරවීර සමග ඒ ගැන සාකච්ඡා කළා. ඔහු කීවේ එම වාර්තාව තැබීමට මට හැකියාව ඇති බවයි. ඔහු මගේ විශ්වාසය ඉහළ දැමුවා. මේ කඩඉමට ළඟාවීමට කණ්ඩායමේ සියලුදෙනාගේ සහයෝගය ලැබුණා. සෑම වසරකදීම ටෙස්ට් ලකුණු දහස පසුකිරීමටයි මම දැන් උත්සාහ කරන්නේ.‘ කුසල් මෙන්ඩිස් කීවේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages