ජනගහනයෙන් 1%ක් අපස්මාරයට බිලි විය හැකියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ජනගහනයෙන් 1%ක් අපස්මාරයට බිලි විය හැකියි

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

ජනගහනයෙන් සෑම සිය දෙනකුගෙන්ම එක් අයකු අපස්මාරය රෝගයට ගොදුරු විය හැකි බව නවතම සමීක්ෂණ වාර්තාවන්ගෙන් හෙළි වී ඇති බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

වයස අවුරුදු 15 ට අඩු දරුවන් සහ වයස අවුරුදු 65 ට වැඩි වයස්ගත වූවන් මේ රෝගයට බහුලව ගොදුරු වන බවත් දරුවන්ගේ ස්නායු වර්ධනයත් වැඩිහිටියන්ගේ ස්නායු වර්ධනය නැවතීමත් යන කරුණු හේතුවෙන් එම වයස් සීමාවල සිටින අයට රෝගය වැළඳීම සිදු වන බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සංජීව ප්‍රනාන්දු මහතා පැවැසුවේය.

අපස්මාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ අපස්මාර මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පෙරේදා (11) ප්‍රකාශ කළේය.

අපස්මාරය යනු බහුලව දැකිය හැකි ස්නායු රෝගයක් වන අතර නිසි අයුරින් ඖෂධ භාවිතා කරන්නේ නම් රෝගය නිට්ටාවට සුව කර ගැනීමට හෝ පාලනය කර ගැනීමට හැකි වන්නේ යැයි ද ඒ මහතා කීය.

සර් අයිසෙක් නිවුටන්, ලියනාඩෝ ඩාවින්චි වැනි ශ්‍රේෂ්ඨයින්ටත් අපස්මාර රෝගය වැළඳී තිබූ බවත් වයස්, පාට, ලිංග භේදයකින් තොරව රෝගය වැළඳෙන බවත් ඒ මහතා පැවැසීය.

මේ රෝගය සම්බන්ධයෙන් විවිධ මිථ්‍යා මත පවතින බවත් එම මිථ්‍යාවන්ට නොරැවටී රෝගීන් ප්‍රතිකාර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් පවත්වාගෙන යා හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

රෝගය වැළදුණ විට කලබල වීමකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වටින්නේ යැයිද ඔහු අවධාරණය කළේය.

මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ අධ්‍යක්ෂ කේ. වික්‍රමසිංහ, හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර, ශ්‍රී ලංකා අපස්මාර සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය ජිතානි වනිගසිංහ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ඡායාරූපය - වාසිත පටබැදිගේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages