වී මෝල් හිමියන්ට සහන දෙන්න රු.මි.1000ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

වී මෝල් හිමියන්ට සහන දෙන්න රු.මි.1000ක්

Author(s): 
මහින්ද අලුත්ගෙදර

කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දෙන උග්‍ර මූල්‍ය අර්බුදය හා වෙළෙඳ පොළ තුළ පවතින වී තොග තරගකාරීව බෙදී නොයාමේ ගැටලුව සඳහා විසඳුමක් ලබාදීමේ අරමුණින් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කිරීමට රජය තීරණය කරයි.

මේ සහනදායී වැඩපිළිවෙළ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර එහි පළමු අදියර ඉදිරි දින කිහිපය ඇතුළත ක්‍රියාත්මක කරන බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

නැ‍ඟී සිටීමට වෙර දරන මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට, සමූපකාර සමිති ක්‍රමය හරහා රජය විසින් මූල්‍ය පහසුකම් සැලසීම මේ යටතේ සිදුව අතර ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සමූපකාර සමිති හරහා සාමාජික සහල් මෝල් හිමියන්ට නැවත ගෙවීමේ පදනමින් පොලී රහිතව මූල්‍ය පහසුකම් ලබාදෙන බව ද ඒ මහතා පෙන්වාදෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී ඊයේ (13) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණදෙන ගැටලු විසඳීම වෙනුවෙන් සකස් කරන ලද සහනදායී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහි දී මාධ්‍ය දැනුවත් කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ අද වනවිට කන්න පහක් පමණ ආදායමක් නොමැතිව සිටි ගොවි ජනතාව වෙත මෙවර හොඳ අස්වැන්නක් ලැබෙන බවත් ඔවුන්ගේ වී තොග සාධාරණ මිල ගණන් යටතේ විකිණීමට සහ ඒ තුළ ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමේ හැකියාව තිබෙන බවත්ය. වෙළඳ පළේ තරගකාරිත්වයක් අවශ්‍ය බව පෙන්වාදෙන ඒ මහතා මේ නිසා රජයේ මැදිහත්වීම යටතේ ගොවියන්ට උපරිම මිලක් ලැබෙන පරිදි කටයුතු කරන බව ද මධ්‍යම හා කුඩා පරිමාණයේ සහල් මෝල් හිමියන් වසර කිහිපයක් පුරා මූල්‍ය අර්බුදයක සිටි බව ද පැවැසීය.

භාණ්ඩාගාරය මඟින් රුපියල් බිලියනක පමණ මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් දිස්ත්‍රික් සහකාර සමූපකාර කොමසාරිස්වරුන් වෙත යොමුකරන අතර දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරුන් විසින් තම දිස්ත්‍රික්කය තුළ පිහිටි වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිතියට අදාළ ගිවිසුම් ප්‍රකාරව ලබාදීම හා එම සමිති අධීක්ෂණය ඉදිරියේ දී දෛනිකව සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ගොවි ජනතාවට උපරිම මිලක් ලැබෙන පරිදි සහ පාරිභෝගිකයන්ට සාධාරණ මිල ගණන් යටතේ සහල් මිලට ගතහැකි තත්ත්වයක් මේ හරහා නිර්මාණය වන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ සහල් මෝල් හිමියන්, බැංකු, අමාත්‍යාංශ නිලධාරීන්, ගොවියන් ඇතුළු නියෝජිතයන් 300 දෙනකු පමණ පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා කළ බව පෙන්වාදුන් ඒ මහතා නව වැඩපිළිවෙළට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ බව ද මේ මඟින් වැටෙන්න ගිය සහල් මෝල් නඟා සිටුවීමට හැකිවන බව ද සඳහන් කළේය.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පැවසූ හර්ෂ ද සිල්වා මහතා ආහාර කොමසාරිස්වරයාගේ සහ වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා ද මේ වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නා බව ද ඉදිරියේ දී දෛනිකව වී තොග මෙට්‍රික් ටොන් 1000 බැඟින් මිලට ගැනීම සඳහා පියවර ගන්නා බව ද කීවේය. වී අලෙවි මණ්ඩලය පසුගිය කාලය පුරා බැංකුවට සහ රජයට රුපියල් බිලියන 19ක පමණ මුදලක් ණය වී තිබෙන බව සිහිපත් කරන ඒ මහතා එවැනි ආකාරයේ නාස්තියක් රටේ සිදුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

මේ අතර සීමාසහිත ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේ පසුගිය කාලයේ පැවැති රජයන් විසින් ගන්නා ලද වැරැදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන්ගෙන් සියයට 50ක පමණ පිරිසක් කර්මාන්තයෙන් ඉවත්ව ගිය බවත් දිස්ත්‍රික් සමූපකාර සමිති හරහා එම සහල් මෝල් හිමියන් නඟාසිටුවන්න නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත්ය. සමූපකාර ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින සියලුම සහල් මෝල් හිමියන්ට මේ සහනය හිමිවන අතර ඔවුන් විසින් රජයේ සහතික මිලට වී මිල දී ගතයුතු බව ද කීවේය.

මේ නව වැඩපිළිවෙළ හේතුවෙන් ඉදිරියේ දී රුපියල් 10ත් 20ත් අතර මිලකින් සහල් කිලෝවක මිල අවම වනු ඇතැයි විශ්වාසය පළ කළ ඒ මහතා ගොවීන්ගේ ආර්ථිකය දියුණු කරගන්න මෙය හොඳ අවස්ථාවක් වී තිබෙන බව ද ප්‍රකාශ කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages