ක්‍රීඩාව ශක්තිමත් කරන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනකුට නිවාස පරිත්‍යාග කළා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

ක්‍රීඩාව ශක්තිමත් කරන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනකුට නිවාස පරිත්‍යාග කළා

Author(s): 
උපාලි කරුණාරත්න

ක්‍රීඩා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකුට රුපියල් මිලියන තුන බැගින් වූ නිවාස දහතුනක් එක් දිනයකදී නොමිලේ පරිත්‍යාග කිරීම චෝදනා කරන්නන්ට හොඳ පිළිතුරක් බවත් මාධ්‍යයට හොඳ හෙඩ්ලයින් එකක් බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට දොළොස් දෙනෙකුට නිවාස දොළහක් සහ අංගම්පොර ගුරුවරයෙකු වන මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරා වෙත නිවසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ(12) බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයේදී සහභාගි වෙමිණි. මොරටුව අඟුලාන, සයුරුපුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවාස ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට සැම්බියාවේ තරඟාවලියකට සහභාගිවීමට අවශ්‍ය ගුවන් ටිකට් පත් ලබාගැනීම සඳහා අවශ්‍ය රුපියල් 4230000ක මුදල ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී ඇමැතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා-

අද නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ඓතිහාසික දිනයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දොළොස් දෙනෙකුට සහ අංගම්පොර සටන් කලාවේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරා මහතාට නොමිලේ නිවාස ලබා දෙනවා. දක්ෂයින්ට තම හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකි අයුරින් උදව්පදව් කිරීම අප අමාත්‍යාංශය මගින් සිදුකරනවා. මේ සඳහා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආශිර්වාදය අපට හිමිවනවා.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අපට නිරන්තරව ප්‍රකාශ කරන්නෙ ජනතා සේවයට ඇප කැපවන ලෙසයි. ජයග්‍රාහකයින්ට තව තවත් ජයග්‍රහණ ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම රටට ඉමහත් කීර්තියක් අත්පත් කර දෙමින් අන්තර්ජාතික ජයග්‍රහණ ලබාදී තිබෙනවා. මෙම කණ්ඩායමට නිවාස ලබාදීම තුළින් අප බලාපොරොත්තු වන්නෙ එම ක්‍රීඩිකාවන්ගේ මානසික තත්ත්වය උසස් කිරීමයි. මෙය ඔවුන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට ශක්තියක් වනවා. ජාත්‍යන්තරය තම හැකියාවන් තුළින් ජය ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අධිෂ්ඨාන කර ගන්නා ලෙස මා මේ අවස්ථාවේදී මෙම ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා. වත්මන් රජය රටපුරා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ නිවාස ලබාදීම තුළින් ශක්තියක් ලබා දී තිබෙනවා. යහ පාලනය ප්‍රතිපත්තියක් ලෙස රටේ තරුණ, තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවය නංවාලීමට මුල් තැනක් ලබාදෙනවා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ විසිහත් දෙනෙකුට පෙර අවස්ථාවන්හිදී අප මේ ආකාරයට නොමිලේ නිවාස ලබාදී තිබෙනවා.

කළගුණ දැක්වීම, දුන් ජනවරම ආරක්ෂා කර ගැනීම වැනි වචන ඉතා වැදගත්. ජනතාව අපව බලයට ගෙනාවා. ජනතාව රජයන් බිහිකරණුයේ පාලකයින්ට සුරසැප විදින්න නොවේ. කතිරයක් ගසා ජනතාව දේශපාලනඥයින්ටලබා දෙන ආශිර්වාදය ජයග්‍රහණයෙන් පසු ඇතැම් දේශපාලනඥයින් ගණන් ගන්නෙ නැහැ. මෙම ක්‍රමවේදය වත්මන් රජය වෙනස් කර තිබෙනවා. මේ රටේ දුක්විදින ජනතාව දුකින් මුදවා ගැනීම මෛත්‍රී- රනිල් ප්‍රතිපත්තියයි. රටේ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම අපේ කාර්යයක්.

ජනතාව අපට ගරු ඇමැතිවරු කියනවා. ඇමැතිකම් නිසා අපට විවිධ වරප්‍රසාද ලැබෙනවා. මේ සියල්ල ඇමැතිවරුන්ට ලැබෙන්නෙ ජනවරම තුළින්. අප ක්‍රියා කළ යුතු වන්නේ තාවකාලික භාරකරුවන් ලෙස බව මතක තබාගත යුතුයි. අප රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා දෙන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සලකන්නෙ වී. වී. අයි. පී ලෙසයි.

නිවාස නොමිලේ ලබා දෙන්නෙ කොහොමද කියා ඇතැමුන් අහනවා. විවිධ චෝදනා කරනවා. එවැනි දේ පිළිබඳව හෙඩ් ලයින් ගහන අයත් සිටිනවා. අද නිවාස 13ක් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩකයින්ට නොමිලේ ලබාදෙනවා. මේකත් හොඳ හෙඩ් ලයින් ප්‍රවෘත්තියක්. අංගම්පොර සටන් කලාවද ශක්තිමත්ව පෙරට රැගෙන යමු. මොරටුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අවටින් ක්‍රීඩාංගනයක් සම්බන්ධව ක්‍රීඩා ඇමැතිතුමාගේ සහයෝගය ලබාගමු.

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, 2018 ලැබූ ආසියානු දැල් පන්දු ශූරතාවලිය පිළිබඳව විශාල ජනතා ප්‍රසාදයක් ලැබුණු බවත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තම කණ්ඩායමට නොමිලේ නිවාස ලබාදීම ඉතාමත්ම අඟය කරන බවත්ය. අංගම්පොර සටන් ගුරුවරයෙකු වන අජන්ත පෙරේරා මහතා මෙහිදී පැවසූයේ, සජිත් ප්‍රේමදාස යනු ප්‍රායෝගික නායකයෙකු ලෙස තමා දකින බවයි.

අංගම්පොර සටන් කලාව පෙරට ගෙන යාමට සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරණු ඇති බවට බලාපොරොත්තු වන බ වද පැවසූ අජන්ත පෙරේරා මහතා ඉංග්‍රීසි පාලන කාලයේදී අංගම්පොර සටන් කලාව තහනම් කරමින් පැනවූ නීතිය ඉවත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසද ඉල්ලා සිටියේය.

ඡායාරූප- ශාන් රඹුක්වැල්ල

No comments:

Post a Comment

Post Bottom Ad

Pages