දැක්ක ගමන් කන්න හිතෙනවා කී නදී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

දැක්ක ගමන් කන්න හිතෙනවා කී නදී

වෙස් මූණක් අරගෙන ඇවිත්
පෙබරවාරි 14, 2019

මම ඔබව අනූව දශකයේ මුල භාගයට රැගෙන යමි. එකල ඉතාම ජනප්‍රිය වූ වෙළෙඳ දැන්වීමක මතකය ඇවිස්සීම මාගේ අපේක්ෂාවයි.

දැක්ක ගමන් කන්න හිතෙනවා . . .

එහි අන්තර්ගත වූ එවදන් පේළිය කෙටි කළකින් ජනගත විය. එම දැන්වීම තරමටම ඊට රංගනයෙන් දායක වූ ළමෝ පිරිස ද ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියෝය. දැක්ක ගමන් කන්න හිතෙනවා කියමින් ජනාදරයට පාත්‍ර වූ ඒ දැරිය ඔබට මතකද? බලන්න මෙහි පළවන ඡායාරූපය දෙස. මේ ඉන්නේ ඇය. ඒ පුංචි කෙල්ල අද ස්වරූපයන් ඔබට අපි ගෙන එන්නෙමු. ඇගේ නම නදී කහටපිටිය අල්ගම. ඇය ඇවිත් තිබෙන්නේ හිස් අතින් නොවන වග ද ඔබට මම සඳහන් කරමි. නදී අපූරු මියුසික් වීඩියෝවක් රැගෙන විත් තිබේ. වෙස් මුහුණක් ලෙසට ඇය ඊට නම තබා ඇත.

නදී අලුත් අන්දමින් ඔබ අප හමුවට ඇවිත්?

අර ඇඩ් එකනෙ මට වාසනාව ගෙනාවෙ. අනූ හතරෙ විතර තමයි ඒක ටෙලිකාස්ට් වුණේ. සඳමඬල වගේ චිත්‍රපටවලටත් මගේ හඬ දායකත්වය ලබාදීලා තියෙනවා. පුංචි වීරයෝ නාට්‍යය ඔයාට මතකයි නේද. අන්න ඒකෙත් මං රඟපෑවා.

හදිසියේම ක්ෂේත්‍රයෙන් ඉවත් වුණේ?

මං පවුලේ එකම දරුවා. අම්මලා තාත්තලා මාව අධ්‍යාපනය පැත්තට වඩාත් යොමු කළා. වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට ගියා. එතකොට ඔක්කොම අත හරින්න සිද්ධ වුණානෙ. ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් සම්බන්ධ පශ්චාත් උපාධියක් සඳහා ව්‍යාපාර කළමණාකරනය සම්බන්ධ පශ්චාත් උපාධියක් දක්වා මං අධ්‍යාපනය හැදෑරුවා.

පස්සෙ ඔබ ගායනයට එකතු වුණා?

වැඩිය කවුරුවත් දන්නෙ නැති වුණාට උදයකාන්ත මහත්මයාගේ චැලෙන්ජර්ස් චිත්‍රපටයට ගායනයෙන් එකතු වන්නට ලැබුණා. ඊට පසුව බොහෝ කාලයක් ගත වුණායින් අනතුරුවයි මගේම ගීතයක් කළේ.

වෙස් මුහුණක් . . . වෙනස් ගීතයක්?

ගොඩක් අය වෙස් මුහුණු දාගෙනනෙ ඉන්නේ. බොරුවෙන් ජීවත්වන අය කොච්චර නම් ඉන්නවද. අන්න ඒ අය ගැන තමයි කියවෙන්නේ. මේකෙ පද රචනය මගේ. ඒක ලිව්වෙත් මහ රාත්‍රියක. මට ඔය අදහස් ටික එක සැරයටම ඔළුවට ආවා. එවලේ මහ රෑ. මං මෙහෙම කරන තත්පරයෙන් කොලයක් අරගෙන මෙලඩියකුත් හදාගෙන සිං කරමින් ගීතය ලිව්වා. සංගීතය නිර්මාණය කළේ කීර්ති පැස්කුවල්. ලහිරු පෙරේරා සංගීත සංයෝජනය කළා.

එතකොට වීඩියෝව?

එය නිර්මාණය කරලා දුන්නේ චමිල් පතිරණ. හප්පේ සෑහෙන කට්ටක් කෑවා ෂූට් එක කරද්දී. නැටුම් දර්ශනයක් තියෙනවා වීඩියෝ එකේ. ඒක කළේ රෑ දොළහට විතර. එතකොට මාත් එක්ක නර්තනයේ යෙදුණ මල්ලිලා ටික පැත්තකට වෙලා නිදි. එයාලව ඇහැරවගෙන නිදිමතේ ඩාන්සිං අයිටම් එක කළා.

දැක්ක ගමන් කන්න හිතෙනවා කියලා කිව්වේ ඔයා නේද කියලා අද කවුරුවත් අහන්නේ නැද්ද?

මං ටිකක් වෙනස් වෙලා. රූපෙත් එක්ක මාව හඳුනනවා අඩුයි. මතක අයත් ඇති. නමුත් ඇඩ් එක නම් කාටවත් අමතක නැහැ. ඒ දවස්වල මට තැනකට යන්න බැහැ. පාසලකට ගියත් අත්සන් කරන්න පොත් උස්සගෙන එනවා.

වෙස් මුහුණක් ගීතයේ පදමාලාව:

වෙස් මුහුණක් දාගෙන දෝ ඉන්නේ
කවුදැයි කවුදැයි අපි නෑ හඳුනන්නේ
කවුරුද මේ යන්නේ, කොහෙටද මේ යන්නේ
කාවද මේ රවටන්නේ
වෙස් මුහුණක් දෝ දාගෙන මේ ඉන්නේ

අහිංසකව ඉපදෙන්නේ
පස්සෙයි පොඩි බොරු කියන්නෙ//
බොරු ටික ටික ලොකු වෙන්නේ
බොරුවෙන් අපි වෙස් ගන්නේ
වෙස් මුහුණක් . . .

ජීවිතේ කෙටියි ඔබ දන්නේ
ඒ ටිකට ඇයි මේ රවටන්නේ//
ඉන්නා ටික කාලේ ඇත්තක්ම ද කිව්වේ
බොරුවේ ගමන කොටයි ඒ බව දැනගන්නේ
වෙස් මුහුණක් . . .

නිශ්ශංක විජේරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages