මං බාරගන්න චරිතවලට වඩා අත්හරින චරිත වැඩියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

මං බාරගන්න චරිතවලට වඩා අත්හරින චරිත වැඩියි

ප්‍රියන්ත සිරිකුමාර
පෙබරවාරි 14, 2019

ෂාඞ ඌ මාර නළුවෙක්නෙ.
තාල සිනමාපටයේ විශේෂ දර්ශනයක් පැවති දින මා මිත්‍රයකු පැවසුවේ එක්තරා නළුවකුගේ රංගනය දැකීමෙන් අනතුරුවය.
හ්ම්... යනුවෙන් මම ඊට හූමිටි තැබුවෙමි. මිතුරා ඌ යනුවෙන් සඳහන් කළ නළුවා ප්‍රියන්ත සිරිකුමාරය. ඔහු තාල සිනමාපටයේ ඔසුකුල නමැති ගුරුවරයකුට පණ පොවනු ලබයි. ගින්නෙන් උපන් සීතල සිනමාපටයේ ද මේ නළුවා රංගනයෙන් දායක වේ. සැබවින්ම ඔහු රඟනොපා රඟපාන නළුවකු බව එකී සිනමාපටයේ ලයනල් බෝපගේ ගේ චරිතය මනාව ගොඩ නඟන අන්දමින් පෙනී ගියේය. නිතර දෙවේලේ දැකිය හැකි නළුවන් ගොන්නේ ප්‍රියන්ත සිරිකුමාරලා නැත්තටම නැතිය. පඳුරකට නොව පඳුරු කිහිපයකටම පයින් ගැසුව ද එවැනි නළුවන් විසි වන්නේ ද නැත. අනෙක් අයවලුන්ගෙන් සිරිකුමාරලා වෙනස් වන්නේ එහෙයිනි. රංගනය නමැති විෂයය නියමාකාරයෙන් හඳුනාගෙන ඉඳහිට බාරගන්නා චරිතයන් මතක හිටින චරිත බවට පත් කරමින් රඟපාන ප්‍රියන්ත සිරිකුමාරට මේ ඉඩ වෙන් කරන්නට අපි තීරණය කෙරුවෙමු.

ප්‍රියන්ත එකිනෙකට වෙනස් අන්දමේ චරිත ද්විත්වයක් ඔස්සේ ඔබ සිනමාලෝලීන් හමුවට එනවා. මා පළමුව කතා කරන්නේ ලයනල් බෝපගේ ගැන...?

ඔව්. මොන වගේ දෙයක් ද ඔබට ඒ ගැන දැනගන්න අවශ්‍ය කරන්නේ?

චරිතය ගැන කළ අධ්‍යයනය ගැන. විශේෂයෙන් එය සැබෑ චරිතයක් වන නිසා?

සාමාන්‍යයෙන් පිටපතට අනුව අප සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූවා. තවදුරටත් චරිතය ගැන අධ්‍යයනය කළේ එහිදී. ඔය කියන කාලය ඒ කියන්නේ අසූ ගණන්වල මුලනෙ. අපිත් ඒ කාලේ ශිෂ්‍යයෝ. සමහර කරුණු කාරණා අපි දැනගෙන හිටියා. මං කියන්නේ නැහැ මේක ලොකු අධ්‍යයනයකින් පසුව කළ චරිතයක් කියලා. මෙහි වැඩි අධ්‍යයනයක නියැලුණේ පිටපතත් එක්කයි.

එතකොට ඔසුකුල?

ගුරුවරයකු වුණාට ඔසුකුල ටිකක් කපටියි. ගුරු වෘත්තිය අස්සේ තමන්ගේම ව්‍යාපාරයකුත් කරනවනෙ. වාසියට හෝයිය කියනවා. තාල චිත්‍රපටයේ අධ්‍යක්ෂ පාලිත පෙරේරා මෙහිදී මතක් කරන්න ඕනෑ. ඔහු තමයි දැනගෙන හිටියේ මේ චරිතය ගමන් කරන්නේ මොන වගේ රේඛාවක ද කියන එක. නමුත් ඔහු මට නිදහස දුන්නා නිදහස් රංගන ශෛලියක් මෙහිදී මට පාවිච්චි කරන්න. පිටපතට අමතරව අඩු වැඩි වශයෙන් මගේ ශිල්පීය දැනුම ද ඔසුකුල නිරූපණයට යොදා ගත්තා.

රඟනොපා රඟපෑමට ඔබ දක්ෂයෙක්?

විෂයය හඳුනා ගැනීම තමයි ඒකේ රහස. මේ ගමන ආරම්භයේදිම හැදෑරීම්වලට මා යොමු වුණා. ශිල්පියකු හැටියට ස්ථාවර ගමනක යෙදෙන්න ශිල්පීය දැනුම ඉතා වැදගත්.

රංගනයට අමතරව ඔබ අංග රචනා ශිල්පියකු ද වෙනවා. නමුත් මෑතකාලීනව ඔබ වැඩි වශයෙන් යොමු වුණේ රඟපෑමට පමණයි?

මගේ ක්ෂේත්‍රය රංගනය. හැබැයි මුල් කාලේ ක්ෂේත්‍රයට එකතු වන්නේ නළුවකු වන්නම නෙවෙයි. විෂයක් විදිහට වඩා වැඩි හඳුනා ගැනීමක යෙදෙන්න ලැබුණම රංගනය වැඩිපුර මගේ සිත් ගත්තා. ඔය අතරේ තමයි ජයලාල් රෝහණ මහත්මයා මට ආරාධනා කළේ අංග රචනයට. ඔහුගේ සහායකයකු හැටියට වැඩ කළා. හැබැයි මේ වන විට මං පූර්ණකාලීනව රංගනයට යොමු වෙලා.

ඔබ රඟපෑ චරිත අතරින් වඩා සිත්ගත් චරිතය, තවත් විදිහකින් ඇහැව්වොත් වඩා වැඩිපුර විඳපු චරිතය?

එහෙම කියන්න තරම් මං චරිත කළාද ... මං හිතනවා එහෙමටම විශේෂ චරිතයක් ගැන කියන්න අමාරුයි. මෑතකාලීනව තමයි ඔය සිනමාපටවල ප්‍රධාන චරිත ලැබෙන්න පටන් ගත්තේ.

ඒ කියන්නේ මේ ගෙවෙන්නේ ඔබේ හොඳම කාලේ?

මේක හොඳම කාලෙ ද කියන්න මං දන්නේ නැහැ.

ඔබ වැඩිපුර දකින්නට නැති වාරණය ඔබ විසින්ම දමා ගත් එකක්ද?

මාව අවබෝධ කරගත්තු අධ්‍යක්ෂවරු තමයි මට වැඩිපුරම කතා කරන්නේ. ඔවුන් මගේ රංගන පරාසය හඳුනනවා. රංගනයට නිතරම ආරාධනා ලැබෙනවා. නමුත් බාරගන්න චරිතවලට වඩා අතහරින චරිත වැඩියි.

චරිත තෝරා ගන්නේ මොන වගේ මිම්මකින්ද?

එහෙම නීර්ණයක් නැහැ. ඉස්සර වගේ නෙවෙයිනෙ. දැන් චරිත තෝරා බේරා ගැනීම හරිම පහසුයි. ඉස්සර නම් අමාරුයි.

මෙගා ටෙලි නාට්‍යවල ඔබ දක්නට නැහැ? ඒකත් ඔබගේ වාරණයක්ද?

නැහැ. මං ඔය ජීවිතයට ඉඩ දෙන්න වගේ නාට්‍යවල හිටියේ. සාර්ථක පිටපතක් නම් මොන වර්ගයේ නාට්‍යයක වුණත් රඟපාන්න ලැබෙන ආරාධනා බාර ගන්නවා.

ඔබව සාමාන්‍ය ජනතාව හඳුනනවාද? මං ඇහැව්වේ ඔබේ ජනප්‍රියත්වය කෙබඳුද කියලා?

මගේ ලොකු දුව කියනවා තාත්තා රඟපෑවට නිකම් ජීවිතයේ හරිම සරලව ඉන්නවා කියලා. මං සවිඥානික කෙනෙක්. ජනප්‍රියත්වයට වඩා රංගන විෂයය පැත්තෙන් දෙයක් කරන්න උත්සාහ කරන නළුවෙක්. හැබැයි ඉතාම සීමිත පිරිසක් මාව හඳුනවා, කතාබහ කරනවා. මගේ චරිත ගැන විමසනවා.

සිනමා නිර්මාණකරුවකු විදිහට ගමනක් පටන්ගන්න අදහසක් නැතිද? දශක ගණනාවක අත්දැකීම් එහෙමත් තියෙනවානෙ?

මං තවම රස විඳිනවා. ඒ ගමන් තව තව අත්දැකීම් එකතුකර ගන්නවා. ඔවැනි දෙයකට අතගහන්න ටිකක් කල් ගත වන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.

තිලක් පෙරේරා

No comments:

Post a Comment

Post Bottom Ad

Pages