තරුණ ප්‍රශ්න විසඳීමට පියවර ගත් නායකයා ජනපති මෛත්‍රී පමණයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

තරුණ ප්‍රශ්න විසඳීමට පියවර ගත් නායකයා ජනපති මෛත්‍රී පමණයි

Author(s): 
සමන්මලී ප්‍රියශාන්ති

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගෙන් පසුව මෙරට තරුණයන්ගේ දැවෙන ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පියවර ගත් එකම නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කෙළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීවේය.

තරුණයින්ගේ අසහනය, පීඩනය වෙනුවෙන් මෙතෙක් ආණ්ඩු ආවධානය යොමු කළේ නැහැ. එය ඉතා සංකීර්ණ කටයුත්තක් වුවත් ඒ පිළිබඳව උනන්දුවක් දැක්වීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පළ කරනවා. බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් තරුණයින් යොදා ගත්තද ජයග්‍රහණයෙන් පසුව තරුණයින්ගේ ගැටලු ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. තරුණයින්ගේ ප්‍රශ්න විසදුණොත් නැවත තරුණයින් තමන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතෙක් තරුණයින්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නට එම පක්ෂ කටයුතු කළේ නැත්තේ.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 1990 කාලයේ දී තරුණයින්ගේ ගැටලු විසදීමට තරුණයින් පිළිබඳ ව ජනාධිපති කොමිසන් වාර්තාවක් තිබුණා. එහි තරුණයින්ගේ ගැටලු විසඳීමට නිර්දේශ රාශියක් ඉදිරිපත් කර තිබුණා. ඒවායින් සියයට 80 ක් ම ක්‍රියාත්මක වෙලා නැහැ. මේ නිසා මෙතෙක් පත් වු සෑම ආණ්ඩුවක්ම තරුණ ගැටලුවලට දැක් වු අවධානය අපට අවබෝධ කර ගත හැකියි.

මේ පිළිබඳව ජනාධිපතිවරයා ඒ ගැන අවධානය යොමු කරලා ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ තරුණයින් වෙනුවෙන් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහන තුළින් තරුණයින්ගේ ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා. ලංකාව පුරා වෘත්තීය මාර්ගෝපදේශ ආයතන 50 ක් ඒ යටතේ ස්ථාපිත කෙරෙන අතර එහිදී තරුණයින්ගේ ගැටලු විසඳීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති, ප්‍රතිපත්ති සමඟ තමයි මේ ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. මේ ආයතනයට යම් තරුණයෙකු ආ විට ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් මඟින් ඔහු යා යුතු ක්ෂේත්‍රය එම ආයතනයේ උපදේශකවරු විසින් තීරණය කරනු ලබලා පියවරින් පියවර ඒ සඳහා තරුණයා යොමු කරවනු ලබනවා. යම් තරුණයෙකුට දේශපාලන ක්ෂේත්‍රයට ඒමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම ලබා දෙනවා. ඔහුට ආර්ථික, දේශපාලන ක්ෂේත්‍ර ගැන දැනුම ලබා දීම, ප්‍රාදේශීය, පළාත්, මහමැතිවරණ මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ දක්වා ගමන් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද දැනුවත් කරනවා. වෙනත් ක්ෂේත්‍රයක ජනප්‍රිය වු අයෙක් ඡන්දේ ඉල්ලන්න දාන ක්‍රමය තමයි අද තිබෙන්නේ. තරුණ සම්පත අපතේ නොයවා තරුණ ජවය රටේ සංවර්ධනයට දායක කර ගැනීම තමයි අපි මෙයින් අරමුණු කරන්නේ.

අද රටේ ජනතාවට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදු ව තිබෙනවා. මත්ද්‍රව්‍ය අභියෝග ද අද අපේ රටේ තිබෙනවා. මේකට අත දාන්න නම් ප්‍රතිපත්තිගරුක බවක් තිබෙන්න අවශ්‍යයි. තමන්ගේ යාළුවන්ව බේරන්න කටයුතු කරන අය මේකට අත දාන්නේ නැහැ.අද ඒ ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙනවා.බොහෝ දෙනා හිතුවේ දේශපාලන වාසි ගන්න, තමන්ගේ යහළුවන් බේරගන්න තමයි මේ පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගන්නේ කියලා. අද එය සම්පුර්ණ වැරදි අදහසක් බව ඔප්පු වෙලා තිබෙනවා. මේ රටේ දරුවන් බිලි ගන්න, සමාජ සංස්ථාව බිඳි වැටීම වළක්වා ගන්න මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීම තමයි ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබුණේ. අපේ ඡන්ද පදනම ලක්ෂ 12 ට අඩු වුණේ, ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මේ ප්‍රතිඵලය ලැබුණේඅපි එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවේ හිටපු නිසයි. ඒ ආණ්ඩුවට ආපු සියලු චෝදනා අපිට එල්ල වුණා. ඒ දේවල්වලට අපිටත් වන්දි ගෙවන්න සිදු වුණා. දැන් අපි ඒ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක නැවත එකතු වෙලා ඉන්නවා. ඒ නිසා අපි පක්ෂයක් ලෙස අද ඉදිරියට ඇවිත් තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මහතා,

අද ලංකාවේ දේශපාලන ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් යනවා. දකුණු ආසියාවේ දියුණුම රට අපියි. නිදහස ලබන විට ආසියාවේ දෙවැනියට සිටිය රට අපි අද එය හත්වැනි තැනට වැටිලා තිබෙනවා. මේ දෙකටම වග කියන්න ඕනේ මෙතෙක් සියලු රජයන්. අද අපේ මේ සියලු ක්ෂේත්‍ර අලුත් වෙනස්කම්වලට යන්න අවශ්‍යයි. අපි අද පක්ෂයක් ලෙසද වෙනස් වෙමින් ජනතාවගේ අවශ්‍යතාවලට අනුව කටයුතු කරන්න අවශ්‍යයි. අපි තවම ඇදගෙන ඉන්නේ මීට අවුරුදු 15 කට පෙර ඇන්ද ඇඳුම. එය දැන් වෙනස් කරන්න අවශ්‍යයි. ජනතාව අද ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු මේ සියලු ක්ෂේත්‍රවල වෙනස්කම් ඉල්ලා සිටිනවා. මේ සියලු දේට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඔස්සේ අලුත් වෙනසක් ඇති කරන්නට අවශ්‍යයි. ඒ අභියෝගය 2020 පත් වෙන ආණ්ඩුවට තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි ඒ අභියෝගයට සුදානම් බවත් කිව යුතුයි.

තවත් මාස කිහිපයක් පමණයි මේ ආණ්ඩුවට තිබෙන්නේ. අපි වහාම ඡන්දයක් අවශ්‍යයි කියන ගමන පටන් ගන්න අවශ්‍යයි. ජනතාව ඉල්ලන අලුත් වෙනස ලබා දිය හැකි කණ්ඩායමක් අද මේ රටට අවශ්‍යයි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සම්බන්ධීකරණ ලේකම් රසික දේශප්‍රිය මහතාද අදහස් දැක්වීය. මාධ්‍ය සම්බන්ධීකාරක ලකිඳු ගජසෙන්, කොළඹ දිස්ත්‍රික් සංවිධායක විදුර බාලසූරිය මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වුහ.

ඡායාරූපය - විමල් කරුණාතිලක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages