එකතුවෙලා වැඩ කළොත් වසර පහකින් රට ගොඩනඟන්න පුළුවන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

එකතුවෙලා වැඩ කළොත් වසර පහකින් රට ගොඩනඟන්න පුළුවන්

හැමතැනම කුණු කසළ ගැන උද්ඝෝෂණ තිබෙනවා. පොහොට්ටුවේ ප්‍රාදේශිය සභාවක් නම් උද්ඝෝෂණය ගෙනයන්නේ එක්සත් ජාතික පක්ෂයේ අයයි. එක්සත් ජාතික පක්ෂයේ සභාවක් නම් උද්්ඝෝෂණය කරන්නේ පොහොට්ටුවේ අයයි. ඒ නිසා පක්ෂ බේදයකින් තොරව එකට වාඩිවෙලා මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි.

යල්පැනගිය දේශපාලන සංස්කෘතියෙන් මිදී පක්ෂ පාට බේදයකින් තොරව ජාතික ප්‍රශ්න හමුවේ එකට අත්වැල්බැඳගනිමින් වැඩකිරීමේ වගකීම සියලු ජනතා නියෝජිතයන් සහ ජනතාව සතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශපාලන පක්ෂවලට බෙදී එකිනෙකා විවේචනය කරගැනීම පසෙකට දමා රටේ සියලුම පක්ෂ එකට එකතුවී රට ගොඩනැඟීමේ කටයුත්ත වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් ක්‍රියා කළහොත් වසර පහක් තුළ රට ණය බරින් නිදහස් කර ආර්ථික දියුණුවක් ඇතිකළ හැකි බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අගමැතිවරයා මෙම අදහස් පළකළේ පසුගිය 9දා ගාල්ල හෝල්ඩ් ගෝල් ශාලාවේදී පැවැති පළාත් පාලන, පළත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කෙරෙන ‘අපේ නගරය පිරිසිදුව තබා ගනිමු‘ යන දීපව්‍යාප්ත වැඩසටහන් තවදුරටත් ඵලදායි කිරීම සදහා දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන වෙත රුපියල් මිලියන 740ක් වටිනා ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය රථ වාහන සහ යන්ත්‍ර 118ක් බෙදාදීමේ උත්සවයට එක්වෙමිනි.

කසළ ස්ව්‍යංක්‍රීයව එක් රැස් කරන කම්පැක්ට් යන්ත්‍ර 100ක්, ගලි බවුසර් නවයක්, බොබ් කැට් යන්ත්‍ර නවයක් වශයෙන් ඒ ඒ පළාත්වල අවශ්‍යතා අනුව ලබාදීම සිදුවිය. සෑම පළාත් පාලන ආයතනයකම සභාපති සහ විපක්ෂ නායක එක්වර වේදිකාවට කැඳවා නිල වශයෙන් අගමැතිවරයාගේ සුරතින් එම රථවල යතුරු ලබාදීම සුවිශේෂී සිදුවීමක් විය.

එම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

පළාත් පාලන, පළාත් සභා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන ඔබේ ගාලු ප්‍රදේශයේ ජනතා නියෝජිතයා වජිර අබේවර්ධන ඇමැතිතුමා මේ ප්‍රදේශයට විශාල සේවයක් කරනවා. මේ ප්‍රදේශය එතුමාගේ මැදිහත්වීම මත දියුණු මට්ටමකට ගෙනැවිත් තිබෙනවා.

අද (9) ප්‍රාදේශීය සභා පළාත් සභා සියල්ලටම කම්ෆැක්ටර් (කසල එක්රැස් කරන යන්ත්‍ර), බොබ්කැට්, ගලි බවුසර් බෙදලා දෙනවා. දැනට දෙන්නේ කම්ෆැක්ටර් 100යි. බොබ්කැට් නවයයි, ගලි බව්සර් නවයයි. සමහරු බලනවා අපේ පැතිවලට නැද්ද කියලා. තව කම්ෆැක්ටර් 290ක් දෙන්න තිබෙනවා. ඒවත් ලබලා දෙයි. මෙම වැඩසටහන ජපන් රජය සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක කරන්නේ. දැනට මෙම ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 735යි. මෙය පළමු අදියර පමණයි. මෙම කම්ෆැක්ටර් මගින් අපි බලාපොරොත්තු වෙන්නේ කසල කළමනාකරණය මීට වඩා හොඳින් වෙයි කියලා.

අදවන විට කුණු කසළ එකතුකිරීම විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. නමුත් අපි මෙම ගැටලුවට නිසි විසඳුමක් සෙවිය යුතුයි. මම මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මෙම කසළ ගැටලුවට අගමැති වන මටයි විෂය භාර ඇමැතිතුමාටයි විසඳුම් සොයන්න බෑ. ඒකට නගරාධිපතිතුමයි, නගරසභාවේ හැම පක්ෂයකට අයත් මන්ත්‍රීවරුනුයි, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුයි එකට එකතුවෙලා සාකච්ඡා කර තීරණයකට ආ යුතුයි. එතකොට අපිට එම තීන්දු ක්‍රියාත්මක කරන්න උදවු කරන්න පුළුවන්.

ඇත්තම කතාව කිව්වොත් මේ හැමතැනම කුණු කසළ ගැන උද්ඝෝෂණ තිබෙනවා. පොහොට්ටුවේ ප්‍රාදේශිය සභාවක් නම් උද්ඝෝෂණය ගෙනයන්නේ එක්සත් ජාතික පක්ෂයේ අයයි. එක්සත් ජාතික පක්ෂයේ සභාවක් නම් උද්්ඝෝෂණය කරන්නේ පොහොට්ටුවේ අයයි. ඒ නිසා පක්ෂ බේදයකින් තොරව එකට වාඩිවෙලා මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. ඒක විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක්, මොකද කොහේහරි කුණු දාන්න ඕනා. කුණු දාන්නේ නැතුව ඉන්න බෑ. මේ වගේ ලොකු ප්‍රශ්න විසඳන්න අපිට මාර්ගයක් තියෙන්න ඕනා.

මෙම කසළ ප්‍රශ්නය නිසි ආකාරව කළමනාකරණය නොකළොත් විනාශ වන්නේ ජනතාවගේ සෞඛ්‍යයි. නමුත් අපේ දේශපාලන ආකල්පය තිබෙන්නේ වෙන විදිහකට නිසා දිනපතා මේ එකතුවන කසළ කඳු නැති කරන්න බැරි වී තිබෙනවා.

මේ කම්ෆැක්ටර් දෙන එක හොඳ උදාහරණයක් දේශපාලන බේදයකින්තොරව කොහොමද ජාතික ප්‍රශ්න විසඳගන්නේ කියලා. මොකද මෙම රථවාහන බෙදාදීමේ වැඩසටහන ආරම්භ කළේ අපි 2015 ජාතික ආණ්ඩුවේ ඉන්නකොට එවකට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆෘ මන්ත්‍රීතුමා මැදිහත්වෙලා. එම වැඩසටහන සදහා ලංකාවේ මුදල් පමණක් යොදාගෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මුදල් ඇමැතිතුමා පියවර ගත්තා. ෆයිසර් ඇමැතිතුමා ජපානයට කතාකරලා තිබුණා, මටත් කතා කළා, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට කතා කළා. ජාතික ආණ්ඩුව අවසන් නිසා අපි මෙම වැඩකටයුත්ත කර අවසන් කළා.

දැන් ෆයිසර් ඇමැතිතුමා රජයේ නෑ කියලා අපි මේ ජාතික වැඩසටහන නැවැත්තුවේ නෑ. ඒ වෙනුවට වජිර ඇමැතිතුමා වැඩසටහන කරගෙන යනවා. අපි ෆයිසර් ඇමැතිතුමාට කතාකළාම කිව්වේ මෙම වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න හිතන් හිටියේ මේ විදිහට ඔයගොල්ලෝ ඉදිරියට කරගෙන යන්න කියලා. එතුමා ආණ්ඩුවේ නොහිටියත් කිසිම විරෝධතාවක් නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රධාන පක්ෂ දෙකේ කණ්ඩායමක් එකට වැඩකළා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක තුළ ගැටලු තිබෙන්න පුළුවන්. මොකද මිනිස්සු කතාකරන්නේ ප්‍රධාන බලවේග දෙක ගැනනේ. නමුත් අපි කොහොමහරි පක්ෂ දෙක එකතුකිරීමේ වැඩකටයුත්ත කළා. රටේ ප්‍රධාන පක්ෂ දෙක දේශපාලනමය වශයෙන් සංස්කෘතීන් දෙකක තිබෙන්නේ. ඉතින් ඒ දෙක එකතුවෙලා කොහොමද ඉදිරියට යන්නේ. අපි ඒත් පුළුවන් විදිහට ඉදිරියට ගියා. නමුත් දැන් ජාතික ආණ්ඩුව නැහැ. පොහොට්ටුවේ සමහර අයත් කියනවා මෙහෙම ක්‍රමවේදයක් රටේ ඇතිකරන එක හොඳයි කියලා. බලයට ආවාම එකතුවෙලා වැඩ කරනවා, ඊළඟ ඡන්දෙදී ආපසු වෙන්ව තරග කරනවා. ඒක තමයි දේශපාලනයේ ස්වභාවය. එකතුවී හෝ වෙන්වී ජනතාවට සේවයක් කළ යුතුයි.

යුරෝපයේ රටවල් ගණනාවක මෙම ක්‍රමය සිදුවෙනවා. දේශපාලන පක්ෂ ඡන්දෙන් පස්සේ ආයෙත් එකතුවෙනවා. ඡන්දේ දෙනකොට වෙන් වෙනවා. ආපසු එකට වැඩකරනවා සෑම පක්ෂයක්ම එහෙමයි. එතකොට අපේ තිබෙන වෛරය නැතිවෙනවා. ඒ නිසා එම ස්ථාවරයේ සිටියයුතු බවයි මාගේ මෙන්ම අපගේ එක්සත් ජාතික පෙරමුණේ මතය වෙන්නේ. එහෙම වැඩකරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි ඒ දොරටුව විවෘත කරලා තියෙනවා. ඕනෑම කෙනකුට පුළුවන් අප සමඟ එකතුවී වැඩ කරන්න. ඒ නිසා අප ඔක්කොම එකට එකතුවෙලා වැඩ කළොත් මේ රට වසර පහකින් ගොඩනඟන්න පුළුවන්. ඒ නිසා අපි අලුතෙන් සිතිය යුතුයි.

නව දේශපාලන යන්ත්‍රයක් ඇතිකරලා මැයි 01 වැනිදා පළමුවැනි රැස්වීම පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ගමන එකසැරේ සාර්ථක වෙන්නේ නෑ. නමුත් නව දේශපාලන යාන්ත්‍රණයක් ඇතිකළාම ඉබේම මතුවන ප්‍රශ්නය විසඳෙයි. හරියට ගමේ කුණු ප්‍රශ්නය වගේ.

ප්‍රාදේශිය සභාවල සහ පළාත් සභාවල ඇතිවන ගැටලු සාමූහිකව විසඳා ගනිමින් අපි ඉදිරියට යා යුතුයි නැතිනම් අපිට අමාරු වෙනවා මෙම ප්‍රශ්න විසඳාගැනීමට. අපිට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මේ ණය බර. එම ගැටලුව සඳහා විසඳුමක් අපි ගෙනත් තිබෙනවා. සමස්ත ජනතාවගේ කැපවීම ඒ සඳහා අවශ්‍යයි.

එක්සත් ජාතික පෙරමුණ කැපවෙලා සිටිනවා දේශපාලන වෙනසක් කරන්න. යල්පැනගිය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න, දේශපාලන පක්ෂවල විවිධ මත තිබුණත් ජාතික ගැටලුවලදී සාධාරණ විසඳුම්වලට සහයෝගය දී එකට එම ගැටලු විසඳාගත යුතුයි. පළාත් පාලන අයතනවලට මෙම කසල කළමානාකරණය කිරීමේ රථ බෙදාදීම ඒකට හොඳ උදාහරණයක්. මොකද මෙතන ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ නොවන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්. අපි පක්ෂ පාට බේදයක් මෙම වැඩසටහනේදී බැලුවේ නෑ. මොකද මේක ජාතික ප්‍රශ්නයක් නිසා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා,

අද පළාත් පාලන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතන ගණනාවකට තමන්ගේ ප්‍රදේශ පවිත්‍ර කිරීමට යන්ත්‍ර සූත්‍ර වහන ලබාදෙනවා.

පළාත් පාලන ආයතනයකට නියෝජිතයන් පත්කරන විට විශේෂයෙන් මේ ප්‍රදේශයේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ප්‍රදේශය පිරිසිදු, අලංකාර නගරක් ලෙස සංවර්ධනය වනු දැකීමයි. පරිසර හිතකාමී නගර ලෙස සෑම ප්‍රදේශයක්ම ඇතිකිරීමේ වගකීම තියෙන්නේ පළාත් පාලන නියෝජිතයන් අතේ. ඒ නිසා මම කියන්න කැමතියි අද මේ ලබාදෙන වාහන මගින් ඔබේ ප්‍රදේශයේ ජනතාවගේ කසළ ගැටලුව විසඳන්න කියා.

අද දිනයේ වාහන නොලැබෙන පළාත් පාලන ආයතනවලටත් හැකි ඉක්මනින් වාහන ලබාදෙන බවට විෂය භාර ඇමැති වජිර අබේවර්ධන මහතා පොරොන්දු වුණා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ ගම්වල බරපතළ ගැටලුවක් වන ග්‍රාමීය පාලම් හිඟකම විසඳන්න විෂය භාර ඇමැතිවරයා වන වජිර අබේවර්ධන මහතා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එය ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කරනවා.

අපි බලාපොරොත්තු වෙනවා ඔප්පු වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කරන්න. අපි ලබන සතියේ තවත් වැදගත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. අගමැතිතුමාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන තමන්ගේ ඉඩමේ පූර්ණ නිදහස දීමේ (සින්නක්කර අයිතිය දීමේ) පනත අපි ඉදිරි සති දෙක තුළදී ක්‍රියාත්මක කරනවා.

අද ඉඩම් ගැටලු විශාල වශයෙන් පළාත් පාලන ආයතනවලට එනවා. ඒ නිසා ඉඩම් සම්බන්ධ යල් පැන ගිය නීති ලිහිල් කර ජනතාවට ඉඩම් ගැටලු විසඳාගැනීමට සහන දෙනවා. මේ පිළිබඳව අපි නීතිපති දෙපාර්තමේන්තුවට පත්‍රිකාවක් යවලා තිබෙනවා. ඒක කැබිනට් මණ්ඩලයේ අනුමත කර, ඉඩම් නඩුවලට ජනතාව උසාවි ගානේ රස්තියාදු වුණු යුගය අවසන් කරනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නිතරම කියන දෙයක් තමයි ප්‍රාදේශීය සභාවලට අදාල ඉඩම් නිදහස් කරදෙන්න කියල. මගේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභාවල ඉඩම් අපි ඉදිරි මාස කීපය තුළ නීත්‍යානුකූලව ඔවුන්ට නිදහස් කර දෙනවා.

පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 332ක් තිබෙනවා. අගමැතිතුමාගේ උපදෙස් පරිදී මෙම රජය ගතවූ වසර තුන ඇතුළත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 180කට වැඩිය හදලා අවසන් බව සතුටින් කියන්න කැමතියි.

මෙම කාර්යාල 332 220 ක් පමණ අංගසම්පූර්ණයෙන් අලුත්වැඩියා කර තිබෙනවා. දිස්ත්‍රික්ක 25න් දිසාපති කාර්යාල නැති දිස්ත්‍රික්ක ගණනාවක් තිබෙනවා. ඒවා අතරින් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉදිවෙනවා වසර 400කට පස්සේ රුපියල් මිලියනක දෙකක වියදමින් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්. මේ වගේ සෑම දිස්ත්‍රික්කයේම දිසාපති කාර්යාල ඉදිවෙනවා.

ශ්‍රී ලංකාවේ විශලම දිස්ත්‍රික්කයක් වන ග්‍රාමසේවා වසම් 1510ක් තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් පරිපාලනය ස්ථාන පහක තිබෙන්නේ. එය එක ස්ථානයකට ගෙන එන්න අගමැතිවරයාගේ උපදෙස් මත රුපියල් බිලියන 04ක් යොදවා තිබෙනවා. වර්ග අඩි දෙලක්ෂ පනස්දහසක් තිබෙනවා. අපි ඒක හැදුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිපාලනය එක තැනකට ගේන්න.

මම මේ සඳහන් කළේ අපි කළ ඉදිකිරීම් එකක් දෙකක් විතරයි. 2020 වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 හේම සියලු පරිපාලන ආයතන අංගසම්පූර්ණ වෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත කරනවා වගේම අගමැතිවරයාගේ අරමුණ ලංකාවේ පළාත් පාලන ආයතන සියල්ල ශක්තිමත් කිරීමයි. එතුමා හැමවෙලාවෙම මට උපදෙස් දෙනවා පළාත් පාලන ආයතන සියල්ල වැටෙන්න දෙන්නේ නැතිව ශක්තිමත් කරන්න කියලයි. ඒ අනුව අද පළාත් පාලන ආයතනවල දියුණුව වෙනුවෙන් රථවාහන ලැබෙනවා.

මේ වසරේ අපි සැලසුමක් ක්‍රියාත්මක කරලා තිබෙනවා රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හරහා රුපියල් ලක්ෂ 8000ක් ලබාදෙන්න. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් සමඟ අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් කළ සාකච්ඡාවේදී එකඟ වුණේ ජනතාවගේ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමට සියලුම පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයෙන් මුදල් ලබාදෙන බවටයි.

ශ්‍රී ලංකාවේ මෙ වන විට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා කසළ නිසි ආකාරව කළමනාකරණය නොකිරීම. එම අභියෝගය ජයගැනීම සඳහා සෑම ප්‍රදේශයටම ලැබෙනවා කසළ එකතුකිරීමේ රථයක්. මෙම සියලු රථ සඳහා මුදල් ලබාදුන්නේ අගමැතිවරයාගේ අනුදැනුමෙන් මහාභාණ්ඩාගාරයෙන්.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල

රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සියලුම පළාත් පාලන ආයතනවලට අවශ්‍ය රථවාහන ගණනාවක් ලබාදී තිබෙනවා. අද දිනයේ සීයක් අපි ලබාදුන්නත් අපි බලාපොරොත්තු වනවා ඉදිරි දින කීපය ඇතුළත තවත් යන්ත්‍ර 190ක් ප්‍රාදේශීය සභා නහර සභාවලට ලබාදෙන්න. ඒ නිසා මේ යන්ත්‍ර බෙදාදීමේදී ඉල්ලීම් සියල්ල සම්පූර්ණ කරන්න බැරිවුණා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුළ සියලු දෙනාගේම ඉල්ලීම් ඉටුකර දීමට.

පළාත පාලන අමාත්‍යාංශය මගින් ග්‍රාමීය මට්ටමේ සංවර්ධන වැඩසටහන් සහ ග්‍රාමීය පාලම් සියල්ල ඉදිකිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා මැති ඇමතිවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, ජේ. සී. අලවතුවල, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, වඩිවෙල් සුරේෂ්, විජේපාල හෙට්ටි ආරච්චි, මනූෂ නානායක්කාර, ඒ.එච්.එම් හාරිස්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු රාජ්‍ය අංශයේ නියෝජිතයන් පිරිසක් සහ පළාත් සභා මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

අසේල ලියනගේ, ගාල්ල සමූහ දික්වැල්ලේ තිලකරත්න, හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ , ඉමදූව සමූහ ලංකින්ද නානායක්කාර සහ හිනිදුම සමූහ ප්‍රාර්ථනා ලියනගේ
ජායාරූප- හිරන්ත ගුණතිලක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages