අම්මා නොවෙයි බුදු වන්නේ නුඹයි පුතේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

අම්මා නොවෙයි බුදු වන්නේ නුඹයි පුතේ

තිරිමාදුර-කොතලාවල එක්ව හැදූ 'ද නිවුස් පේපර්'
පෙබරවාරි 14, 2019

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල දෙපළ ඉඳීකට්ටයි නූලයි මෙනි. ඔවුන්ගේ අලුත් චිත්‍රපටය පිළිබඳ කතාබහක යෙදීමට පවා දෙන්නා යන්නේ එකටමය. වැඩ අධික නළුවන් දෙදෙනකු නිසා ඔවුන් එකවර අල්ලා ගැනීමද ලේසි පහසු කටයුත්තක් නොවේ. සහාය අධ්‍යක්ෂ රංජන් ප්‍රසන්න නොවන්නට මේ දෙදෙනා‍ගේ මේ කතාබහ තවත් ප්‍රමාද වන්නට ඉඩ තිබිණි.

සරසවිය පඩිපෙළ තිරමාදුර කොතලාවල යුගල තරණය කළේ ගීතයක් මුමුණමිනි. තිරමාදුර‍ගේ දෑස දිලිසෙමින් තිබේ. කොතලාවල මහත් හැඟුම්බර මුහුණකිනි. කුමාර මට කියයි.

මචං අපේ සුනිල් සර් (මහාචාර්ය සුනිල් ආරියරත්න) සින්දුවක් ලිව්වා අපේ චිත්‍රපටියට. පට්ට බං. අම්මා නෙවෙයි පුතා බුදු වෙන්න කියලායි ප්‍රාර්ථනා කරන්නේ. මේ අහංකො වචන ටික...

දොළේ දියත් නැති විය නුඹ නාවන්ට
තනේ ‍කිරිත් විය හිඟ තොල් පොඟවන්‍ට
කටුසර බෝග තිබුණේ බඩ පුරවන්‍ට
සමාවෙයන් පුතුණේ නුඹ වැදුවා‍ට
රෑගාණක් උලලේනී ඇඬුවාය
පිළිකන්නේ බැල්ලී උඩබිරුවාය
නුඹ එනතුරා අම්මා දින ගැන්නාය
හාමත්වෙලා ගොම පොළොවේ වැටුණාය
දුක්ගිනි නිවන්නට මතු ජාතියක නුඹේ
ආයෙත් මගෙ බඩට දවසක වරෙන් පුතේ
නුඹ ම‍ට කරපු දේවල් මහ මෙරක් වගේ
අම්මා නොවෙයි බුදුවන්නේ නුඹයි පුතේ

මම- බෞද්ධ සාහිත්‍යයේ අම්මලා පුතාලාට නියත විවරණ දීපු අවස්ථා කියවෙනවා තමයි.

සරත්- මරු නේද?

මම- හ්ම්.. ඉතින් අපි කතා කරමු ඒ ගීතය තියෙන 'ද නිවුස් පේපර්' ගැන?

කුමාර -අපි දෙන්නාගේ තිර රචනයකින් නිලේන්ද්‍ර දේශප්‍රිය තණ්හා රති රඟා කියලා චිත්‍රපටයක් කළානේ. ඒක ලංකාවේ හොඳම සිනමා කෘතියක් බවට පත් වුණා. හොඳම තිර පිටපත බවට පත් වුණා. අපි දෙන්නා හැමතිස්සෙම පිටපතක් ලියලා කාටහරි දෙනවා කරන්න කියලා. අපි ගාව ගොඩාක් අදහස් තියෙනවා පිටපත් ලියන්න. ඒ නිසා අපි දෙවැනි පිටපතත් ලීවා. අපි නිෂ්පාදකයෙක් හොයද්දි සරත් කොතලාවලට උසස් පෙළට උගන්වපු " ඒ කෙසේ වන්නේ වී නමුත්' කියලා මෙයාලා කියන ආචාර්ය බන්දුල ගුණවර්ධන සර් හම්බුණා.

සරත් -"ආ ඒ හමුවීම මම මෙහෙම කියන්නම්කො. තණ්හා රති රඟා බලන්න ඇවිත් ගිහින් දවසක් මට කතා කරලා කියනවා ' මට උඹලා දෙන්නා ලියපු පිටපතක් ඕනේ.' කියලා. ඒ වෙද්දි අපි 'ද නිවුස් පේපර්' සහ 'ශ්‍රී ලංකන්' කියන පිටපත් දෙකම ලියලා තිබුණෙ. කුමාරට කියලා පිටපත් දෙකම දුන්නම සර් තෝරගත්තෙ නිවුස් පේපර් එක. ඊට පස්සේ අධ්‍යක්ෂවරු හොයන්න ගත්තා. අන්තිමට කොහොමහරි එයාම කියනවා උඹලා දෙන්නම කරපල්ලා කියලා. සාමාන්‍යයෙන් පිටපතත් ලියලා අධ්‍යක්ෂණයත් කරලා රඟපැමත් කරනවා අඩුයි ලෝකෙ ඒ නිසා කරපල්ලා කියනවා. මෙයාට කීවාම ඇඟබේරගන්නනේ හදන්නේ. ඔන්න ඔහේ කාටහරි දෙමු බං කියලා.

කුමාර- පස්සේ දන්නේ ලංකාවේ දෙන්නෙක් පිටපතක් ලියලා අධ්‍යක්ෂණය කරලා රඟත්පාන පළමුවෙනි අවස්ථාව මේක කියලා. ඒක හරියට - දැන් මම ක්‍රිකට් බලන්නේ නැති වුණාට කළුවිතාරණයි සනත් ජයසූරියයි මැච් එකට ගියා වගේ. හැබැයි නිර්මාණයක් රටට හදන්න විතරයි අපට අවශ්‍යතාව තිබුණේ. නැතුව වාර්තා තියන්න නෙවෙයි. අපේ රටේ මිනිස්සුන්ගේ හද ගැස්ම මිනිසුන්ට කියා ගන්න.

මම- සරත් අය්යටත් එහෙමද හිතුණෙ?

මේ වෙද්දි අපි ගාව වස්තු බීජ තිහක් හතළිහක් විතර තියෙනවා. අපේ හිත ගැස්සෙනවා නම් මොනවා හරි දේකට ඒක වෙනම ලියාගෙන ඒක ඩිවලප් කරනවා. අපේ ප්‍රකාශන මාධ්‍ය බවට මෙච්චරකල් පත් වෙන්නේ වේදිකා නාට්‍යයනෙ. ඒවායේ සීමාවක් තිබෙනවා අපට කියන්න තියෙන දේවල. ඒත් චිත්‍රපටය ඊට වඩා මහා විශාලයි අපට කාලය සහ අවකාශය සූක්ෂ්ම විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන්.

කුමාර- සහ ලොකේට යන්න පුළුවන්.

සරත් - ඔව් ඒනිසා තමයි අපි චිත්‍රපටවලට වැඩි ආසාවක් සහ ලියන්න වැඩි වෙහෙසක් ගන්නේ. ඒකෙ තිබෙන සෛද්ධාන්තික පැත්ත විවිධයි. ඒත් ඒ ගැන නොහිතා නිරායාසයෙන් ලියලා මොන පදනමෙන්ද එය කරන්නේ කියන එක හිතන්නේ.

කුමාර- ලංකාවේ බෞද්ධ නායකයන් චරිත කතා රජ කතා කරනවනේ. ඒත් ඒවා ලෝකෙට ගියේ නැ. සරතුයි මමයි බුදු දහම ලෝකෙටම ගෙනිච්චා අවි ගත්තෝ අවියෙන් නසිති කියන දේ පෙන්වලා. ඒ එල්ටීටීඊයටද, ඇමෙරිකාවටද, අල්කයිඩාටද කියලා නැහැ. චූටි ආයුධයක් අතට ගැනීමෙන් සිදුවන මහ විපත පිළිබඳ ලෝකෙටම කීවා. ඔය ජාතක කතාවලින් අපේ රටට බුදු හාමුදුරුවන් ගැන කියනවාට වඩා උන්වහන්සේ අපි වැඩමවූවා ලෝකෙටම. සුමිත්‍රා පීරිස් මහත්මිය තණ්හා රති රඟා බලලා මාව වැලඳගෙන කීවේ මේ චිත්‍රපටය ඔබාමාට බලන්න යවන්න ඕනේ කියලා. මොකද ඒ දවස්වල තමයි අවුරුදු දහහතක ළමයෙක් පන්තියකටම වෙඩි තියලා ළමයි ගාණක් මැරිලා තිබුණේ.

සරත්- ද නිවුස්පේපර් එකේ බේසික් එක ගත්තොත් අපිට ලෝකේ මහා ප්‍රබල මාධ්‍ය දෙකක් තිබෙනවා. එකක් දේශපාලනය දෙවැන්න මීඩියා. මිනිසුන්ගේ දේවල් සමහර තැන්වලදි තීරණය කරන්නේ මාධ්‍ය. මාධ්‍ය පදනම් කරගෙන තමයි අපි චිත්‍රපටය නිර්මාණය කරන්නෙ.

කුමාර- තරහ වෙන්න එපා මාධ්‍ය කියලා කීවාට මොකද අපේ මාධ්‍යවලින් මනුස්සයකුගෙ වැරැද්දක් ගැන ලොකු නිවුස් එකක් දානවා. සමහර විට ඒ පුද්ගලයා වැරදි නැහැ. ඒත් ඒ නිවැරැදි බව කියන්නේ චූටි තීරුවකින් විතරයි. ඒත් ඒ මනුස්සයා සමාජයේ මහා කරදරයකට පත් වෙලා ඉවරයි ඒ වෙනකොට. මමත් අවුරුදු පහළොවක පත්තරකාරයෙක් නේ. සමස්ත මාධ්‍ය තුළ අහිංසක මිනිස්සුන්ගේ වේදනා සැහෙන ප්‍රමාණයක් පළවෙනවා.

සරත්- ඉතා විශිෂ්ට කාර්යභාරයක් කරනවා වගේම නොහිතා හෝ හිතා හෝ අරවගේ දේවලුත් වෙනවා. අපි නොහිතුවට එයින් විශාල වශයෙන් මිනිස්සු විවිධාකාරයෙන් අසරණ වෙනවා.

කුමාර- ඒකේ තව චූටි දෙයක් තියෙනවා. මාධ්‍ය කියන දේ වෛද්‍යවරුන්, දේශපාලනඥයන්, ඉංජිනේරුවන් ආදි සියලුදෙනාම විවේචනය කරනවා. ඒත් අපට මාධ්‍ය විවේචනය කරන්න පුළුවන්ද?

සරත්- විවේචනයක්ම නෙවෙයි. යම් ප්‍රකාශනයක් කිරීමේ අයිතිය.

කුමාර- අන්න හරි ඒ ප්‍රකාශනය කිරීමේ අයිතිය ජනතාවට තිබෙනවාද කියලා ජනතාවගේ පැත්තෙන් බලලා තමයි සරතුයි මායි 'ද නිවුස් පේපර්' ලීවෙ.

සරත්- ඒ හරහා සමස්ත සමාජයම අපට පුළුවන් තරම් විවරණය කරන්න උත්සාහ කළා. ඒ විතරක් නෙවෙයි. ඒ ඔස්සේ බැඳුණු විශාල ජාලයක් විවරණය කරනවා.

කුමාර- මේක ආයාචනයක් නෙවෙයි. ඉල්ලීමක්. සමස්ත මාධ්‍ය මේක ගෞරවයක් ලෙස ගන්න. මොකද ඒකට අපි දෙන්නා එක්ක තරහ වෙලා වැඩක් නැ.

මම- බයේද?

දෙදෙනාම- ආ? බයේ නෙවෙයි බයේ නෙවෙයි.

සරත්-ඒ කියන්නේ අපි මාධ්‍ය ගැන කේන්තියෙන් ද්වේශයකින් නෙවෙයි.

කුමාර- මාධ්‍යයට තියා දැන් මොකෙකුටවත් බය නැ. මොකද අපි කාගෙන්වත් රුපියලක්වත් අරන් යැ.

මම- හැබැයි මාධ්‍යම නේද කෙනෙක් චරිතයක් බවට පත් කරන්නේ?

සරත්- මෙහෙමයි. ඒ කෙනාගෙ ටැලන්ට් එක නැත්නම් මාධ්‍යවලින් ඉහළට ගෙනෙයිද?

කුමාර- අපි මේ කියන ඒවා මේකි පත්තරේ ලියන්නේ නැ. මමයි සරතුයි දැන් තැනකට ආව නිසානේ උඹලටත් අපිව ඕන වුණේ.

දෙදෙනා -අපි මුල් කාලේ අවුරුදු විස්සක් (සරත් තිස්පහක්) විතර අපට තිබුණද මාධ්‍යවල සහාය. අපි දෙන්නා පටන්ගත්තේ වීදි නාට්‍යවලින්. ඒ ජනප්‍රියත්වය හෝ මුකුත් නිසා නෙවෙයි. ලාභ ප්‍රයෝජන නිසාත් නෙවෙයි. සමාජ අවශ්‍යතාවක් ලෙස හිතපු නිසා.

මම- අද මාධ්‍යවලින් පොඩි දරුවන්ට පවා කොයිතරම් පබ්ලිසිටි දෙනවද?

කුමාර- මාධ්‍ය හැසිරෙන විදිහ මට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැ. සමහර තරු බිහි වෙන්නේ සමහරවිට එක ටෙලි නාට්‍යයකින් එක රැයකින්. මාධ්‍යවලින් ඔවුන් ඔසවා තබන තරමට අපට අවස්ථාව දීලා නැ. සමහර කලා පත්තරවල මුල් පිටුවක මගේ පින්තූරයක් ගිහින් නැ. ඒත් මාත් එක්ක රඟපාන්න ගිහින් වේවුලුව පුංචි නංගි කෙනෙක්ගේ පින්තූර ගියා. හැබැයි ඒ ළමයි අද කොහෙද හොයා ගන්නත් නැ.

මම- අපි සරත් අය්යාගේ පටන් ගැන්ම ගැන කියපු කතාව අහලා ඉමුද?

සරත්- මම වීදි නාට්‍ය පටන් ගත්ත 89 වසරේ ඉඳන් 2000 විතර වනතුරු කළේ චිත්‍රපට විෂයය ගැන ඉගෙන ගැනීම විතරයි. මට ෂෙල්ටන් පයාගල මහත්මයා හමු වුණා. ඔහු තමයි අපට සිනමාව ඉගැන්නූවේ. මම ආවේ නළුවෙක් වෙන්නවත් ජනප්‍රිය වෙන්නවත් ටාගට් එකක් තියාගෙන නෙවෙයි. මම රස්සාවල් කීපයක් කරලා එපා වෙලා ඒවායෙන් ගැළවිලා නිදහස සොයාගෙන තමයි එන්නේ මේ ගමන. මම චොකලට් ෆැක්ටරියක ගබඩා බාරකරු හැටියට හිටියා. කිරි කැපුවා, ගොවිතැන් කළා.

කුමාර- සමහර අධ්‍යක්ෂවරු මෙයාව හොයාගෙන ගිහින් තියෙන්නේ කුඹුරට.

සරත්- ඒ මගේ පළමුවෙනි නාට්‍යය. මනෝරත්න මහත්තයයි. අජිත් අය්යයි ආවෙත් කුඹුරට. පළමුවෙනි ටෙලි නාට්‍යයට ගන්න දිලීප් රෝහණ අය්යා ආවෙත් කුඹුරක වැටි වැටී.

කුමාර- මෙයා කුඹුරක වැඩ කළ ගොවියෙක්. මම සොයිසා ෆ්ලැට් කියන කොන්ක්‍රීට් වනාන්තරයක අතිශය නාගරික සහ මිශ්‍ර ජාතිකයන් සමඟ ජීවත්වුණ කෙනෙක්. අපි දෙන්නාගේ සංයෝගය සහ අත්දැකීම් මාර දෙයක් ගෙනාවේ.

සරත්- හැබැයි දෙන්නටම එක බේසික් එකක් තිබ්බා. බුඩිස්ම් (බුදු දහම) සහ හියුමන් (මානුෂීයත්වය). ඒ දෙක තමයි අපි දෙන්නා ළං කරන්න හේතුව. අපි වෙන වෙන මතවාදවල ඉඳලානේ එන්නෙ.

කුමාර- ඒ වගේම අපි දෙන්නගේ සුසංයෝගයට විශාල බාධක, කේලාම් එහෙමත් ආවා. අවසානයේ අපි කතාවුණා අපේ නෝනලා එක්ක තරහ වුණත් අපි දෙන්නා තරහ නොවී ඉමු කියලා.

සරත්- දැන් ඒ දෙන්නටත් කරන්න දෙයක් නෑ. දන්නවා මොනවා කීවත් වැඩක් නැ කියලා. මොකද කරන්න වැඩ ගොඩක් තිබෙනවා. මිනිහෙක් බොහොම ටික කාලයයි ජීවත් වෙන්නෙ. අපි දැන් ජීවිතේ බාගයක් ගෙවලා. ඉතින් කරන්න ඕන හරිය කරලයි යන්න ඕනා.

දෙදෙනාම- මේකෙදි මතක් කළ යුතු කීපදෙනෙක් ඉන්නවා. බන්දුල සර් ඉතින් අපේ ගුරුවරයා, චිත්‍රපටිකාරයානේ කොහොමත්. ඊට පස්සේ එච්.ඩී ප්‍රේමසිරි මහත්මයා, රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා මතක් කළ යුතුයි.

මම- ත්‍රස්තවාදය පරාජය කළ යුද වාතාවරණයක් තිබුණු රටක් හැටියට ඔබ දෙපළ හිතනවාද අපේ සිනමාවෙන් ඒ සම්බන්ධව මතු වූ නිර්මාණ ප්‍රමාණවත් කියලා?

සරත්- ඕකේ ඛේදවාචකය මතුවන්නේ අද නෙවෙයි 77. එදා තමයි සාහිත්‍යය ඉතිහාසය විෂය නිර්දේශයෙන් ඉවත් කරන්නේ. ඒකෙ ප්‍රතිඵල මතුවන්නේ අද. එදා ඉපදුණු දරුවාට අද අවුරුදු 42ක්. සාහිත්‍යය ඉතිහාසය නැති පිරිසක් තමයි රටේ අද වැඩිපුර ගැවසෙන්නේ. ඒ අතර ඒවා හොයාගෙන ගිය අතළොස්සක් තමයි යමක් කරනවා නම් කරන්නේ. එතකොට අලුත් නිර්මාණවල ලස්සන අයිසින් එකට යටින් මුකුත් නැති වෙන්නේ ඒකයි. ඒකට වර්තමාන පරපුරට දොස් කියලා බැ. අතීතයේ කොටස තමයි වගකිව යුත්තේ. අද නිර්මාණකරුවන්, තිරරචකයන්, නාට්‍ය නිෂ්පාදකයන් නැහැ. රංගන ශිල්පීන් කොහොමත් නැනේ ලංකාවේ. ඉගෙන ගන්න තැනක් නැ. සියල්ලො ඒ විද්‍යානුකූල විෂයය ඉගෙන ගන්නේ අතපත ගාලා. කීප දෙනෙක් විතරක් තනි තනිව අධ්‍යයනය කරගෙන යනවා.

අපි ජීවිතයෙදි මේ වෙලාවට අවශ්‍යම දේ තමයි කරන්න ඕනෙ. කුමාරගේ තවත් අත්දැකීමක් අපි දෙන්නා ලියනවා මේ දවස්වල. මම හිතන්නේ ඒක ලිවිය යුතුයි අධ්‍යක්ෂණයට වඩා. යුද්දෙන් පස්සෙ යුද මානසිකත්වය සමඟයි අපි ඉන්නේ. ඒ මානසිකත්වයට අදාළ කතාවක් තමයි අපි ලියන්නේ අලුතෙන්.

මම- තිර රචනා නැති බව කියන අයට ඔබ මොකද කියන්නේ?

දෙදෙනාම- අපිට මේ ජංගම දුරකථනයත් ඇති තිරරචනයක් කරන්න. ග්‍රැහැම්බෙල්වත් සිතුවාද? කියලා අපි ලියූ ටෙලි නාට්‍ය පිටපත ආනන්ද අබේනායක මහත්මයා අධ්‍යක්ෂණය කළේ. සියලු ටෙලි සම්මාන දිනුවා. පිටපතක අමාරුම දේ එය ගොඩනඟන එක. ඒ සිතුවිලි පරාසය නැත්නම් එය වචන ගොඩක් පමණක් වෙනවා.

කුමාර- මේ වැඩ පිටිපස්සේ තවත් ගොඩක් දේවල් වෙනවා. අපි දෙන්නා තරහා වෙනවා. බැන ගන්නවා. එක මතයකට එන්න කල් ගන්නවා. මම පාරෙ ඇවිදිනවා. අපි කේන්තියට බොනවා. ඒ සියල්ල අබිබවා හරි මතයට අපි එනවා. ඒකම තමයි නිර්මාණ සාර්ථක වෙන්න හේතුව.

මම- ඉස්සර නම් කලාකරුවන්ට ඔහොම එකතුවෙලා වැඩ කරන්න සුදර්ශිය, ලයනල් වෙන්ඩ්ට් වගේ තැන් තිබුණා?

සරත්- අද කලාකරුවන් පක්ෂ දේශපාලනයට ගැති වෙලා. අපි අහලා තියෙන්නේ ඉස්සර කලාකරුවන් පස්සේ දේශපාලනඥයන් යනවා. අද ඒකේ අනික්පැත්ත.

කුමාර-උඹ විශ්වාස කරපං ඔක්තෝබර් විප්ලවය සිද්දවෙන කාලේ වී. අයි. ලෙනින් මැක්සීම් ගෝර්කිගේ ගෙදරට ගියා මිස ගෝර්කි ලෙනින් හොයාගෙන ගියේ නැ. කලාකරුවෝ ගැවසෙන්න ඕනා එක්කො රීගල් එක වටේ නැත්නම් සරසවි චිත්‍රාගාරය වටේ. ඒත් අද කලාකාරයෝ බහුතරයක්ම එක්කෝ අරලියගහ මන්දිරය ළඟ නැත්නම් විපක්ෂ කාර්යාලය ළඟ වැටිලා ඉන්නවා.

සරත්- කලාවෙන් කරන්න ඕන දේ පක්ෂ දේශපාලනයෙන් කරන්න බැ. කලාවෙන් කළ හැකි කාර්යය විශාලයි. පක්ෂයකට ගැති වුණාම වැඩ කරන්නේ ඒ ව්‍යවස්ථාවටයි. ඒත් කලාකරුවකු සතුව තමන්ට මතවාදයක් ව්‍යවස්ථාවක්, සමාජය පිළිබඳ දැක්මක් තිබිය යුතුයි.

කුමාර-මගේ ගමන ගැන මට සැහෙන සතුටක් තිබෙනවා. ඒ වගේම මගේ රසිකයන් දුක් විඳීන මිනිස්සු නේද කියන දුක මට තියෙනවා සරත් අය්යේ. 1948 ඉඳන් අවරුදු 70ක් තිස්සේ අපි සරත්- සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ වේදනාව පිට කරන්නේ 'ද නිවුස් පේපර්' වගේ අපි දෙන්නගේ නිර්මාණවලින්.

කුමාර-අරීසෙන් අහුබුදු මහත්තයා කියනවා වගේ තනි මම් කුම් කරම් ජාතිය කළ පවට?

මම- සිනමා තාක්ෂණය පිළිබඳ ඔබේ අදහස?

සරත්- මාධ්‍යය මොකක් වුණත් කමක් නැ. ෆෝන් එකකින් හරි කරන ප්‍රකාශනයයි වටින්නේ.

කුමාර- සරත් අය්යේ මට එතන ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඉහළම තාක්ෂණය යොදලා ප්‍රේක්ෂකයාට දනවන්න පුළුවන් විදිහටයි සිනමාවක් කරන්නේ.

මම- එතනදි ආර්ථිකය බලපානවා?

සරත්- ඔතන තියෙන්නේ කළමනාකරණය. අපේ සහාය අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්න තමයි එය සැලසුම් කරන්නේ. නිෂ්පාදන කළමනාකරණය කළ සරත් චන්ද්‍රසිරි ඊට සහාය වනවා. ඇත්තෙන්ම අපේ මුළු කණ්ඩායමම අපි දෙන්නට ආදරේ කළ අය. ඔවුන් දෙසීයක් පමණම අපට කළේ උදව්වක්. චන්දන ජයසිංහ කැමරාව, ගයාත්‍රි කේමදාස සංගීතය, අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂණය, ප්‍රේමලාල් ලියනගේ වේශනිරූපණය, සංස්කරණ ශිල්පියා රුක්මල් නිරෝෂ් ලොකේෂන් බලන්නත් අපිත් එක්ක ගියා. නම් සියල්ලම නොකීවට සියලු දෙනා එකා වගේ හිටියේ. විශාරද නන්දා මාලනී ගැයූ ගීතය ලීවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. මේ දවස්වල කලර් ග්‍රේඩින් කරන්නේ දිනිඳු ජාගොඩ.

කුමාර- හැබැයි අපට නිෂ්පාදකයන් පස්සේ යන්න බැහැ. කවුරුහරි නිෂ්පාදනයට ඉදිරිපත් වෙනවා නම් අපි ළඟ ඕනතරම් දේවල් තිබෙනවා. තවත් එකක්. අද ඉන්න නළු නිළියන් කීයෙන් කීදෙනාද පත්තරයක් බලන්නේ. සිගරට් එක පනස්පහට ගත්තට රටට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න රුපියල් තිහක පත්තරයක් ගන්න නළුවෙක් නිළියක් කියන්න මට.

සරත්- සතියට චිත්‍රපට කීයක් බලනවද ඒ අය. අපේ භාෂාව මළ භාෂාවක් බවට පත්වන බව කියන්නේ මිනිස්සු කියවීම අත්හරින නිසා.නිතර කියවන කෙනා වචනවලට බය වෙන්නේ නෑ. ගලා‍ගෙන එනවා. හැබැයි ඒ අය කියවනවා හෝ ගාලා ෆේස්බුක්. ඉන්ටනෙට් වුණත් අනුන්ගේ ඕපදූප නැතුව දැනුම ලබාගන්න පාවිච්චි කරන්න පුළුවන්. හරියට පිහිය වගේ. පාන්කපන්නත් පුළුවන්. මිනිස්සුන්ට අනින්නත් පුළුවන්. සමාජ සිස්ටම් එක පුරුදු කරලා තියෙන්නේ පිහියෙන් අනින්න. ට්වින් ටවර්ස් කඩා වැටුණා බලා ඉද්දි. ඒත් එක බොඩි එකක් පෙන්නුවද? අද අපේ රටේ මිනී මැරුම්, සියදිවි නසාගැනීම් පෙන්වනවා. ඒවා සරලව සාමාන්‍යකරණය වුණාම මිනිස්සු ඒවා කරනවා.

කුමාර- මෙතන තව චූටි දෙයක් තියෙනවා. අපි බොහෝම උත්තරීතර ස්ථානය කියන තැන මිරිස්කුඩුවලින් ගහගන්නවා නම් ගැලරියේ ඉන්න ළමයින්ට ලැබෙන ආදර්ශය මොකක්ද? හෙට ඒ ළමයි ඉස්කෝලවල එහෙම කරගත්තොත් අපට එපා කියන්න පුළුවන්ද? ළමයි පිළිගනීද? ඉතින් මට කියන්න තියෙන්නේ දියවන්නාව කියලා මඩවළක් තිබෙනවා. ඒකෙ කබරයෝ රෑනක් ඉන්නවා. උන්ට ගල්වලින් නෙමෙයි මොනවයින් ගැහුවත් දැනෙන්නේ නෑ. එච්චරයි.

සරත්- ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ රටටම සැලැස්මක් නෑ. කලාවට කොහෙත්ම සැලැස්මක් නෑ. කලාවෙන්නේ මිනිහෙක් පෝෂණය වෙලා අනෙක් මිනිසුන් තේරුම්ගන්නේ. කලාවෙන් කොච්චර‍ දේවල් කරන්න පුළුවන්ද? මේ තියෙන මානසිකත්වය වෙනස් කරන්න පුළුවන්.

කුමාර- කලාවට තියෙන තැන ගැන ලස්සන උදාහරණයක් කියන්නම්. පනස් ගණන්වල රැජන එනවනේ ලංකාවට. ඒ වෙලාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රභූවරුන් සිය දෙනකුට නයිට් නාම දෙන්න ආරාධනා කරනවා රාත්‍රී භෝජන සංග්‍රහයකුත් ‍එක්ක. ආරාධනය කලාකරුවන් දෙන්නටයි. කවුද රුක්මණීදේවි සහ එඩී ජයමාන්න.

සරත්-ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන රටක් වුණාම. කලාවට විතරක් නෙවේ සම දේකටම.

මම- ඔබේ 'ද නිවුස් පේපර්' චිත්‍රපටයත් එන්නේ පෝලිමේද?

දෙදෙනා- අපි චිත්‍රප‍ටයක් කරලා නිෂ්පාදන අංශයට දුන්නාම ආයෙ ඒ ගැන හොයන්නේ නැහැ. තව චිත්‍රපටයක් ලියනවා මිසක. අනෙක අපි දෙන්නා විතරක් ඕකට කතා කරලා කරන්න පුළුවන් මොකක්ද?අපි අහිංසක මිනිස්සුනේ.

මම- හැමෝම ඔහොම හි‍තුවොත්?

සරත්- හරි මම අහන්නම් මෙහෙම. රටේ කෝටි දෙකයි කාලක් ජනතාව ඉන්නවා. ඒ අය අතරින් 225ක් තෝරලා යවන්නේ මේවා කරන්න නෙවෙයිද? අපි උද්ඝෝෂණය කරලා කියන්න ඕනෙද අලුතෙන් මේවා කරන්න කියලා. තමන්ට අදාළ කාර්යභාරය හැර අනෙක් ඔක්කොම කරන එකේනේ මේ ගැටලුව තියෙන්නේ.

මම- අවසන් වශයෙන් මොනවද දෙන්නට කියන්න තියෙන්නේ?

කුමාර- මට ඡන්දෙ ඉල්ලන්න කියලා ආරාධනයක් තියෙනවා. මම එච්චර කැමති නැහැ.

සරත්- කියන දේ බොක්කෙන් කියන්න එපැයි මෙයා නාමයෝජනා දීපු දවසෙ ඉඳන් මම මෙයත් එක්ක වැඩ කරන්නේ නෑ.

දෙදෙනා- මොකද අපිත් එක්ක වැඩ කළ අය අපට ආදරෙයි. අපි ඒ අයට ආදරෙයි. අපි දෙගොල්ලොම කලාවට ආදරෙයි.

නිශ්ශංක විජේරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages