වී මෝල් ක්ෂේත්‍රයේ ගැටලු විසඳා කාටත් උපරිම සහන ලබාදීමට කටයුතු කරනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-13

වී මෝල් ක්ෂේත්‍රයේ ගැටලු විසඳා කාටත් උපරිම සහන ලබාදීමට කටයුතු කරනවා

Author(s): 
චමීර ඇල්ලදෙණිය

අපේ ප්‍රතිපත්තිය වැටී සිටින අය නගාසිටුවීමයි:

වී මෝල් හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳමින් සියලුදෙනාට උපරිම සහන ලබාදීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ නැගිට ඇති පිරිස් තවත් නඟාසිටුවීමට නොව වැටී සිටින පිරිස් නඟාසිටුවීමට බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පෙරේදා (11) හමුවූ අවස්ථාවේ දී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම දිළිඳු ජනතාව ඇති හැකි පිරිසක් ලෙස නඟාසිටුවීමට ප්‍රමුඛතාව ලබාදෙමින් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව ආර්ථික ක්‍රමවේද සමඟ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා ශක්තිමත් ගමනක් යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී මෙසේද කීය.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හමුවීම පිළිබඳව මම සතුටු වෙනවා. ආර්ථික වශයෙන් රට භාරගත්ත පිරිසත් විදිහට ඔබව හමුවීම ගැන මට ආඩම්බරයි. ඔබගේ ‍ක්ෂේත්‍රයට අදාළ සහන ලබාදීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට මා කටයුතු කරනවා. ඒ සඳහා හොඳ කැපවීමකින් කටයුතු කළේ හර්ෂ ද සිල්වා මහතායි. එතුමා සාකච්ඡා වට හයක් හතක් සිදු කර තිබුණු සංකීර්ණ තත්ත්වයට විසඳුමක් ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. මේ වැඩපිළිවෙළ සකස් කරන්න එතුමා නායකත්වය ගත්තා. මෙහි ගෞරවය හර්ෂ ද සිල්වා මහතාට ලැබිය යුතුයි. හැරිසන් ඇමැතිවරයා ‍ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස මේ ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් සිදු කර තිබෙනවා. ඔබලාට මේ කිව්වේ ඇමැතිවරුන් හා නිලධාරීන් මේ සඳහා විශාල මෙහෙයක් ගත්තා. ඒ නිසා මා ඒ පිළිබඳ පළමුවෙන්ම ප්‍රකාශ ක‍ළා. හර්ෂ ද සිල්වා වැඩක් භාර ගත්තොත් ඒ වැඩේ උනන්දුවෙන් කැපවීමෙන් කරනවා. 1990 ගිලන් රථ සේවාව එතුමා පටන් ගත්ත වේලාවේ මම තමයි ඒ පිළිබඳව විවේචන කළේ. නමුත් ඒ වැඩපිළිවෙළ ඉතාම සාර්ථක තැනකට ඇවිත් තිබෙනවා. සාර්ථක සෞඛ්‍ය සේවාවක් විදිහට ගිලන් රථ සේවාව ලබාගැනීමට හර්ෂ ද සිල්වා මහතා කැපවීමෙන් කටයුතු කළා. ඒ වගේම මේ වැඩපිළිවෙළේ දී එතුමා සියලු දේ සිදුකර මගේ ළඟට අාවේ අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කරන්නයි. මේ කාරණා ඉටු කිරීමට වී මොල් හිමියන් කතා කළා. ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කර මේ තීන්දු අරගෙන තිබෙනවා. ඔබලා වෙනුවෙන් උපරිම ‍විදිහට සේවය කරන්න අප ‍බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රතිපත්තිය රජයක් විදිහට නැ‍ඟී සිටින අය තවත් නගා සිටුවීම නොවෙයි. වැටී සිටින අය නගාසිටුවීමයි. එය වී මෝල් හිමියන් ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි. අනෙක් ක්ෂේත්‍රවලටත් මේ ආකාරයටයි අපි බලන්නේ. රටේ දුගී දුප්පත් ජනතාව නැ‍ඟීසිටීමයි රාජ්‍ය ප්‍රතිපත්තිය. අධ්‍යාපනය, සෞඛය යටිතල පහසුකම් වැනිදේ සංවර්ධනය කරන්නේ ඒ නිසයි. රාජ්‍ය හා පෞද්ගලික සේවා නොමැතිව ලෝකයේ කිසිදු රටක් දියුණු වෙන්නේ නැහැ. අද ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන බොහෝ රටවල්වල රජය කරන්නේ ඉතා සුළු වැඩ‍කොටසක්. අනෙක් සියලුදේ කරන්නේ පෞද්ගලික අංශයි. නව ආර්ථික ක්‍රමවේද සමඟ අපිත් ප්‍රධාන වශයෙන් රාජ්‍ය පෞද්ගලික අංශවලට එකමුතුබව හා ශක්තිය රටේ දියුණුවට ලබා ගත යුතුයි. එසේ කරන්න පුළුවන්නම් අපිට ශීඝ්‍ර සංවර්ධනයක් ළඟා කරගන්න පුළුවන්. එසේ නොමැතිව මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ. මා පළමුවෙන්ම ඒ සඳහා ආශීර්වාදය ලබාදෙනවා.

1996 චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩු කාලයේ කෘෂිකර්ම ‍ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබුණා. මම 1989 පාර්ලිමේන්තු ගිහින් 1994 දී නියෝජ්‍ය ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළා. ඒ වේලාවේ දී වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කෘෂිකාර්මාන්තයට සහන ලබාදෙන්න අප කටයුතු කළා. 1996 වන විට එදා වී මෝල් හිමිකරුවන් ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න එදත් තිබුණා. මම එදත් හිටපු ජනාධිපතිනිය සමඟ එකතුවෙලා සහන ලබාදුන්නා. 2001 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ ආණ්ඩුවේ දී මේ ක්ෂේත්‍රයේ කඩාවැටී තිබෙන විට අර්ල් ගුණසේකර මහතා සමඟ එක්ව ඇවිත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇවිත් සාකච්ඡා කර සහන ලබාගත්තා. 2005දි මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මම කෘෂිකර්ම ඇමැතිවරයාව සිටින කාලයේදීත් වී මොල් ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට සහන ලබාදුන්නා. ඒ අවස්ථාවල දී නායකයන් වී මෝල් හිමිකරුවන්ට ව්‍යාපාරිකයන්ට සහන රාශියක් ලබාදීමට කැපවීමෙන් කටයුතු කළා. මේ ක්ෂේත්‍රයේ කඩාවැටීමට හේතු වූ කරුණු සොයා බැලූ විට විවිධ හේතු අපට පෙනී ගිහින් තිබෙනවා. සමහරු කියනවා ජනාධිපතිගේ සහෝදරයා නිසා මේ ක්ෂේත්‍රය එයාගේ පැත්තෙන් බලනවා කියා. මට මතකයි මගේ සහෝදරයා ගම්පහ ව්‍යාපාරිකයකුගෙන් පුංචි වී මෝලක් අරගෙන ඒක බලන්න එන්න කිව්වා. එදා ගිහින් බැලුවට පස්සේ කවදාවත් අදවන තුරු මෝල තිබෙන තැන ගේට්ටුවෙන් ඇතුළට මම ගිහින් නැහැ. අපි සාමාන්‍ය කතාබහ කරන විට දේශපාලන ප්‍රතිවාදීන්ගේ චෝදනාව වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන‍ගේ සල්ලි තමයි ඩඩ්ලි ළඟ තිබෙන්නේ කියායි. වීමෝල් නුවරඑළියේ හෝටල් මගේ සල්ලි කියා කියනවා. තමුන්නාන්සේලා මගේ සහෝදරයා ගැන දන්නේ නැහැ. මම දන්නවා මගේ සහෝදරයා ගැන.මට සතපහක්වත් ඉල්ලගන්න පුළුවන් මිනිහෙක් නොවෙයි එයා. ඒ නිසා ඔබලාටත් සැකයක් තිබෙන්න පුළුවන් මම ඉන්නේ සහෝදරයාගෙ පැත්තේ කියා. මම ඉන්නේ ඔබලාගෙ පැත්තේ. මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තිබෙන ගැටලුවල දී මම ඉන්නේ ගොවියාගේ පැත්තෙයි. වී මෝල් ව්‍යාපාරයේ ඉන්න අයගෙ ගොවියාගේ වී ටික මිලට ගන්න විටත්, ඒ වී සහල් කරලා වෙළෙඳපොළට දානවිටත් සාධාරණ ලාබයක්ද ලබා ගන්නේ කියා හිතන්න. මම ඔය එක පැත්තකවත් ඉන්න කෙනෙක් නොවෙයි. මම මේ දේශපාලනයට ඇවිල්ලා ඔය කිසිදේකට සම්බන්ධ නැති නිසයි අද මෙතැනට ඇවිල්ල ඉන්නේ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රශ්නවල දී අංක එක තිබෙන්නේ ගොවියාටයි. අනෙක් ව්‍යාපාරික අංශද ආර්ථිකයට දායකවන ඕනෑම ක්ෂේත්‍රයක්ද ප්‍රමුඛතාව ලබාදෙන්නේ ඒ අංශයේ සිටින අයටයි. ගොවි මහතෙක් කිව්වා සහල් පිටරටින් ගෙන්නුවා කියා. 2016, 2017 සහ 2018 වර්ෂවල දී විශාල නියඟයක් තිබුණා. ඒ නිසා සහල් හිඟයක් තිබුණා. රටේම තුනෙන් දෙකක නියඟයක් තිබුණා. ඒ නිසා සහල් ගෙන්වන්න වුණා. දැන් මහවැස්ස තිබුණනෙ. නමුත් මෙච්චර වැහැලත් අනුරාධපුරයේ වැව් දෙකක් පිරිලා නැහැ. මහකනදරාව තවමත් පිරිලා නැහැ. උතුරේත් මහ ගංවතුරක් තිබුණා. නමුත් වැව් පිරිලා නැහැ. එය මහ ඛේදවාචකයක්. හම්බන්තොට, මොණරාගල, ත්‍රිකුණාමලය ප්‍රදේශවලටත් නියඟය තිබුණා. මහා නියඟය වෙලාවේ ලෝකයේ රටවල් කිහිපයකට මම කතා කළා පෞද්ගලිකව. මොකද නැතිනම් සහල් එකපාරටම ගෙන්වන්න බැහැ. ඒ ක්‍රියාවලියට කාලයක් ගත වෙන නිසා. ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියාව, බුරුමය හා තායිලන්තය වැනි රටවල් අපට සහල් ලබා දුන්නා. ඉන්දුනීසියාව අපිට සහල් පරිත්‍යාග කළා. මේ සහල් පරිත්‍යාග කළේ ඒ රටවලත් නියඟ තිබියදීයි. අපි කිසිදු කැමැත්තකින් නොවෙයි සහල් ගෙන්නුවේ. එසේ නොකළානම් ජනතාව බඩගින්නේ. අනුරාධපුරේ ගිහින් මේ ගැන කතා කර සාකච්ඡා කර වාහනයට එන ගමන් ගොවි මහතුන් ඇවිත් මට කිව්වේ අපට තුන්වේල කන්න නැහැ කියා කිව්වා. පුංචි දරුවෝ වේලාසනින් නිදි කරනවා කිව්වා. රෑට කන්න දෙන්න නැති නිසා. මගේ හිතට මහා වේදනාවක් ආවා. ඔවුන් ඒ දවස්වල කෑවේ වේල් දෙකයි. නැත්නම් එකයි. මේ හැම ප්‍රශ්නයක් ගැනම අපි හිතන්න ඕනෑ මනුෂ්‍යයන් විදිහට. ඔබතුමාලා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී හැරිසන්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශයේ සඳරුවන් අමරසිංහ සහ දුෂ්මන්ත මායාදුන්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages