ක්‍රිකට් ගොඩ ගන්න අපට තැන දෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-02-14

ක්‍රිකට් ගොඩ ගන්න අපට තැන දෙන්න

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට අවස්ථාව දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ශ්‍රී ලකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ ජයන්ත ධර්මදාස මහතා ප්‍රමුඛ පාර්ශ්වය ඉල්ලීමක් කරයි. කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හිටපු ලෝක ශූර ක්‍රිකට් නායක හා මෙවර නිලවරණයේදී උප සභාපති තනතුරට තරග වැදින ඇමැති අර්ජුන රණතුංග මහතා ඇතුළු එම පිරිස මේ ඉල්ලීම කළේය.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදී සිටින ජයන්ත ධර්මදාස, උප සභාපති තනතුරු 2ට තරග වදින අර්ජුන රණතුංග, කේ මතිවානන්, ලේකම් තනතුරට නාම යෝජනාදී ඇති නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික ධුරය වෙනුවෙන් තරග කරන ඊස්මන් නාරංගොඩ, උප ලේකම් තනතුරට ඉදිරිපත්ව සිටින හිරන්ත පෙරේරා හා උප භාණ්ඩාගාරික නාම යෝජනාදී ඇති සන්ජය සේදර සෙනරත් යන මහත්වරු කණ්ඩායමක් ලෙස මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජයන්ත ධර්මදාස මහතා පැවැසූවේ තමන්ට අයත් ආයතනයක් ක්‍රිකට් වලින් මුදල් ලබා ගන්නා බව ප්‍රතිවාදී පාර්ශ්වයක් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම කනගාටුවට කරුණක් බවයි. “මා සභාපති ලෙස කටයුතු කරන පෞද්ගලික රෝහලක් ක්‍රිකට් අයතනයෙන් මුදල් ගන්නවා කියන එක සම්පූර්ණ බොරුවක්. මගේ ආයතනය ක්‍රිකට් ආයතනයට වසරකට රුපියල් මිලියන 1.4 බැගින් ගෙවනවා. ඒක ටෙන්ඩර් මගින් පිරිනැමුණු අනුග්‍රාහක ගිවිසුමක් අනුව සිදුවන දෙයක්. මා සභාපති ලෙස සිටි කාලය නිමා වූ පසු හිටපු ඇමැතිවරයෙක් අතුරු කමිටුවක් දැම්මා. අපව තහනම් කොට අතුරු කමිටුවක් දැම්මා නොවෙයි. හිටපු නිලධාරීන් ක්‍රිකට් ගැන බැලුවේ නෑ. ඒ නිසයි මා ඔවුන් සමග නොසිට ඉල්ලා අස් වුණේ. ගුරුසිංහ මෙහාට ගෙනාවේ මීඩියා මැනේජර් කරනවා කියලයි. නමුත් පසුව කළමනාකරු හා ක්‍රීඩකයන් තේරීමේ බලයත් දුන්නා. ක්‍රීඩකයන්ගෙ මානසිකත්වය නිවැරදි ලෙස හදා මාස 3කින් ක්‍රිකට් හොඳ අතට ගේන්න අප කටයුතු කරනවා” ධර්මදාස මහතා පැවැසීය.

බොහෝ පාර්ශ්වවල ඉල්ලීම අනුව මෙවර ක්‍රිකට් නිලවරණයට පැමිණි බව නිශාන්ත රණතුංග මහතා පැවැසීය. “ජාතික කණ්ඩායමේ නායකයා හා රංගන හේරත් වැනි ක්‍රීඩකයන්ට පසුගිය කාලයේ වංචා දූෂණ විමර්ශන අංශයට පවා යන්න සිදු වුණා. එවිට ක්‍රීඩකයාගේ මානසිකත්වය කෙබදුද? යළි ක්‍රීඩා පිටියට ගොස් ක්‍රීඩා කරන්න ඔවුන්ට හොඳ මානසික තත්ත්වයක් ඉතිරි වන්නේ නෑ. එවැනි තත්ත්වයකට අපේ ක්‍රීඩකයන් පත් කළා. ජාතික කණ්ඩායම විදෙස්ගත වන්න ගුවන් තොටුපොලට ගියාම නැවැත හරවා එවන තත්ත්වයකට පරිපාලනය කඩා වැටී තිබුණා. එදා මොහාන් - රවීන් මහත්වරු හිටපු කමිටුව විසුරුවා අතුරු කමිටුවක් පත්කරද්දී ගැසට් පත්‍රයක් මගින් පවසා තිබුණා රුපියල් මිලියන 346ක පාඩුවක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදු කළ බව. ඒ නිසයි යළිත් තරග කිරීමට ඔවුන්ට නීතියෙන් බාධා මතුව තිබෙන්නේ. අප එන්නේ ක්‍රිකට් හදන්න” නිශාන්ත රණතුංග මහතා පැවැසීය.

ජාතික ක්‍රිකට් පිල භාරගෙන එය ඉතා ක්‍රමානුකූලව ගොඩ නගන ලෙස කළ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් මෙවර ක්‍රිකට් නිලවරණයේ උප සභාපති තනතුරට තරග කරන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසීය.

“අද ජාතික ක්‍රිකට් පිල ඉතාම පහතට වැටිලා. ඒක එකවරම ගොඩ නගන එක පහසු කටයුත්තක් නොවෙයි. අපට අවශ්‍යයි රට වෙනුවෙන් ක්‍රිකට් ගහන පිරිසක්. මුදලට පමණක් ක්‍රිකට් ගහලා රටක් ලෙස ඉදිරියට යන්න බෑ. ක්‍රීඩාව පරිපාලනමය වශයෙන් වැටිලා. හොරකම් වංචාව ක්‍රිකට් පරිපාලනයේ තියෙන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ දූෂණ වංචා සොයන ඒකකයක් අයි. සී. සි යෙන් ඇති කරලා.

අපට සිදුව ඇත්තේ ක්‍රීඩාව බේරා ගන්න සටන් කරන එකයි. අපේ කණ්ඩායමේ ඉන්නේ පිරිසිදු අයයි. අපේ ප්‍රතිවාදී පාර්ශ්වයේ ඉන්නේ පැරණි මුහුණු ටිකමයි. ජාතික පිලේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනකු කණ්ඩායම ගොඩ ගන්න උදව් දෙන බව පවසා තිබෙනවා. මේ නිලවරණය රූපවාහිනියක් මගින් සජීවි ලෙස විකාශය කරනවා නම් මා කැමැතියි. කවුද ඡන්දය දෙන්නේ කවුද නොදෙන්නේ කියා ප්‍රසිද්ධියේ දැකගත හැකියි” අර්ජුන රණතුංග මහතා පැවැසීය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages