කිත් යසස් නංවා 148 වන ජන්ම දිනය සමරන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

කිත් යසස් නංවා 148 වන ජන්ම දිනය සමරන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය

සිහිල් මදනල ගලා ඇවිදින්
රිපන් මව් හිස පිරිමදීවි
රිපන් මව්ගේ කිත් යසස්
සිරිලක පුරා පතුරා හමාවී

ගාල්ල රිච්මන්ඩ් කන්ද නම් වූ සුන්දර කඳුගැටය මත 1871 වසරේ මාර්තු මස 13 වැනි දින රිපන් බාලිකා විද්‍යාලයේ මූලාරම්භය සිදු විය. මිෂනාරීවරුන්ගේ පාලනයට යටත්ව මේ පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ ජෝසප් රිපන් පියතුමාය.

1876 දී මිෂනාරි විදුහල්පතිනියක වූ ටෙබ් (Teb) මැතිනිය මෙහි ප්‍රථම විදුහල්පතිනියයි. ඇය විසින් ‘Richmond Hill Girls Boarding School‘ නමින් මේ පාසල ආරම්භ කර ඇත. මෙසේ සිදු වූ ආරම්භයත් සමඟ මුල් කාලයේ සිට බ්‍රිතාන්‍ය ජාතික විදුහල්පතිනියන් විසින් ඉංග්‍රීසි නේවාසික පාසලක් ලෙස පවත්වාගෙන යනු ලැබීය.

1876 -එලන් ඊස්ට්වුඩ් (Eleen Eaeswood), 1878 - ටෙබ් (Teb), 1882 - ට්‍රින්ග්ස් (Trings), 1893- හර්ට්ලි (Hartley), 1896 - ඔලිවර් (Oliver), 1897 - ප්‍රින්ස් (Prince), 1905- ටෙබ් (Teb), 1907-වෝඩ් (Ward), 1910-වයිට්මන් (Wifhtmen), එච්. එම්. බාම්ෆර්ඩ් (W.M.Bamford), 1914-ඇලන් (Allen), 1938-පී. සී. ආර්. පෙරේරා (P.C.R.Perera), 1949-ලෙස්ලි (Lesly), 1954-එම්. ඒ. පෙරේරා (M.A.Perera), 1958-ඩබ්. ස්ටෙම්බෝ (W.Stembo) විදුහල්පතිනියන් යටතේ ඉතා දීප්තිමත් ලෙස පාසල පාලනය වී ඇත. සංවර්ධනාත්මක වෙනස්කම් රැසක් සමඟින් පාසල පවත්වාගෙන ගොස් ඇති බව අතීත සිද්ධි ඔස්සේ පැහැදිලි වේ.

ඉංග්‍රීසි පාසලක් ලෙස එතෙක් පැවති මේ පාසල 1961 දී රජයේ බෞද්ධ පාසලක් බවට පත් විය. එයින් පසු කාල වකවානුවේ පාසලේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් විවිධ සංකල්ප යටතේ පාසල පාලනය කළ විදුහල්පතිනියන් අතර 1966-ඩී. ඩබ්. වින්ඩ්සර් ගොඩවත්ත, 1972-ජී. ඩැනියෙල්, 1976-එන්. බී. ඩී. සෙනෙවිරත්න, 1987-වී. ජී. ජේ. ජී. ගුණසේකර, 1999-ඩබ්. එස්. රණසිංහ, 2003-පී. එන්. රාජපක්ෂ මහත්මීන්ගේ සේවා කාලය කැපී පෙනේ.

මෙකී සාර්ථක පාලන යුග රැසක් දිනෙන් දින ඉදිරියට ගෙන එමින් නව යුගයක් දෙසට රිපන් විදු මව පැමිණ සිටී. ඒ සඳහා වත්මනෙහි පාලන බලය සිරස දරාගෙන නියමුවරිය ලෙස එම්. එස්. ආර්. අයිරංගනී මහත්මිය පාසලේ ගමන් මඟ නව මාවතකට යොමු කරමින් 2014 දී මේ පාසලට පිය නඟන ලදි.

අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ විභාගවලින් සමත් ප්‍රතිශ‍තය පෙර වර්ෂවල ප්‍රතිශතය හා සසදන අවස්ථාවල දී ඉතා වේගවත් දියුණුවක් ලබා ඇත. ඒ අනුව 2018 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් ප්‍රතිශතය 20%ක් ලෙසත්, 2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් ප්‍රතිශතය 96%ක් ලෙසත්, 2018 උසස් පෙළ සිසුන් සිසුන් අතරින් 75ක් විශ්වවිද්‍යාල වරම් ලැබීමටත් සුදුසුකම් ලබා ඇත.

1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය තෙක්ම දැනුම ඉහළ නැංවීමේ විශේෂ ප්‍රතිපෝෂණ වැඩසටහනක් පාසලේ ක්‍රියාත්මක වීම සහ ඒ සඳහා සිසු දැරියන්ගේ මෙන්ම විෂයභාර ගුරුභවතුන්ගේ ද කැපවීම, උනන්දුව දැකිය හැකි විශේෂිත ලක්ෂණයකි. දිනෙන් දින අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය ඉහළ යන බව පෙන්වීමට වාර විභාග සහ ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල සාක්ෂි දරයි.

එමෙන්ම පාසලේ විෂය සමගාමී, විෂය බාහිර හා විෂයානුබද්ධ ක්‍රියාකාරකම් 36ක් පමණ ක්‍රියාත්මක වේ. ඒ අනුව ක්‍රීඩා, සෞන්දර්ය, දැනුම මිනුම මෙන්ම සිසු පෞරුෂය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන විවිධ සංගම් රාශියක් පාසලේ ක්‍රියාත්මක වේ. තවද ඇතැම් ක්‍රියාකාරකම් සඳහා සම්පත් දායකයන්ගේ සේවය ලබාගෙන ජයග්‍රහණ රාශියක් වාර්තා කිරීමට සිසුවියන් සමත් වී ඇත.

දකුණු ලක ප්‍රථම බාලිකා විදුහල වශයෙන් කිතු යසස් නංවන 2747කගෙන් පමණ සමන්විත ඉතා විනය ගරුක, නිර්මාණශීලී පෞරුෂත්වයෙන් අනූන සිසු දැරියන් කැලක් මේ පාසල අනාගත ලෝකයේ ඉතා ඉහළ තැනකට ගෙන යෑමට අපරිමිත උත්සාහයක් දරමින් සිටී. 120කගෙන් පමණ සමන්විත ඉතා දක්ෂ, කැපවීමෙන් යුතුව කටයුතු කරන ඇඳුරු මඩුල්ලක් සිසු දැරියන්ගේ අභිමුවේ සිට ඔවුන්ගේ අරමුණ කරා යෑමට මං තනමින් සිටී.

මේ දෙපාර්ශ්වයම මෙන්ම පාසලේ පරිපාලනමය කටයුතු සඳහා ද දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරන 39 දෙනකුගෙන් පමණ සමන්විත අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සමත්ව ඇත.

අතීතයෙන් වර්තමානයටත්, වර්තමානයෙන් අනාගත ලෝකයටත් යහපතක්ම සිදු කිරීමට වෙර දරන රිපන් විදු මෑණියන් දිනෙන් දින වැජඹේවායි ප්‍රාර්ථනා කරන අතර ඒ සඳහා වත්මන් නියමුවරිය විසින් අනාගත ලෝකයට තනන පෙර මං ශක්තිමත් කිරීමට උත්සුක වන නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ එකාවන්ව බැඳි ගුරු පවුරටත් ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

සම්බන්ධීකරණය :-
අයි. ජී. ඒ. ඩී. නිර්මලා ඉඹුලේගම

යක්කලමුල්ල විශේෂ කුමාර උදයරත්න
ඡායාරූප ජයලාල් ජයවර්ධන

No comments:

Post a Comment

Post Bottom Ad

Pages