රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් මිලියන 8000ක් ඉපයීමට කටයුතු කරනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් මිලියන 8000ක් ඉපයීමට කටයුතු කරනවා

මේ වර්ෂය අවසාන වන විට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 8000ක් පමණ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ඊයේ (14) පැවැති ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකසා ඇති නව උප්පැන්න සහතික පත් නිකුත් කිරීමේ වැඩසටහන ජනගත කිරීම සම්බන්ධව දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු , පළාත් ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද කීවේ ය.

පෙබරවාරි මස ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව හා භාෂා ත්‍රිත්වයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුන නව උප්පැන්න නිකුත් කිරීමේ ක්‍රියාවලිය මාර්තු 16 වැනිදා සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. එදින උදෑසන 9.30 සිට මෙය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට සමගාමීව දීපව්‍යාප්තව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවලදී සිදු කිරීමට නියමිත යි.

ආරක්ෂිත ක්‍රමවේද සියල්ල සමඟින් නව උප්පැන්න සහතිකය ඒ සමඟ ජාතික හැඳුනුම්පත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කරනවා. අද රාත්‍රියේ ගැසට් නිවේදනය සමඟ රටේ සියලුම ස්ථානවලදී ඉලෙක්ට්‍රොනික ආකාරයට මේවා ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ සමඟ උප්පැන්න සහතික , මරණ සහතික , විවාහ සහතික ලබා ගැනීමට හැකි වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි පළමු පිටපත රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යයාලයේදී සිදු කරනවා. ඒ සමඟ ප්‍රාදේශීය මට්ටමින්ද සිදු කිරීම ආරම්භ කරනවා. මෙමඟින් මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

හැඳුනුම්පතට , විදේශ ගමන් බලපත්‍ර සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සන පවතිනවා සේ උප්පැන්න සහතිකයටත් ඒ ආකාරයට එක අත්සනකින් මුළු ලෝකයම පිළිගන්න ආකාරයට සකස් කරනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආයතනය ඵලදායී ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම දෙපාර්තමේන්තුව රටවල් අතර ලැයිස්තුව ගත්විට මෙම ආයතනය 170 වැනි ස්ථානයේ පවතිනවා. අපේ රටේ ආයෝජන සිදු කිරීමට එන ආයෝජකයන් මෙම ආයතනය පවතින ස්ථානය බලනවා. මේ දෙපාර්තමේන්තුව 170 සිට පළමුවන 50 අතරට ගෙන ඒමට කටයුතු කරනවා.

මේ දෙපාර්තමේන්තුව ප්‍රතිලාභ ලබන ආයතනයක් බවට නිවේදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට මේ දෙපාර්තමේන්තුව වාර්ෂිකව මිලියන 800 ක පමණ ආදායමක් ලබනවා. එය මිලියන 8000 ක් දක්වා වැඩ කර ගැනීමට කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාවට නියමිත පරිදි සහ හදිසියේ ඔප්පු අවශ්‍ය අයට දවසින් ඔප්පුව රැගෙන යාමට හැකි වන ආකාරයට කටයුතු සිදු කරනවා. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ද අදහස් පළ කළේ ය.

චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - සිරිපාල හල්වල

No comments:

Post a Comment

Post Bottom Ad

Pages