ජීවන බර අඩු කර - අදායම වැඩි කිරීම ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

ජීවන බර අඩු කර - අදායම වැඩි කිරීම ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළයි

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

රට විශාල ණය උගුලක හිරවෙලා
- මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා

දේශපාලන කුමන්ත්‍රණය නිසා පොලිය ඉහළ ගියා
- ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

උතුරු නැගෙනහිර ජනතාව අමතක කර නැහැ
- ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය

අය-වැය හිඟය අවමකරන්න සැලසුම් සකස් කර තිබෙනවා
- ඇමැති අශෝක අබේසිංහ මහතා

අය-වැය ජයග්‍රහණයෙන් උද්දාමය පත්වෙන්න එපා
- මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා

රටේ යටිතල පහසුකම් සංවර්ධනය පමණක් නොව ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් ආදායම් උත්පාදනය සඳහා රජය විසින් විවිධ යෝජනා ක්‍රම හඳුන්වාදී තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (14) ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14දා) පෙරවරු 9. 30ට පාර්ලිමේන්තුව රැස්විය. වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයන් පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) - නිදහසින් පසුව ලංකාවේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය ඇත්ත බවට අපි දන්නවා. සියලු දර්ශකවලින් ඉදිරියට පැමිණි බවට ලෝකයම දන්නවා. නිෂ්පාදන අතින් ඉදිරියට ආවා. සිව් ගුණයකින් අපේ රට ඉහළට ඔසවා තබා එතුමා රට බාරදුන්නා. දින සියයේ විප්ලවය කරන්න අගමැතිවරයාට සිදුවුණේ එතුමාගේ අභිමතය පරිදි කියා මම සිතන්නේ නැහැ. ඔවුන්ගේ අදහස තිබුණේ එළව එළවා පළිගැනීමයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමටයි. ඔවුන් ක්‍රියා කළේ.

2015 දී කියන තරම් දැවැන්ත ණය අර්බුදයක් තිබුණේ නැහැ. අන්තර්ජාතික වශයෙන් සබඳතා අනුව චීනයේ ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කළා. අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති නවතා දැම්මා. දින 100 වැඩපිළිවෙළ යටතේ අතීතයට බලපාන පරිදි නව නීති ඉදිරිපත් කළා. බදු අයකරන්න ක්‍රියා කළා. මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇතැම් අය ඉදිරිපත් කළා. වැරැදි කළ අයට දඬුවම් දෙන්න ඕන. නමුත් ආණ්ඩුවක නිලධාරීන් ලෙස කටයුතු කළ පමණින් වැරැදි කළා කියන්න බැහැ. මහබැංකු අධිපති ලෙස සිංගප්පූරු ජාතිකයෙක් පත්කළා.

මේ රටේ මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය රඳා පවතින්නේ මහජන විශ්වාසය මතයි. රටේ ආර්ථිකය කඩා වැටෙන විට, විදෙස් ආයෝජකයන් රටින් යන්න ගියා. ලෝක ආර්ථිකයේ ද අවපාතයක් ඇති වුණා. කෙසේ වෙතත් ඉන්ධන මිල පහත වැටුණා. රුපියල පවත්වාගෙන යාමට 2015 දී බිලියන 3000කට වැඩි මුදලක් වෙළඳපොළට දාන්න කටයුතු කළා. දැන් මේ අර්බුදය තුළ නිෂ්පාදනය, සංචිතය කඩා වැටුණා. අද වනවිට මේ ණය අර්බුදය දරුණු තත්ත්වයට පැමිණ තිබෙනවා. අගමැතිවරයාට ප්‍රශස්ති, කියා වන්දි භට්ටකම් කරන්න එපා. අපි විශාල ණය උගුලක හසුවී ඉන්නවා.

2012 දී ඩොලර් බිලියන 7.7 ණය හා වාරික ගෙවුවා. 2014 දී ඩොලර් බිලියන 8.2ක් ගෙවුවා. ඊට පසුව ණය,පොලී වාරික ඉහළ ගියා. අදයි ණය අර්බුදය ඇති කරගෙන තිබෙන්නේ. අද කරන්නේ ඒ ‍ ගැලවීම වෙනුවට මහබැංකු මංකොල්ලය කළ අය විදේශවලට පැන ගියා. පසුව ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. හොරු දෙන්නෙක් මුදල් නෝට්ටුවක අත්සන් කර තිබෙන රට කුමක්ද කියා අද ජාත්‍යන්තරය අහනවා. උත්තරය දෙන්නේ ශ්‍රී ලංකාව කියලයි. අද මේ රටේ වැඩිම ප්‍රමාණයට ආර්ථිකය කඩා වැටිලා. මේ රට තවදුරටත් ප්‍රපාතයට දැමිය යුතු නැහැ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - ස්වර්ණමය යුගයක් ගැන බන්දුල ගුණවර්ධන මහතා කතා කළා. එතුමා පොතක් ගැන කිවුවා. ඒක මටත් දෙන්න කියා ඉල්ලනවා. ඒ මහතා පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්ථිකය ගැන විවේචන කරමින් පොතක් ලිවුවා. සියයට 9.2කින් ආර්ථිකය වර්ධනය වුණ යුද්ධයෙන් පසුව එය 2013 වනවිට සියයට 3.5 දක්වා කඩා වැටුණා. ඒ තත්ත්වය අදටත් තිබෙනවා. අපි මේ ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් කරන්න පදනම දමා තිබෙනවා. ඉහළ ආර්ථිකයට යන්න අපි 2025 ට සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.

විවිධ සැලසුම්, ක්‍රමවේද මේ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. විශ්වවිද්‍යාලවලට මුදල් ආයෝජනය කළත් වසර 12කින් ගෙවන්න පුළුවන් ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙවා. අපි මේවා කරන්නේ මැදි ආදායම් මට්ටමින් එළියට එන්නයි. අපිට ප්‍රශ්නය තිබෙන්නේ ණය එකවර ගෙවන්න තිබීමයි. අපි සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කරන්න සියයට 0.1 පොලියට බිලියන 4.8ක ණයක් ගන්නවා. ව්‍යාපෘතිවලට ගත් ණය අපි ගන්නේ අවම පොලියටයි. ඩොලර් බිලියන 350ක් ගන්නේ සියයට 6.3ක පොලියට. අපි ගන්නේ සියයට 0.1 ණය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ 2003 දී වාණිජ පොලියට ගත් ණය තිබුණේ ඩොලර් මිලියන 238.5 යි. 2014 වන විට ඩොලර් මිලියන 5024 දක්වා 21 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. අද වනවිට ඩොලර් මිලියන 11994ක් වී තිබෙනවා. මෙය 2.3 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. අපි ණය උගුලක සිරවී සිටිනවා. අපි සියයට 6.85 ණය ගත්තේ ඇයි අහනවා. ‍ඔක්තෝබර් 26ට පෙර අපි අරගත් ණය වෙළඳ පොළේ තීරණය වන පොලියට අනුව සියයට 6ට අඩුවෙන් තිබුණේ. නොවැම්බර් වන විට සියයට 9ට මෙය වැඩි වුණා. අපේ ණය ශ්‍රේණිගත කිරීමෙන් අපි පහළට ඇද දැම්මා.

මේ නිසා සියයට 6.83 ට ණය ගන්න සිදුව තිබෙනවා. දේශපාලන කුමන්ත්‍රණය නිසා පොලිය ඉහළ ගියා. උතුරේ සංවර්ධනයට නැවත පදිංචි කරන්න අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. බිම්බෝම්බ ඉවත් කරන්න කටයුතු කරගෙන යනවා. නිවාස 15,000ක් උතුරේ ජනතාවට ඉදිකරනවා. මිලියනයක් එක් නිවෙසක් වෙනුවෙන් වෙන් කරනවා. අපි වවුනියාවේ සිට යාපනය දක්වා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරනවා. පලාලි ගුවන් තොටුපළ, කන්කසන්තුරේ වරාය, ලුණු ලේවායත්, වාලච්චේන කඩදාසි, පරන්තන් කර්මාන්ත ශාලාව ආරම්භ කරගෙන යනවා. මේවා අගමැතිවරයාගේ අමාත්‍යාංශය යටතේ කරගෙන යනවා.

2017 දී ජිනීවාවලට යෝජනාවක් ඉදිරිපත් වුණා. අපි තවත් අවුල් නොකරගෙන ඉදිරියට යායුතු වෙනවා. පසුගිය කාලයේ විදුලි පුටු ගැන කතා කළා. ඡන්දය දෙන්න එපා කිවුවා. අපි ඒ ප්‍රශ්නය විසඳන්න පියවර ගත්තා. සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. හැමෝටම සමානව කටයුතු කළයුතු වෙනවා. අපි සමාන වගකීමක් ගතයුතු වෙනවා. මේ නිසා අපි අයවැයට සම්පූර්ණ සහාය ලබාදෙනවා.

පත්කළ මන්ත්‍රී සී.එම්. ස්වාමිනාදන් මහතා (එ.ජා.ප) - පසුගිය වසර තුන හමාරක කාලයේදී උතුරු නැගෙනහිර ජනතාවට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. අධ්‍යාපන, රෝහල්, මාර්ග, විදුලිබලය, කෘෂිකර්ම ආදී ක්ෂේත්‍රවල වර්ධනයක් අපි දකිනවා. ඒ නිසා එම ප්‍රදේශවල කිසිදු සංවර්ධනයක් නොවූ බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. නිවාස 2750ක් උතුරු ප්‍රදේශයේ අලුතින් ඉදිකර තිබෙනවා. 20,000ට වැඩි ප්‍රමාණයක් නවීකරණය කර තිබෙනවා. දිස්ත්‍රික්ක අනුව නිවාස ඉදිකර තිබෙනවා. අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා තිබෙනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා - රුපියල් කෝටි 9038ක මුදලක් ජාතික ආර්ථික අමාත්‍යාංශය වෙත වෙන්කර තිබෙනවා. මෙහි ඇමැති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනවා. ඒ මහතා මේ රටේ තරුණයන් වෙනුවෙන් තරුණ සේවා සභාව ආරම්භ කර විශාල සේවාවක් කළා. අපේ රටේ ප්‍රශ්න තිබෙනවා. කුඩා ගම්මාන 30000ක් පමණ අපේ රටේ තිබෙනවා. වර්ග කිලෝමීටර් 65000ක වගේ විසි ගුණයක ගුවන් කලාපයක් අපිට අයිතියි. ඒ වගේම විශාල මුහුදු ප්‍රදේශයක් අයිතියි. ඩොලර් බිලියන 88යි පසුගිය වසරේ අපේ රටේ වත්කම. නමුත් ලොව වැඩිම වත්කම් හිමි පුද්ගලයාගේ වත්කම ඩොලර් බිලියන 106ක් පමණ වෙනවා.

අයවැය හිඟය අවමකරන්න සැලසුම් සකස් කර තිබෙනවා. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය තුළින් තරුණයින් පුහුණු කරන්න ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. .

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (එ.ජ.නි.ස) - අනවශ්‍ය උද්දාමයක් අවශ්‍ය නැහැ. මෙතන අත් උස්සන්න පුළුවන්, එයින් උද්දාමයට පත්වෙන්න එපා. වෘත්තීය පුහුණු හා යෞවන කටයුතු ක්ෂේත්‍රය දියුණු කරන්න අපි තීන්දු තීරණ ගත්තා. ඉතිහාසය වෙනස් කරන තීන්දු පහක් ගත්තා. එන්. වී. කියු පාඨමාලා හැදුවා. ඒ වෙනුවෙන් වෙනම විශ්වවිද්‍යාලයක් ආරම්භ කළා. ලංකාව පුරා 25ක් යුනිවර්සිටි කොලේජ් ස්ථාපනය කරන්න පියවර ගත්තා. පුදගලික අංශය සමඟ 9ක් ආරම්භ කළා. නමුත් අද වනවිට මේ ආයතනවල ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපි පටන්ගත් වැඩසටහන් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව පටන් ගත්තා.

වේළු කුමාර් මහතා මුලසුනට පැමිණියේය.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය - මෙම අයවැය මඟින් උතුරු නැගෙනහිරට විවිධ යෝජනාවන් රැසක් ඉදිරිපත්කර තිබීම දෙමළ ජනතාවගේ පැසසුමට ලක්වෙනවා. යහපාලනය සංහිඳියාව ඇති කිරීමට රජය දරන ප්‍රයත්නය අගය කළ යුතුයි. උතුරු නැ‍ඟෙනහිරට නිවාස එක්ලක්ෂ 65000ක් අවශ්‍යයයි. ඉන්දිය රජයේ ආධාර යටතේ නිවාස 50000ක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කළා. මෙම අය වැය මඟින් නිවාස 15000ක් ඉදිකිරීමට මුදල් වෙන්කර තිබෙනවා. මීට පෙර රුපියල් මිලියන 4900ක් වෙන්කළා. තවත් මිලියන 5500ක් වෙන් කිරීම අගය කළ යුතුයි.

මේ මුදල් බලාපොරොත්තු වන්නේ නෑ. එහෙත් මෙවන් මාසික දීමනාවක් ගෙවීම අස්වැසිල්ලක්, ඔවුන්ට ඕනෑ මේ අතුරුදහන් ප්‍රශ්නය විසඳාගැනීමට. මේ කාරණය ගැන මා අගමැතිවරයාගේ අවධානය යොමු කරන්නම්.

යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් දෙමළ ජනතාව ගොඩනඟාගෙන ඉන්නවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එ.ජ.නි.ස) –

උතුරු නැගෙනහිර අපේ ජනතාවට රජය නොසලකා හැරීමේ වාර්තාව ඇමැතිතුමිය ඉදිරිපත් කළාය කියලා මට හැඟෙනවා. අද අගමැතිතුමාට මාගේ ප්‍රශ්න කීපයක් යොමුකරනවා. අපි දන්නවා එතුමා අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ දැඩි විශ්වාසය ඇති බව මේ සභාවට කිව්වා. මා ඔබතුමාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මහේන්ද්‍රන්ගේ වැරදි සහගත හැසිරීමක් තිබියදි මෙසේ කළේ ඇයි කියලා මම අහන්න කැමැතියි. මේ සභාවේ ගෞරවයට හානිවන කාරණා 20ට වැඩිය තිබෙනවා. එම ප්‍රශ්න මා අගමැතිතුමාගේ පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -

නිවාඩ් කබ්රාල් මහතා චෝදනා පරීක්ෂණයකට යටත්වෙලා තිබෙනවා. එම නිසා ඔබතුමාට ඔය ලේඛන සභාගත කරන්න පුළුවන්, එහෙත් හැන්සාඩ්ගත කිරීමට මේ සභාවේ අනුමැතිය ඕනෑ. ඔබතුමාට පුස්තකාලයේ තබන්න පුළුවන්. නිල වශයෙන් වලංගු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු වාර්තාව සභාගත කරන්න පුළුවන්. නිවාඩ් කබ්රාල් පිළිබඳ පරීක්ෂණයක් තිබෙනවා. එවන් වාර්තාවන් හැන්සාඩ්ගත කරන්න බෑ.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා (එ.ජා.ප)-

රටේ සංවර්ධනය ගැන කතා කරනවා. වාරිමාර්ග කටයුතු විශාල සංවර්ධනයක් පසුගිය කාලයේ සිදුවුණා. රුපියල් කෝටි 26000ට වැඩි මුදලක් වෙන්කර මොරගහකන්ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. එම ව්‍යාපෘතියට අපි සල්ලි දුන්නා. මෙවරත් රුපියල් මිලියන 12000ක් මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් වෙන්කර තිබෙනවා. මේ රටේ විශාලම වාරිමාර්ග ක්‍රමය එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ක්‍රියාත්මකවීම ගැන සතුටු වෙනවා. අද වනවිට සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන්කර තිබෙනවා.

අපේ ප්‍රදේශයේ විශාල පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුව සිටින වග පසුගිය කාලේ ඒ අයගෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 500ක දීමනාවක් ලබාදුන්නා. නමුත් අද වනවිට එය රුපියල් 5000 දක්වා ඉහළ දමා තිබෙනවා. 12000ක් පමණ රෝගීන් හඳුනා‍ෙගන තිබෙනවා. සමෘද්ධි සහනාධාරය අලුතින් පුද්ගලයන් ලක්ෂ 6කට ලබාදෙන්න විශාල මුදලක් වෙන්කර තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා එක් ආසනයකට රුපියල් ලක්ෂ 3000ක් පමණ වෙන්කර තිබෙනවා. අපි මේ කටයුතු විවිධ බාධාවන් මැද කරගෙන යනවා. ඒ නිසා අපි රජයට සහාය දෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා -

මේ වනවිට රුපියල් කෝටි 6000ක ණය දී තිබෙනවා. එම පොලිය සම්පූර්ණයෙන්ම බැංකුවලට ගෙවනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (එ.ජ.නි.ස)

ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයට පුහුණුව දෙන්න ඕන. විවිධ වෙලාවට විවිධ දේ කළයුතු නැහැ. ප්‍රතිපත්ති අනුව කටයුතු කළයුතු වෙනවා.

අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රියානී විජේවික්‍රම මුලසුනට පැමිණියාය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස) - යහපාලන ආණ්ඩුව මේ රටේ ජනතාවට පොරොන්දු දුන්නා. රුකියා ලක්ෂ 10ක් දෙනවා කිවුවා. මේ රට සුරපුරයක් කරන බව කීවා. මේ ආණ්ඩුව හදපු ප්‍රතිපත්ති මොනවාද? අද අවුරුදු 20ත් 30ත් අතර විරැකියාව සියයට 16ක්, එයින් වැඩි පිරිසක් තරුණයින්. මේ ආණ්ඩුව විවිධ පොරොන්දු දුන්නා. විදෙස් ආයෝජන ගේනවා කිවුවා. උපාධිධාරීන් 60000ක් රුකියා නැතිව ඉන්නවා. අපේ රටේ ජනගහනයෙන් මිලියනයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ගමට, රටට රැකියා ගේන, මුදල් ගෙන පිළිවෙළක් එදා තිබුණා. නමුත් අද කිසිම වැඩපිළිවෙළක් නැහැ. අද වනවිට අධ්‍යාපනය දිනෙන් දින කඩාවැටෙනවා.

කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා,

අපි ආණ්ඩුව බාරගන්නාවිට අපනයනය දෙගුණයක් කළ යුතු බව අගමැති කිවුවා. අපිට අපනයන දෙගුණ කරන්න වසර 15ක් ගිහින් තිබෙනවා. ලෝකයේ අනෙක් රටවලට ගිහින් තිබෙන්නේ වසර 5යි. අපි බාරගන්නාවිට අපනයනය තිබුණේ සියයට 12යි. එය ‍ඩොලර් මිලියන 10300ක් වුණා. අපේ ඉලක්කය ව‍ුණේ ඩොලර් මිලියන 17000යි. 2020 වනවිට අපේ ඉලක්කය ඩොලර් මිලියන 23000යි. එම ඉලක්කය ඉක්මවා අපි යනවා. දකුණු ආසියාවේ විශාලතම තරුණ මධ්‍යස්ථානය මහරගම ඇතිකර තිබෙනවා. අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් පහසුකම් රැසක් ලබාදුන්නා.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේෂන් මහතා, - අතුරුදහන් වූවන්ට අනිවාර්ය වන්දියක් ලැබෙනවා. මෙම රුපියල් 6000 අතුරු දීමනාවක් පමණයි. ඔබතුමා අතුරුදන්වූවන් රුපියල් 6000කට ලඝු කරන්න එපා. අපිත් ඔවුන් එක්ක ඉන්නවා.

පත්කළ මන්ත්‍රී මලික් ජයතිලක මහතා (එ.ජ.නි.ස.) - පාසල් අධ්‍යාපනය නුගුණට පිහිටවූ රටාවක් තුළ වෘත්තීය පුහුණුව සඳහා ඔවුන් යොමු කිරීම අපහසු බව නියෝජ්‍ය ඇමැති පරණවිතාන මහතා පවසනවා. අපිද එය පිළිගන්නවා. එහෙමනම් තෘතීය හා වෘත්තීය යන දෙක වෙන්කළ යුතුය කියන දෙයට අවධානය යොමුකරන්න කියලා අපි කියනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා - රට සංවර්ධනය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‍කරනවා. උතුරු පළාත මෙන්ම සියලු දිස්ත්‍රික්ක පාදක කරගෙන වෘත්තීය පුහුණු ක්‍රියාවලියද ඒ අයුරින් ක්‍රියාත්මක වෙනවා. චෝදනා ඉදිරිපත් කරපු විරුද්ධ පක්ෂය පලා ගිහිල්ලා. දැන් වෙනකොට පාර්ලිමේන්තුවේ ගෙදර ගිහින් විවේක ගන්නවා ඇති.

2015 තරුණ සේවා සභාව බාරගන්නකොට මහරගම ගබඩාවේ තිබුණේ නිල් බළකා‍ෙය් ටී ෂර්ට් තොප්පි මහින්ද රාජපක්ෂගේ මුහුණ ගහපු ඔරලෝසු. තරුණ සේවා සභාව පත්වෙලා තිබුණු තත්ත්වය එමඟින් ජනතාව දන්නවා. රටේ විමධ්‍යගත අරමුදල හරහා මන්ත්‍රීවරු රට සංවර්ධනය කිරීමට කැපවී කටයුතු කරනවා.

කතානායක කරු ජයසූරිය මහතා මුලසුනට පැමිණියේය.

නිරෝෂන් පෙරේරා මහතා - අපි දිස්ත්‍රික්කයක මන්ත්‍රීවරයකුට ලක්ෂ 100ක ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. මීට පෙර තිබුණේ ලක්ෂ 50යි. ගම්පෙරළියට රුපියල් මිලියන 48000ක් වෙන්කරලා තිබෙනවා. එය අංශ දොළහකින් විවිධ ක්ෂේත්‍රවලට මුදල් වෙන්කරනවා. වැව් අමුණු හදන්න. ග්‍රාමීය මාර්ග නාගරික මාර්ග හදන්න ලක්ෂ 20 බැගින් මුදල් වෙන් කරනවා. පාලම් සඳහා ලක්ෂ 30ක්, පාසල් සඳහා ලක්ෂ 50 වෙන්කරනවා. ස්ථිර වහලක් හදන්න පවුලකට ලක්ෂ 3ක ප්‍රදානයක් ලබාදෙනවා. එය ණයක් නොවෙයි. ප්‍රදානයක් පමණයි.

එක ආගමික ස්ථානයකට ලක්ෂ දහය බැගින් වෙන් කරලා ආගමික ස්ථානය ගම හා සම්බන්ධ කරලා ගමේ ප්‍රශ්න විසඳන්න, මත් උවදුර වැළක්වන්න කටයුතු කරනවා.

ගම්පෙරළිය වැඩසටහන තමයි දින 52 පළමු ගොදුර බවට පත්වුණේ. මෙමඟින් මිලියන 14000ක් රටට අහිමි වුණා. නමුත් අගමැතිතුමා ආසනයකට ලක්ෂ 3000ක් වෙන් කරලා ගම්පෙරළිය තවත් ශක්තිමත් කළා.

අපි ගිය අවුරුද්දේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දුන්නා. දෙවන වරට දෙන්න හදනකොට දේශපාලන කුමන්ත්‍රණය ආවා. ඒ සැලසුමවත් ඔවුන් ඉදිරියට ගෙන ගියේ නෑ. රුපියල රැකගන්න හැකිවුණේ නෑ. සිංගප්පූරු ගිවිසුමට පහර ගහපු අය දින 52 එය ඉදිරියට ගෙනියන්න දැඟලුවා.

අපි එක්සත් ජාතික පෙරමුණක් ලෙස අයවැය ඉදිරිපත් කර ජනතා සහන රැසක් ලබා දී තිබෙනවා. තරුණයින්ට නිවාස තනාගැනීමට ණය යෝජනාක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. හෝම් ස්වීට් හෝම් තුළින් මිලියන දහයක් අවුරුදු 25ක් තුළ ගෙවන්න දෙනවා. නමුත් මෙය නාමල් රාජපක්ෂ මහතාට ප්‍රශ්නයක්.

අජිත් පී. පෙරේරා මහතා - මෙතරම් හරබර දේශනයකදී විපක්ෂය නෑ.

නිරෝෂන් පෙරේරා මහතා - ඒ අය ගෙදර ගිහින් හොඳට නිදි ඇති. නාමල් රාජපක්ෂ මහතාට වැරදුණු තැනත් තිබෙනවා. මාසයකට ගෙවන්න ඕනෑ ලක්ෂ හයක් නෙවෙයි. රුපියල් 6443ක් පමණයි. අද විපක්ෂයේ කිසිදු අයෙක් නෑ.

වැය ශීර්ෂ සම්මත විය. පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30ට යළි රැස්වේ.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට 100%ක් එකඟ නැහැ
- විදේශ ඇමැති තිලක් මාරපන

ජිනීවා මානව හිමිකම් කොමිෂමේ හතළිස්වන සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය එලෙසින්ම පිළි නොගන්නා බව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් සියලු කරුණු එලෙසින්ම පිළිනොගන්නා බවත් ශ්‍රී ලංකා රජය ඉටුකළ කාර්යය කොමිෂම වෙත ඉදිරිපත් කරන අතර ඉදිරි කටයුතු වෙනුවෙන් කාලය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම රජය දැනට අනුගමනය කර ඇති ක්‍රියා මාර්ග හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත කාර්යයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සුදානම් බවත් විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසි වාරයේ ඉදිරිපත්කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස සඳහන් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂ‍යේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා - විපක්ෂනායකවරයා මතුකරන ලද ප්‍රශ්නයට නෙවෙයි ඔබතුමා ඒ පිළිතුරු ලබා දුන්නේ‍. අතීතය හා අනාගතය ගැන කරුණු පැහැදිලි කිරීමක් නම් කළා. නමුත් අහපු ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැහැ. මට හිතෙන්නේ නිලධාරින් ඔබතුමාට වැරදි තොරතුරු ලබා දී තිබෙන්නේ.

විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා - මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනා දෙකක් ඉදිරිපත්වී තිබෙනවා. එකක් මහකොමසාරිස්වරයාගේ යෝජනාව අනිත් එක රටක් විදිහට අපි කරන යෝජනාව. මහකොමසාරිසේගේ යෝජනාවේ සෑම කරුණක්ම අපි පිළිගන්නේ නැහැ. ඒකේ පිළිගන්න බැරි කාරනා තිබෙනවා. උදාහරණයක් විදිහට උතුරු නැගෙනහිර හමුදාව සතු ඉඩම් ජනතාවට ලබාදීලා නැහැ කියලා එහි තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඉඩම් වලින් 90ක් විතර ජනතාවට භාරදිලා තියෙන්නේ. මේවගේ කරුණු ගැන අපි කියන්න බලාපොරොත්තු වෙනවා.

දෙවැනි එක යෝජනාව අපි ඉදිරිපත් කරන යෝජනාව. එමගින් කර තිබෙන්නේ දැනට අපි කරගෙන යන ක්‍රියාවලිය ඉදිරියටත් කරගෙන යන්න තව අවුරුදු දෙකක කාලයක් ඉල්ලා සිටිමයි.

ඒ වගේම මේ යෝජනාවේ අපි කියලා තියෙනවා පහුගිය වසරවල් තුළ අපි කරපු දේවල් පිළිබදවත් . ඒවගේම ඉදිරි වසරවලදීත් අපි කරන දේවල් ගැනත් කියලා තියෙනා. ඒ සඳහා කාලය දෙන්න කියලායි අපි යෝජනා කර තිබෙන්නේ.

නිවාඩ්ට විමර්ශන තිබෙනවා: වාර්තා සභාගත කරන්න දෙන්න බැහැ
- අගමැති

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවා‍ඩ් කබ්රාල් මහතා සම්බන්ධයෙන් වූ වාර්තාවක් සභාගත කිරීමට විරෝධය පළකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා චෝදනා විමර්ශනයකට මුහුණ දෙන පුද්ගලයකු බැවින් එවන් පුද්ගලයකුගේ ලේඛනයක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතකිරිමට ඉඩ දිය නොහැකි බවත් එම ලේඛනය අවශ්‍යනම් පාර්ලිමේන්තු පුස්තකාලයේ තැබිය හැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අගමැතිවරයාට ප්‍රශ්න කිහිපයක් යොමුකරමින් වාර්තාවක් සභාගත කරන බව‍ට කරුණු දැක්වීමෙන් පසුව පැවසීය.

එම අවස්ථාවේදී මුලසුනේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා සඳහන් ‍කළේ කතානායකවරයාගේ අවධානය සඳහා අදාළ කරුණ යොමුකරන බවයි.

මහින්දගේ අදූරදර්ශි ආර්ථික පිළිවෙතින් රට කඩා වැටුණා
- ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අනුගමනය කළ අදූරදර්ශි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් බරපතළ ලෙස කඩා වැටුණු ආර්ථික කඩා වැටීම නතර කර රට සංවර්ධනය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට හැකිවූ බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කළේය.

එම වකවානුවේදී අනුගමනය කළ ආර්ථික වැඩපිළි‍වෙළ හේතුවෙන් රට අගාධයට ගිය බවත් පසුගිය වසර හතර හා සසඳන කළ රාජපක්ෂ පාලන සමයේදී සංවර්ධන කටයුතු සඳහා අධික පොලියට ණය ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම තමන් විදුලි පුටුවට ගෙන යාමට උත්සාහ දරන බව මැතිවරණ ‍වේදිකාවල පවා සඳහන් කළ අතර එම රජය අනුගමනය කළ ක්‍රමවේදයන් හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිකිරීමට‍ දැරූ සම්බාධකයන් පවා වළක්වා ගැනීමට වත්මන් රජයට හැකිවූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති හර්ෂ ද සිල්වා මහතා‍ මේ බව සඳහන් කළේ සිය අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා ඊයේ (14) එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති හර්ෂ ද සිල්වා මහතා, යහපාලනය ඉදිරියට ගෙනයන අගමැතිවරයා රට ආර්ථික සමෘද්ධිය කරා ගෙනයනවා. 2025 සංවර්ධනය තුළ මේ සංවර්ධනය අන්තර්ගතයි. එහෙත් මහින්ද රාජපක්ෂ යුගයේ රට සංවර්ධනය කළේ රට ණය කරලා. අපේ රජය සැහැල්ලු දුම්රිය මාර්ග, කැලණි පාළම හදන්න ණය ගත්තේ සියයට 0.1 පොලියට. නමුත් රාජපක්ෂ රජය හම්බන්තොට හදන්න ඩොලර් මිලියන 350ක් ගත්තේ සියයට 6.3 පොලියටයි.

2005 දී වානිජ පොළිය ඩොලර් මිලියන 238.5 යි. එය 2014 වනවිට ඩොලර් මිලියන 5024 දක්වා වැඩිවුණා. පසුගිය වසර හතරෙන් වාණිජ ණය සියයට 2.3 කින් ඉහළ ගියත් රාජපක්ෂ සමයේ සියයට 21 ගුණයකින් ණය වැඩිවී තිබුණා. එම දත්ත ඇතුළත් ආර්ථික වගුව මා සභාගත කරනවා. පසුගිය ඔක්තෝම්බර් 26 ට කලින් ජාත්‍යන්තර බැඳුම්කර තිබුනේ සියයට හයටත් අඩුවෙන්. සිය නොවැම්බර් වනවිට සියයට නවය දක්වා වැඩිවුණා. මේ නිසා ජාත්‍යන්තර බැඳුම්කර සඳහා වැඩි පොලියක් ගෙවන්න අපිට සිදු වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages