කුරුමානම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

කුරුමානම

16 මාර්තු, 2019

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වෙනවද? පසුගියදා මාධ්‍යවේදියෙක් බැසිල් රාජපක්ෂගෙන් මෙහෙම ඇසුවේ ය.'ජනාධිපතිවරණෙට දාන රාජපක්ෂ කවුද කියලා විපක්ෂ නායකතුමා දැනටමත් තීන්දු කරලයි තියෙන්නේ. ඡන්දෙකට දාන්න ඕන දිනන්න පුළුවන් කෙනෙක්'

බැසිල් දුන්නේ එහෙම උත්තරයකි. මාධ්‍යවේදියා ඔහුගෙන් තව අපූරු ප්‍රශ්නයක් ඇසුවේය .'මේ වෙනකොට විධායක ජනාධිපති ධූරය අහෝසි කිවීම ගැන කතා වෙනවා?'බැසිල් දෙන්නේ මෙහෙම උත්තරයකි. 'ඒක නිකන් වැසි වැස්සොත් ගඟ ගලයි කියනවා වගේ කතාවක්. ඒ ගැන වැඩිය කතා කරන්න හොඳ නෑ ' ඔය අතර පන්සලකට ගොස් එන අතර මහින්දගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම ඇසීය.“ ජනතා විමුක්ති පෙරමුණ එක්ක කරන සාකච්ඡාවල තත්ත්වේ කොහොමද?“'අපි ජනතා විමුක්ති පෙරමුණ එක්ක සාකච්ඡා කළ; ඒ සාකච්ඡා සාර්ථකයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න අපි සූදානම් .'එහෙම කියන්නේ මහින්ද රාජපක්ෂය. එහෙම බැලුවම ඇත්ත කතාව කියන්නේ බැසිල් ද මහින්ද ද කියන්න තවම කල් වැඩිය. හැබැයි මේ වෙලාවේ මහින්දගේ කතාවට වඩා ‘බරක්‘ තියෙන්නේ බැසිල්ගේ කතාවට ය.මහින්දට නැවත ජනපතිකමට ඉල්ලන්නට නොහැකි බව කවුරුත් දනී. ඒ නිසා මේ වෙලාවේ විධාකය ජනාධිපතිකම අහෝසි කිරීම ගැන මහින්ද එක්ක කතා කිරීම විමල් වීරවංශ හෝ වාසුදේව එක්ක කතා කරනවා තරම් ම නිෂ්ඵල දෙයකි. හැබැයි ජවිපේ පොහොට්ටුව එක්ක කතා කරන්නේ නැත. ඒක නොකෙරෙන වෙදකමක් බව ජවිපෙ නොදන්නවා නොවේ. මේ කපේට විධායකය නැති කරන්න පොහොට්ටුව සූදානම් නැත. ඒක හරියට බැසිල් ම කියන පරිදි වැසි වැස්සොත් ගඟ ගලයි කියනවා වගේ කතාවක් ය. විධායකයට අත තියන අදහසක් තුන් හිතකවත් නැති බැසිල්ලාගෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු විය හැකිද? අනෙක් අතට බැසිල්ලා මහින්දලා එක්ක ගිහින් විධායක ජනපතිකම අහෝසි කරන්න හිතනවා නම් ඒක සිහිනයක් විතර ය.

2020 ජනපති සටනට එකාබද්ධයෙන් ගෝඨා එන බවට ලොකු සද්දයක් ආවත් එය ආපසු හැරී තිබේ. වරක් ගෝඨාභය කියන්නේ තමා ජනපති සටනට එන බවට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කී කතාව ව්‍යාජයක් බව ය. ජනාධිපතිවරණයට එන්නට තමාගේ අදහසක් නැති බව ද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. එහෙම නම් ඔහු 'වියත්මඟ' හදාගත්තේ ධනාත්මක චින්තන වැඩසටහන් කරගෙන යන්නට විය යුතුය. නැත්නම් පොහොට්ටු කාර්යාලයට ගියේ 'ගෙදර යන අතර' විය යුතුය. හිටි අඩියේ 'ජනපතිවරණයට' එන අදහස වෙනස් වූ බවක් හඟවන එකෙහි යටි අරුත කුමක්ද?.අන් කිසිවක් නොව ආණ්ඩුවේ නවතම හැසිරීම ය. 'මොකක්ද ආණ්ඩුවේ අලුත් හැසිරීම?' කෙනෙක් අසන්නට පිළිවන. 'ඇයි දන්නේ නැද්ද.. ආණ්ඩුව අලුත් ප්‍රොජෙක්ට් කීපෙකට අත තිබ්බා. ඒවා සද්දන්ත වැඩ. ඒ ටික පත්තු වුනොත් ආයේ ආණ්ඩුව හොල්ලනවා බොරු' මේ හිතවත් මාධ්‍යවේදියකු කී කතාව ය.

'මෙච්චර කල් නැතිව මොනවද අලුතින් කරන්න යන්නේ?' එහෙම අහන කෙනෙකුට මතක් කරන්න ඉතිහාසයක් තිබේ. ආණ්ඩු බිහි වූ සැනින් ප්‍රාතිහාර්ය පෑ ඉතිහාසයක් ලොව කොතනකවත් නැත. සියල්ල ප්‍රතිඵලදායක වන්නට පටන් ගන්නේ මුල් වසර දෙක තුන ඉක්මගිය පසුව ය. අනෙක් අතට අයවැය දිහ බැලුවමත් ඒක පෙනෙන්නට තිබේ.'අයවැය පැරදිලා ආණ්ඩුව ගෙදර යනවා'සමහර තරු පන්තියේ හෝටල්වල හැමුවී සමහර මන්ත්‍රීලයි, ව්‍යාපාරිකයොයි කීවේ එහෙම ය.'එහෙම වෙන්නේ කොහොමද,ටීඑන්ඒ ආණ්ඩුව එක්ක ඉන්නේ 'සමහරු එහෙම අහනකොට ඔවුහූ කොක් හඬලා සිනාසුණහ. පසුවදා සමහර පත්තරවලයි, වෙබ් අඩවිවලයි 'නිවුස් ප්ලාන්ට්' වෙලා තිබ්බේ 'ටීඑන්ඒ අයවැයට පක්ෂයි-කප්පම උතුර' කියා ය. ප්‍රවෘත්තියි, කතන්දරයි මැවෙන්නේ එහෙම ය."ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම් ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුළු ජීවිතය පුරාම එයට එරෙහිව සටන් කළා; මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා."

එහෙම කියන්නේ නෙල්සන් මැන්ඩෙලා ය. වසර සිය ගණනක් තිස්සේ යුරෝපයේ කොලනියක් වූ දකුණු අප්‍රිකාවේ පැවැති වහල් වර්ණභේදවාදයට එරෙහි නිදහස් සටනේ පෙරමුණ ගත් ඔහු වර්ගවාදයෙන් තොර ලෝකයක් වෙනුවෙන් සිහින දුටුවේ ය.

‘‘ආරම්භයේදී අප සතුව ජාතියකට තිබිය යුතු මූලික සාධක වූ ස්වකීය ජනගහනයක්, පොදු භාෂාවක්, පොදු සංස්කෘතියක්, පොදු ඉරණමක් මේ කිසිවක් අප සතු නොවීය. අප හුදෙක් දකුණු චීනයෙන්, දකුණු ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් (එය බෙදීමට පෙර) ලංකාවෙන් සහ දූපත් සමූහයකින් පැමිණි සංක්‍රමණිකයන් විය. එබැවින් ප්‍රධාන ගැටලුව වූයේ මේ සියලු ම ජාතීන්ට අයත් මිනිසුන් එකට තැබිය හැකිද යන්නයි.’’

මෙහෙම කියන්නේ සිංගප්පූරුව හැදූ ලී ක්වාන් යූ ය.

රටක් හදන්නට පුළුවන් එකට එක්වීමෙන් මිස තුනට බෙදීමෙන් නොවේ කියා ලී ඔප්පු කළේය. හැමෝම සිංගප්පූරු ජාතිකයෝ කියන හැඟීම මිනිස්සුන්ට ආරෝපණය කරන ඔහු සිංගප්පූරුවේ විවිධ ජනවර්ග සිංගප්පූරු ජාතික අනන්‍යතාව ඔස්සේ එක් කිරීමට ඔහු උනන්දු වන්නේ ය. හැබැයි මහින්දලාගේ ජාතිවාදී කල්ලිය ඒහෙම සමාජ සාධාරනයක් මායිම් කරන්නේ නැත. ලොව දිනන රටක් හැඳුණේ එහෙම ය.

1948 වෙනකොට ආසියාවේ දියුණු ම රට ජපානය ය. දෙවැනි තැනට හිටියේ ශ්‍රී ලංකාව ය. සිංගප්පූරුව හදන්න මහන්සි වෙච්ච ලී ක්වාන් යූ ලංකාවට ඇවිත් කීවේ "මගේ සිහිනය ලංකාව වගේ සිංගප්පූරුවක් හදන එක කියලා"ය. එහෙම කී ඔහු ම පස්සේ කාලෙක කියන්නේ මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි ලංකාව නිදහසින් පසු කඩා වැටෙන ආකාරය දුටු බව ය.

ඒ ජාති ආගම් කුල මල ලෙස බෙදී වෙන්වීමේ ප්‍රතිඵල ය.

1953දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසම රාජ්‍ය භාෂා කරන බව කීවාම දකුණ කුලප්පු විය. ජෝන් ජාතිය පාවා දෙන්නෙක් ය කියා විපක්‍ෂය චෝදනා කළේය. භික්‍ෂුන් වහන්සේ ජෝන්ට එරෙහිව පෙරට ආව අතර බණ්ඩාරනායක පිලිප් ගුණවර්ධනලා එක්ක එකතුව නැඟෙන ගින්නට පිදුරු දැම්මේය.

"හාමුදුරුවෝ නොවේ කවුරු කීවත් මම මගේ මතය වෙනස් කරගන්නේ නෑ."

ජෝන් හිටියේ එහෙම මතයක ය.

"අපි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා."

56 ඡන්දේ කට උඩ තියාගෙන බණ්ඩාරනායක ජෝන්ට කට උත්තර නැති වෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනාවේ ය.

රැල්ල ගැහුවේ බණ්ඩාරනායකගේ පැත්තට ය. ජෝන්ට ඉතිරි වුණේ ආසන අටට බැස්ස යූන්පීයක් ය. යූන්පීය පැරදුණේ ජෝන්ගේ උද්ධච්චකම් හින්දා බවත් ජාතිය ගැන නොහිතුව හින්දා බවත් ආගම තුට්ටුවකට මායිම් නොකළ හින්දා බවත් හැමෝම කීය.

මේ කිසිවකට උත්තර දෙන්න නොගිය ජෝන් බණ්ඩාරනායකට ආණ්ඩුව දීලා වලව්වට ගියේ ය.

"කෙළවුණේ කාටද කියලා ළඟදීම පෙනෙයි." ජෝන් තනියම හිතුවේය. කාලේ ගෙවිලා ගියේ ය. බණ්ඩාරනායකගේ ආණ්ඩුව හෙල්ලෙන්න පටන් ගත්තේ ය. ලොකු ම අර්බුදය ආවේ ඡන්දෙට කලින් දුන්න "ජනප්‍රියම" පොරොන්දුව හින්දා ය.

"සිංහලය රාජ්‍ය බස කරනු"

බණ්ඩාරනායක අගමැතිට හතර වටෙන් බලපෑම් ය. දවසින් දවස පොරොන්දුව කල් යනකොට රට ම කුලප්පු වුණේ ය. භික්‍ෂුන් වහන්සේ පවා බණ්ඩාරනායකට එරෙහිව පෙරට එන්න ලෑස්ති විය. කොහොම කොහොම හරි ඔය අතරේ චීවරධාරියකුගේ වෙඩි ප්‍රහාරයකින් බණ්ඩාරනායක මිය ගියේය.

අවමඟුලදා බණ්ඩාරණායක දේහයට අවසන් ගෞරව පුද කරන්නට ආ ජෝන් මෙහෙම කීවේය.

"මම දැනගෙන හිටියා මෙහෙම වෙන බව. මම බැඳලා දැම්ම බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මා. උන් බණ්ඩව හපා කෑවා."

ජෝන් එහෙම කීවේ ජාතිවාදීන්ට ය. ජාතිවාදී කුලප්පුවකින් ඉතිරි වන්නේ විනාශයක් විතරක් බව ජෝන් තේරුම් අරන් හිටියේ ය; ඒ හින්දාම ඔහු ඕනවට වඩා ජාතිවාදී වුණෙත් නැත. යහපාලන ආණ්ඩුවට සමහරු බනින්නේ මැද මාවතක යනවාය කියලා ය; ජාතිවාදී නොවෙනවා කියලා ය. දකුණට වගේම උතුරටත් සලකනවාය කියලා ය. නායකයෝ ඕනවට වඩා මිනිසුන්ට කිට්ටු නෑ කියලා ය. දරුවන් වඩාගෙන හුරතල් කරන්නේ නෑ කියලා ය.

"මහින්ද මහත්තයා ඔහොම නෑ. මතකද කොටි කැබිතිගොල්ලෑවේ බෝම්බ ගහපු වෙලාවේ ජීවිතේ පැත්තක තියලා මහින්ද මහත්තයා එහෙට ගිහින් දුක සැප ඇහුවේ අන්න එහෙමයි නායකයෝ."

සමහරු කියන්නේ එහෙම ය.

ඒ දවස්වල විපක්‍ෂය ජෝන්ට බැන්නේ රට ගැන හැඟීමක් නැති කුකුල් කේන්තිකාරයා කියලා ය.

හැබැයි අවුරුදු එකහමාරක් වගේ කාලයක් අගමැති හැටියට හිටිය ජෝන් රට ගැන හිතලා කරපු දේ වෙන කවුරුත් නොකරපු තරම් ය.

1954දී ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත් කරමින් මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයකු පත් කිරීමේ පිළිවෙත හඳුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවල ය. සෑම නිදහස් දිනයක ම රටේ ජාතික කොඩිය සමඟ ඉංග්‍රිසි කොඩිය එසවීමේ පිළිවෙත ඉවතට දමන්නේ කොතලාවල ය. ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මූලික වෙන්නේ කොතලාවල ය. ඒ අතරේ දෙවැනි එළිසබත් මහා රැජනත්, වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල්වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවල අගමැතිවරයාව සිටියදීය.

එහෙම බැලුවම කොතලාවල කියන්නේ පුදුම නායකයෙක් ය. හැබැයි හැමෝම හිතුවේ කොතලාවල ජාතිය ගැන, රට ගැන කැක්කුමක් නැති ‘උද්දච්ඡ.මනුස්සයෙක් කියලාය.

එදා වගේම අද යහපාලන ආණ්ඩුවට විපක්‍ෂය චෝදනා කරන්නේ ජාතිකත්වය ගැන හිතන්නේ නෑ කියලා ය. හැබැයි දළදා මාලිගාව ඉදිරියේ නයිට් රේස් පදින තුරු බලාගෙන හිටපු අය එහෙම කියද්දී හතර හිනා ය. ඇමෙරිකන් පුරවැසියෝ රංචුවක් හිටපු ආණ්ඩුවක අය විපක්‍ෂයට වෙලා දැන් කියන කතා විහිලු බව කියන්නේ මිනිසුන් ය.

ජාතික සංහිඳියාව වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවා ආණ්ඩුව වැඩ කරන්නේ ජනවාර්ගික ඒකාබද්ධතාවයෙන් යුතුව රට පෙරට ගෙනියන්නට ය.

ඒ දවස්වල ජෝන් කොතලාවලගේ වැඩපිළිවෙළ වටහා නොගත් පිරිස් ඔහුව පරාජය කොට කඳවල වලව්වට තල්ලු කොට දැම්මේ ය. හැබැයි ඊට පස්සේ ආව ආණ්ඩුව රටට ඉතිරි කළේ ප්‍රගතිශීලී ලොසින්ජරය යටින් වූ විස බව කියන්නේ මිනිසුන්ය. යහපාලන ආණ්ඩුවට එරෙහිව කැරලි ගසමින් විපක්‍ෂය හදන්නේ ජෝන් යැව්වා වගේ යවන්නද කියා කියන්න නම් දන්නේ නැත.මේ මොහොතේ සටකපටිම දේශපාලනයේ යෙදෙන්නේ 'බැසිල්' ය. අයවැයෙන් පසු ගැස්සුන පොහොට්ටුව ගමට යන්න තීන්දුකොට තිබෙන්නේ 'ගම එක්ක පිළිසඳරක්' කියා ය.'මොකටද පොහොට්ටුව ආණ්ඩුවට බය වෙන්නේ. එයාලා පුංචි ඡන්දෙත් දිනුවනේ' එහෙම කියන සමහරු ඉන්නේ දේශපාලන ළදරු පාසලේ ය. ආණ්ඩුව මුල් වසර කිහිපය ම ගත කළේ කාබාසීනියා වූ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්නට ය. එය වසරකින් දෙකකින් කළ හැක්කක් නොවීය. ඉතිහාසයේ ආණ්ඩුවකට උරුම වූ සද්දන්තම ණය කන්ද මැද ඔළුව උස්සන එක සිහිනයක් විය. මළගම් ගිය ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සිහිනයක් විය. කකුල් මාට්ටු, අපහාස,උපහාස මැද ආණ්ඩුව 'ජනප්‍රිය නොවන'වසර කිහිපයක් ගත කළහ .77 ජේ.ආර් රටේ පරිවර්තනය පටන් ගත්තේ ආණ්ඩුව අරගෙන වසර හතරක් යනවිට ය. එතෙක් ඔහුට සිදු වුණේ ඊට පෙර වසර හතක් තිස්සේ කඩා වැටී තිබූ ආර්ථිකයට පණ දෙන එක ය. වැරහැලි ජීවිත, බියකරු ආර්ථිකය, විසිරුණු ජීවන රටාව, ඔඩු දුවපු විරැකියාව වැනි දහසකුත් එකක් ප්‍රශ්න රට ප්‍රපාතයකට දමා තිබිණි. එහෙත් ඔහු මේ ප්‍රපාතයෙන් රට ගොඩගත හැකි කණ්ඩායමක් සකස් කර ගත්තේය. ඉතා ප්‍රශස්ත සංකලනයක් සහිත කැබිනෙට්ටුව ජේ.ආර්ට ස්වකීය අරමුණ කරා යන්නට හයියක් ගෙනාවේය. වසර තුනක් ඉක්ම යනවිට 'රට' නැගිටින්නට විය. එය ආසියාවේ වේගවත් ම ආර්ථික සංවර්ධනය බවට හැරෙන්නට විය.

'මම රජෙක්‌ නොවේ. මට රකින්න පෙළපතක්‌ නැහැ. මට මුදල් හම්බ කරන්න අවශ්‍ය නැහැ. මට බූදලයක්‌ නැහැ. මේ රටේ මගේ බූදලය තමයි ගොවි ජනතාව. වැව් හදලා, කුඹුරු ඉඩම් දීලා ඔවුන් සංවර්ධනය වී සිටින විට මේ රට ඉබේම සංවර්ධනය වෙනවා' මහවැලි ව්‍යාපාරයේ මාදුරුඔය හදලා ඉවර වුණාට පසුව ජේ. ආර්. කීවේ එහෙමය.

මත්තලයි, මාගම්පුර වරායයි හදා විවෘත කරන විට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ස්තෝත්‍ර, ප්‍රශස්ති ඔක්කාරෙට එන තරම් කියැවිණි. ප්‍රාදේශීය සභාවක ඉදි කරන වැසිකිළියේ පවා, 'සුතරල් කරන ලද අකුරින්' මහින්ද රාජපක්ෂ නම නොවරදවාම ලියැවිණි.එදා වේල කන්නේ කොහොමද කියා කල්පනා කරමින් ජීවන අරගලයක යෙදුණු මිනිස්සුන්ට ජීවත්වීමේ කලාව පුරුදු කරනවා වෙනුවට අවස්ථාවාදී දේශපාලකයෝ කළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් 'සංවේදී' ප්‍රශ්න හුරතල් කරන එක ය.

අවුරුදු හතරකට පස්සේ ආණ්ඩුව දැන් පීල්ල හදා දුම්රිය දමා තිබේ. ධාවනයට එය සූදානම්ය. දැන් මහින්දවාදීන් වෑයම් කරන්නේ ඒ දුම්රිය පෙරළා දමන්නද කියා දන්නේ නැත.මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ගෙනා බිහිසුණු ම සංශෝධනය 18වැනි ව්‍යවස්ථා සංශෝධනය ය. ඒක ගෙනාවේ මහින්දලා ය. අත් ඉස්සුවේ විමල්ලා ය; වාසුලා ය; දිනේෂ්ලා ය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්නට අබමල් රේණුවක අයිතියක් ඔවුනට නැත.

ලෝක යුද්ධයේදී ජපානයට පරමාණු හෙළන්නට අමෙරිකාව තීන්දු කළ රැස්වීමේ සිටි කිසිවකු එහි බිහිසුණු බව දැන සිටියේ නැත. හැබැයි මහින්ද ගෙනා 18 වැනි සංශෝධනයේ දුර්දාන්ත බව සියල්ලෝම දැන සිටියහ.

එහෙත් කිසිවෙක් ඊට එරෙහිව හ්ම්, කීවේ නැත. එහෙව් මහින්දගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙනවානම්,ඊට වඩා ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක ඉතා පහසුය. 18 ගේන්න පිඹුරුපත් සැකසූ, අගවිනිසුරු එළවන්න ලොකුම 'ගේම 'ගහපු බැසිල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලනවා නම් ඊට වඩා විහිලුවක් තවත් නැත. 'ඉඩ දෙන්න'කියා රටට පේන්න දැන්වීම් දමා 'පලයව් යන්න'කියා හොරෙන් ඩෝසර් කොට එලවා දැමූ මිනිසුන්ගෙන් ඇසුවොත් 'ගෝඨා'ගෙන් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන වටහා ගත යුතුය. 'කාලා බැලූ මලුවල ඔබා බලන්න දෙයක්' තිබෙනවා නම් ඒක අරුමයකි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages