අපේ මහඟු උරුමයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

අපේ මහඟු උරුමයක්

බුදුරදුන් විසින් හතළිස් පස් වසරක් පුරා උතුරු ඉන්දියාවේ මධ්‍ය දේශය පුරා සැරිසරමින් දේශනා කර වදාළ සනාතන ධර්මය අප කවුරුත් පොදුවේ ජනවහරේදී හඳුනන්නේ බුදු බණ ලෙසය. වඩාත් නිවැරැදි ලෙස එය හැඳින්විය යුත්තේ ත්‍රිපිටකය නමිනි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හෙළ බිමට හඳුන්වා දුන් දවසේ පටන් එය අපි අපේ අනගිතම වස්තුවක් සේ ආදරයෙන් රැක බලා ගතිමු. වියත් මහ සඟරුවන ලවා අටුවා ටීකා ටිප්පනී සම්පාදනය කරවා ගනිමින් බුද්ධකාලීන මහතෙරවරුන් එහි සියුම් අරුත් වටහා ගත් අයුරින්ම තේරුම් ගන්නට වෑයම් කළෙමු. එමෙන්ම අපි ථෙරවාදී බුදුසමය පිළිගත් රටවල සහෝදර බෞද්ධ ප්‍රජාව සමඟ ද නිමල දහම මූලික ස්වරූපයෙන්ම තේරුම් ගන්නට ඔවුනට උදවු වෙමින් වරින්වර ත්‍රිපිටකය බෙදා ගත්තෙමු. මේ සාඩම්බර අතීත කතාව විසින් ජනිත කරන ලද භක්ති ප්‍රමෝදය අපේ ජනපතිදුන් ලවා ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නීතිගත කරන්නට සමත් වූයේ බෞද්ධ අප කවුරුත් නව ජීවයකින් පුබුදු කරමිනි.

විවිධ සමාජ පරිසරයන් තුළ හැදී වැඩී නානාවිධ අධ්‍යාපන සහ වෘත්තීය මට්ටම්වල ජීවත් වූ ස්ත්‍රී පුරුෂයන් අමතමින් ඔවුන්ගේ විචක්ෂණයට අනුරූප අයුරින් බුදුරදුන් දෙසූ සදහම් මුල් අවදියේදී හඳුන්වන ලද්දේ සහිත(සාහිත්‍යය) නමින් බව පෙනේ. ධම්ම පදයෙහි බහුම්පි චෙ සහිතං භාසමානෝ යන ගාථාවෙන් අදහස් කළේ ධර්මය බහුලව හදාරා දේශනා කරතත් එය ක්‍රියාවට නොනඟන්නා කුලියට අනුන්ගේ හරක් බලන්නකු හා සමාන බවයි. සහිත යන්න මෙසේ භාවිත වන්නට ඇත්තේ විනය නීති පණවන්නට පෙර ධර්මය පමණක් පැවති අවදියේය. බුද්ධත්වයෙන් විසි වසරකට පසුව විනය නීති හඳුන්වා දුන් අනතුරුව ධර්මය සහ විනය වශයෙන් බුද්ධ දේශනා දෙවැදෑරුම්ව හඳුනා ගන්නා ලදී. සූත්‍ර ධර්ම මතකයේ රඳවාගැනීම ආනන්ද හිමියන් විසින් ද විනය මතක තබා ගැනීම උපාලි හිමියන් විසින් ද සිදු කර ඇත. එයට පෙර විවිධ ධර්ම කොට්ඨාස සංවිධානය කොට රැක බලාගත් සාමාන්‍ය රටාවක් නව ලෝකෝත්තර සද්ධර්මය සේ ද හඳුන්වා ඇත.

බුද්ධ දේශනා ත්‍රිපිටකය ලෙස විධිමත්ව සංග්‍රහ කොට භාණක පරම්පරාවනට පවරා සජ්ඣායන මාර්ගයෙන් රැක ගැනීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ ධර්මසංගායක මහ රහතන් වහන්සේ වෙතය. බුදුරදුන් විවිධ ස්ථානවලදී විවිධ පුද්ගලයන්ට දෙසූ දහම් එක් මල් අස්නක පිදූ විවිධ පුෂ්පයන් සේ විසිර පැවති හෙයින් යම් රටාවකට ගලපා සකසා ගැනීම ප්‍රථම සංගීතියෙහි එක් අරමුණක් වූ බව පූජාවලියෙහි දක්වා ඇත. එයින් හැ‍ඟෙන පරිදිම සූත්‍ර හා විනය ග්‍රන්ථ පහ බැගින් සංග්‍රහ කරන ලද්දේ ප්‍රථම සංගීතිය පැවැත් වූ මහ රහතන් වහන්සේලා විසිනි. ඒ වන විට අභිධර්මය පැවැතියේ සූත්‍ර පිටකයට ම ඇතුළත්ව බව සම්ප්‍රදාය තුළ ඉගැන්වෙයි. දෙවන සංගායනාවෙන් පසුව පැවති සෑම සංගීතයකදී ම අභිධර්මය ද වෙන ම පිටකයක් සේ සංගීති කළ බව පෙනේ.

පැරණි භාරතීයයන් තල්පත්වල සහ ගස්වලින් ලබා ගන්නා පොතුවල ද රෙදි මත ද පොත් ලිවීමේ කලාව ප්‍රගුණ කර සිටි නමුත් පැරණි බ්‍රාහ්මණයන් වේදය වචන මාර්ගයෙන් රැක ගන්නා අයුරින් ම ත්‍රිපිටකය ද ධාරණය කර රැක ගන්නට මහ සඟරුවන තීරණය කළහ. ඒ අනුව එක් එක් ග්‍රන්ථය ධාරණය මගින් රැක ගැනීම වෙන් වෙන් සංඝ පරම්පරාවනට පැවරිණි. එහෙත් මෙසේ භාණක පරම්පරා මගින් වචන මාර්ගයෙන් ත්‍රිපිටකය රැකගැනීමේ සම්ප්‍රදාය තුළ පවත්නා අවදානම ප්‍රායෝගිකව ම අත්දැකගත් ශ්‍රී ලාංකික හිමිවරු ක්‍රි.පූ. පළමුවන සියවසේදි මාතලේ අලුවිහා‍රයේදී එය නිල වශයෙන් ග්‍රන්ථාරූඪ කළහ.

එතැන් පටන් ත්‍රිපිටකය රැක බලාගැනීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් විය. භාරතයෙන් බුදුසමය අතුරුදන්වීමත් සමඟ බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට ද අප රට පත් වූ හෙයින් ත්‍රිපිටකය විෂයෙහි අපගේ වගකීම වැඩිවිය. සැබවින්ම බුරුමය සහ තායිලන්තය වැනි ප්‍රමුඛ බෞද්ධ රාජ්‍යයන් වරින් වර ශ්‍රී ලංකාවෙන් ත්‍රිපිටකය ලබාගෙන සිය රටවල ධර්ම අධ්‍යයනය ඒ අනුව පවත්වා ගත්හ. අද වුව ද ථෙරවාදී ලෝකය පුරා ත්‍රිපිටකය විෂයෙහි අධිකාරීනත්වය උසුලන්නේ ශ්‍රී ලංකාව වන අතර ඒ රටවල සුරැකී ඇති ත්‍රිපිටකය සම්බන්ධයෙන් පවතින්නේ ඒකමතිකත්වයක් වීම ඉතා වැදගත්ය. එහෙයින් එය ජාතික උරුමයක් සේ නීතිගත කොට ආරක්ෂා කිරීම අප සතු ඓතිහාසික යුතුකමකි. ශ්‍රී ලංකා ජනාධිපති ඒ කෙරේ යොමු වී ත්‍රිපිටකය ජාතික වස්තුවක් සේ නීතිගත වීම අපගේ භාග්‍යයකි.

අප එපමණකින් නැවතිය යුතු නැත. අපේ ජාතික උරුමය සමස්ත ලෝකයා වෙතම උරුම කර දායාද කර දීම යුගයේ අවශ්‍යතාවකි. එයට මුඛ්‍ය හේතුව විය යුත්තේ ත්‍රිපිටකයෙහි පෞරාණිකත්වය පමණක් නොවේ. ත්‍රිපිටකය වූ කලී කිසි කලෙක යල් පැන නොයන සදාහරිත සාහිත්‍යයකි. එහි අන්තර්ගත ඥානය අදටත් නවීනය. තාර්කිකය. විද්‍යාත්මකය. ආදානග්‍රාහී නොවී නිරවුල්ව නිදහස්ව සත්‍ය ගවේෂණයෙහි යෙදෙන මඟ එහි උත්කර්ෂණය කර ඇත. විශ්වය පිළිබඳ මෑතකදීම විද්‍යාඥයන් හෙළි කර ඇති කරුණු මුලින්ම අන්තර්ගත වූයේ ත්‍රිපිටකය තුළ වීම ගැන බටහිර චින්තකයෝ විශ්මයට පත් වෙති. එමෙන්ම ත්‍රිපිටකාගත මනෝවිද්‍යාව තමන් සතු දැනුම ඉක්මවා ඉදිරියෙන් සිටින බව නූතන මනෝ විද්‍යාඥයෝ පවසති. එහෙයින් ත්‍රිපිටකය වනාහී සමස්ත ලෝකයා විසින්ම අධ්‍යයනය කළ යුතු සර්වකාලීන විශ්වකෝෂයක් බව ලොව හමුවේ පැහැදිලි කළ යුතුව ඇත. අප විසින් ලෝකයාට අභිමානයෙන් පිරිනැමිය යුතු උතුම්ම තිළිණය වූ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට යුනෙස්කෝව ලවා තහවුරු කරවා ගැනීම අපේ මීළඟ ඉලක්කයයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සම්මත කර ගැනීමේ ව්‍යායාමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියාමකත්වයෙන් මේ මස 23වැනි දින ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් ආරම්භ වෙයි. බුදුමුවින් වදාළ සෑම ත්‍රිපිටක සුභාෂිතයකම පහස ලද දන්තධාතූන් වහන්සේ සෙවණේ සිට මේ සත්කාර්ය ඇරැඹීම කෙතරම් ආශිර්වාදයක් ද? එමෙන්ම මහා සංඝරත්නයේ අනුශාසනය පරිදි පුස්කොළ පොත්වල ලියන ලද පුරාණ ත්‍රිපිටක ග්‍රන්ථ ආරක්ෂා කරනු රිසි වූ ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ග්‍රෙගරිතුමන් විසින් තැන්පත් කළ අංගසම්පූර්ණ ත්‍රිපිටක පොත් වහන්සේලා මේ වනතුරුත් නිරුපද්‍රිතව දළදා මාලිගා පරිශ්‍රය තුළ වැඩවාසය කරන හෙයින් ද මේ සමාරම්භක උත්සවය එම ශුද්ධස්ථානයෙන් සමාරම්භ වීමෙහි අගය කියා නිම කළ නොහේ. මේ උත්කෘෂ්ට කාර්ය සාර්ථක කර ගැනීම සඳහා සහායවීම සියලු සත්පුරුෂයන්ගේම යුතුකමයි.

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad

Pages