අසල්වැසියාගේ බල පෙරැළිය දෙස අමෙරිකාවත් චීනයත් විමසිල්ලෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

අසල්වැසියාගේ බල පෙරැළිය දෙස අමෙරිකාවත් චීනයත් විමසිල්ලෙන්

16 මාර්තු, 2019
  • රාහුල්ට වැඩි වාසි
  • මෝදිගේ යුද වෑයම අසාර්ථකයි

අසල්වැසියන් හැම විටම වැදගත්ය. ඒ ඔවුන්ගේ ජීවන රටාව, ඇතැම් විට ඔවුන් ගන්නා තීරණ අප ජීවිතවලටද බලපෑම් කිරීමට සමත්වන නිසාවෙනි. අසල්වැසියා බලවතෙකු නම්, ධනවතෙකු නම් තත්ත්වය වඩාත් බැරූරුම්ය. අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවේ මහා මැතිවරණය ගැන අප අවධානය යොමු කළ යුත්තේ එබැවින්ය.

ඉන්දියාව තම 17 වැනි ලෝක් සභාව වෙනුවෙන් එන අප්‍රේල් මස 11 වැනි දින මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඉන්දියාවේ ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද පාලකයා සහ පාලක පක්ෂය අප රටට විශාල දේශපාලනික බලපෑම් කර ඇත්තේ වරක් දෙවරක් නොවේය. මේ වන විට කලාපීය බලවතාගේ භූමිකාවේ සිට ලෝක බලවතුන් අතර කිසියම් භූමිකාවක් හෙබවීමට ඉන්දියාව සමත් වී සිටීම මේ බලපෑම් තවත් වර්ධනය කිරීමට හේතු වී තිබේ.

දකුණු ආසියාව යනු බෙහෙවින් හැඟීම්බර ජනතාවක් වෙසෙන කලාපයකි. බලය වෙනුවෙන් කඳුළු හලන, පපුවට ගසා ගනිමින් ජාති වාදය, ජාතික වාදය ඉස්මතු කරන, හැඟීම් හෝ ජනප්‍රියත්වය, අනුකම්පාව මිස ඡන්දය ලබා දීමේදී දක්ෂතාව, අවංකම සැලකිල්ලට නොගන්නා ඡන්ද දායකයන් වෙසෙන කලාපයක් ලෙසද දකුණු ආසියාව හඳුනාගත හැකිය. ඉන්දියාව මේ ලක්ෂණවල ප්‍රධාන නියෝජිතයාද වෙයි. අප රට ඇතුළු කලාපයේ සෙසු රටවලට ආදේශ වන්නේ එහි ඇතැම් ලක්ෂණ පමණි.

ඉන්දීය දේශපලනයද තට්ටු මාරු දේශපාලනයකි. ත්‍රීවීල් පක්ෂවල සහායෙන් සභාග පිහිටුවා ගැනීම අද වන විට සුලබ වී තිබුණද ඉන්දියාවේ ද වරින් වර බලයට පත් වන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් පමණි. ඒ භාරතීය ජනතා පක්ෂය හෙවත් බීජේපී ය සහ ඉන්දියානු ජාතික කොංග්‍රසයයි. එහෙත් මේ පක්ෂ දෙකටම පොදු කරුණ වී ඇත්තේ වරින් වර අවස්ථා ගණනාවකදී රට පාලනය කළද රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට මේ පක්ෂ දෙකම අසමත් වී තිබීමයි.

මෙවර අප්‍රේල් 11 වැනි දින ආරම්භ වන මහා මැතිවරණය අදියර හතකින් පැවැත්වීමට නියමතය. එය අවසන් වීමට නියමිත වී ඇත්තේ මැයි 19 වැනි දාය. ඉන්පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමට නියමිත අතර මැයි 23 වන දින සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට නියමිතය. මෙහිදී ආසන 543ක් සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගන්නා අතර වැඩිම ආසන සංඛ්‍යාව හිමි කරගන්නා පක්ෂයේ ප්‍රධානියා අගමැති ලෙස ආණ්ඩුව පිහිටවනු ඇත.

ඉදිරියේදී හදිසි වෙනසක් සිදු නොවුණහොත් බීජේපීයේ අගමැති අපේක්ෂකයා වනු ඇත්තේ වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය. මෝදි 2014 වසරේදී බලයට පැමිණෙන්නේ අති විශාල ජනතා ආකර්ෂණයක්ද සමඟිනි. ඒ ආකර්ෂණය හේතුවෙන් වසර දහයක කොංග්‍රස් පාලනය පෙරළා දැමීමටද මෝදිට හැකියාව ලැබිණි. තමා බලයට පත් වූ පසු ‘ඉන්දියාවේ පෙනුම වෙනස් කරන බව‘ මෝදි ඡන්ද පොරොන්දු අතර පවසා සිටියේය.

එහෙත් ඔහුගේ ධුර කාලය ගෙවී යෑමට මාසයක් පමණක් ඉතිරිව තිබුණද ඉන්දියාවේ පෙනුම තවමත් එසේමය. යළිත් දෙවැනි ධුර කාලයක් සඳහා බලය ඉල්ලීමට මෝදිට ආවේගශීලී සටන් පාඨ නැති තරම්ය. එබැවින් නැති යුද්ධ අවුලා ගනිමින් පකිස්තානයට එරෙහිව ජාති ආලයෙන් මත් වන ප්‍රකාශයන් කරමින් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට කළ බාල උත්සාහයන් පසුගිය දිනවල දක්නට ලැබිණ. මේ සිදුවීම් මාලාවේ එක් අවස්ථාවකදී උද්වේගකර කතාවක් පවත්වමින් මෝදි මෙසේ පවසා සිටියේය.

“(පසුගිය ආණ්ඩු කාලයේදී) අපේ සොල්දාදුවන් කෙතරම් මිය ගියත් ගණනකට ගත්තේ නැහැ. (ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන්) ඒ වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේත් නැහැ. ඒත් දැන් කිසිවකුටත් අප දෙස කෙළින් බැලීමට හෝ හැකියාවක් නැහැ. මේ රජය පත් වී ඇත්තේ තීරණ ගැනීමට. නව ඉන්දියාව බියෙන් තොරයි, ධෛර්වන්තයි, ස්ථිරසාරයි.“

මේ හදිසි ‘නව ඉන්දියාව‘ කෙසේ පහළ වූවාදැයි ඉන්දියානුවන්ම පුදුමයට පත් වනු නිසැකය. එවැනි ප්‍රකාශ හේතුවෙන් මෝදිට ඡන්ද වැඩි වනවා නම් ඒ ඉතා සුළුතරයක් විය යුතුය. ඒ මන්ද යත් ඉන්දියාවේ ගිනිගෙන දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට මෝදිටද තම ධුර කාලය තුළ හැකියාවක් නොලැබුණු බව පෙනී යෑම හේතුවෙනි.

ඉන්දියාවේ දිනෙන් දින වර්ධනය වන විරැකියාවට නිසි පිළිතුරු ලබා දීමට වසර ගණනාවක සිට ප්‍රධාන පක්ෂ දෙකේම ආණ්ඩු අසමත් වී තිබේ. මෝදිගේ ආණ්ඩුව අයත් වන්නේද ඒ ගොඩටය. එපමණක්ද නොව මේ වන විට ණය බරින් පීඩිත වූ ඉන්දියානු ගොවි ජනතාව තම පීඩනය දරාගත නොහැකිව රජයට එරෙහිව බලපෑම් කරන තැන දක්වා පැමිණ සිටිති. ඉන්දියවේදී ජාති මාමක කතා පැවසීමෙන් මෙවැනි ජනතාවගේ සිත් වසඟ කළ හැකි වුවද එය නිවී ගිය යුද උණුසුම හමුවේ කොතෙක් ඵලදායී වේදැයි සැක සහිතය. ඇතැම් විට පකිස්තානයෙන් වඩා උණුසුම් ප්‍රතිචාර ලැබී තරමක් දුරට හෝ සටනක් ඇවිළී ගියා නම් වාතාවරණය මීට වඩා වෙනස් වීමට වුවද ඉඩ ඇත.

අනෙක් අතට පසුගිය දෙසැම්බරයේදී පැවති අතුරු මැතිවරණයෙන් ඉන්දියාවේ අනාගත ආණ්ඩුව තීරණය කරන්නේ යැයි සැලකෙන ප්‍රධාන ප්‍රාන්ත තුනක්ම දිනාගැනීමට කොංග්‍රසයට හැකියාව ලැබිණි. මෝදි මැතිවරණයට මුහුණ දෙන්නේ එවැනි වාතවරණයක් මධ්‍යයේය.

මෝදිගේ විරුද්ධවාදියා වන රාහුල් ගාන්ධිගේ පාර්ශ්වයෙන් කරුණු සලකා බලන්නේ නම් රාහුල් කොංග්‍රස්යේ නායකත්වයට පත් වන්නේ 2017 වසරේ දෙසැම්බර් 11වැනිදා සිටය. කොංග්‍රසයේ ඇති ජනතා ආකර්ෂණය වන්නේ වරින් වර මෙලෙස අඹරට පායා එන ගාන්ධි පවුලේ තරුය. සලකා බලන විට නිදහසින් පසු ඉන්දියාව වැඩිම කලක් පාලනය කරනු ලැබ ඇත්තේද කොංග්‍රසය විසිනි. රජීව් ගාන්ධිගෙන් පසු කොංග්‍රසය හොදා පාළු වී ගිය කළ ඔහුගේ බිරිය සෝනියා ගාන්ධි තම නිහඬ ජීවන රටාව අමතක කර දමමින් 2004දී ඉතා ආකර්ෂණීය ලෙස දේශපාලනයට පිවිසියාය.

ඇය වඩාත් විශ්වාසදායී දේශපාලන නායකත්වයක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට ඇය සමත් වූයේ පක්ෂ නායකත්වය පමණක් දරමින් රටේ නායකත්වය කොංග්‍රසයේ පරිණත දේශපාලනඥයකු වූ මන්මෝහන් සිංට පිරිනමමිනි. අනෙක් අතට ඉන්දීය ඡන්ද දායකයෝ වරින් වර එලෙස මතු වන ආකර්ෂණීය දේශපාලන නායකත්වයන්ට ඉත සිතින් බැඳෙන්නෝය. විශ්වාස කරන්නෝය.

එමෙන්ම එවර සෝනියාට ජයග්‍රහණය වඩාත් පහසු වීමට වජ්පායීගේ දීර්ඝ කාලීන පාලනයද හේතු වන්නට ඇත. බීජේපීයේ වජ්පායි පාලනය යටතේ 2004 වන රටේ විරුකියාව අහස උසට ඉහළ ගොස් තිබිණි. ඔහු ඉදිරිපත් කළ ‘ඉන්දියාව දිලිසෙයි‘ ( India Shining) ව්‍යාපාරය සහමුලින්ම අසාර්ථක වී තිබූ අතර කොංග්‍රසටය රට බාර දී යනු හැර විකල්පයක් එවර බීජේපියට තිබුණේ නැත.

එමෙන්ම 2014දී සිදු වූයේද මේ තට්ටු මාරුවමය. කොංග්‍රසය වසර දහයක් රට පාලනය කර අවසන් වන විට යළිත් විරැකියාව ඇතුළු රටේ ප්‍රශ්නවලට විසඳුම් ඔවුන් සතුව නොවීය. 2014දී මෝදි බාර ගන්නේ එවැනි ඉන්දියාවකි. දැන් යළිත් ජනතාව මෝදිටද පිටුපාන බවක් පෙනී යන්නේ පසුගිය දෙසැම්බරයේ පැවති ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල හේතුවෙනි. මෝදිගේ යුද වෑයමෙනි. කෙසේ වුවද ඒ බව මෙවර මැතිවරණයෙන් පසු තහවුරු කරගත හැකි වනු ඇත.

රාහුල් ගාන්ධි මෙවර කොංග්‍රසයට පායා ඇති තරුවය. සැබවින්ම ඔහු සතු වන්නේ හින්දි නළුවකු සතු පෙනුමකි. උගත්කම, බුද්ධිමත්කම, පවුල් පසුබිම සමග දේශපාලනය ඇති නෑකම, ඒ සමගම බැඳී පවතින දේශපාලන පරිණත බව යනාදී මේ සියල්ල රාහුල් ගාන්ධිට සාධාරණ වෙයි. එවැනි ආකර්ෂණීය චරිත වටා ඉක්මනින් රොක් වීම ඉන්දීය ජනතාවගේ පුරුද්දකි.

කෙසේ වුවද දැනට පළ වී ඇති මත අනුව පක්ෂ දෙකටම බහුතර බලය පෙන්වීමට සුළු පක්ෂවල සහය පැතීමට සිදු වනු ඇත.

දැවැන්ත ජනගහණය හේතුවෙන් රට අභ්‍යන්තරයේ දැවෙන ප්‍රශ්න පැවතියද සැබවින්ම ඉන්දියාව චීනයට, අමෙරිකාවට වුවද තර්ජනයක් එල්ල කළ හැකි ප්‍රබල රටකි. එබැවින් මේ ප්‍රබල රටේ පාලකයා තීරණාත්මක වන්නේ අසල්වැසි අපට පමණක් නොවන බව සිහි තබාගත යුතුය. ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ දෙකම ධනවාදී ධාරාවක ගමන් කළද පොදු පිළිගැනීම වන්නේ බීජේපීය වඩාත් ඇමරිකානු හිතවාදී බවත් කොංග්‍රසය වමට බර බවත්ය. එබැවින් ඉන්දීය දේශපාලන පොර පිටියේ විදේශ රූකඩ නටවන්නන්ද යටි පෙළේ ක්‍රියාත්මක නොවේ යැයි සිතිය නොහැකිය.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages