වස­ර­කට වරක් පාරේ දුවන අපේ ‘ඔස්ටින්ලා’ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

වස­ර­කට වරක් පාරේ දුවන අපේ ‘ඔස්ටින්ලා’

16 මාර්තු, 2019

ලයි­සන් කරපු නැති මේ වාහ­න­වල පොත්ටික ෆයිල් ටික විනාශ කරන්න, මෝටර් රථ කොම­සා­රිස් තුමා­ගෙන් අපූරු යෝජ­නා­වක් ඇවිත් තිබෙ­නවා. ලංකාවේ අවු­රුදු පණ­හට වැඩි කිසිදු ලිය­වි­ල්ලක් විනාශ කරන්න බැහැ කියා නීති­යක් තිබෙද්දි, අවු­රුදු 80 - 90 කට වැඩි පැරැණි මේ වාහ­න­ව­ලට අදාළ ලිය­විලි විනාශ කරන්න හදන්නෙ කොහො­මද? ඒක රටේ නීති­ය­ටත් පට­හැ­ණියි.

නිද­හසේ මහ­පාරේ දුව යන්න සවි ශක්තිය තිබු­ණත්, ඔවුන්ට වෙලා තියෙන්නෙ හැම­දාම වගේ මුළු ගැන්විලා ඉන්න.

ඒත් එහෙම නොවන එක දව­සක් අවු­රු­ද්දට සැර­යක් උදා­වෙ­නවා කියලා දැන් ඔවුන් දන්නවා.

ඒ, තමන්ගෙ අයි­ති­ක­රුවො එහෙ­මත් නැති­නම් පැරැණි කාර් හිමි­යන්ගේ සංග­මයේ (Vintage Car Owner’s Club) සාමා­ජි­කයො, තමන්ගෙ පැරැණි වාහ­නේට දක්වන අසී­මිත ආද­රය සහ සැල­කි­ල්ලත් ඒ වාහන පෙර­දැරි කර­ගෙන යන දුර ගම­නත් නිසා.

පසු­ගිය දිනෙක, කොළඹ නිද­හස් චතු­ර­ස්‍රයේ සිට අනු­රා­ධ­පු­රය දක්වා පැරැණි වාහන 22ක් ගමන් ඇරැ­ඹුවේ, මේ අවු­රු­ද්දට යොදා­ගත් ඒ දුර ගමන යන්න.

ඔස්ටින්... බේබි ඔස්ටින්... බෝට් ටේල්... වොක්ස්වෝල්... ස්ටෑන්ඩර්ඩ්... වූල්ස්ලි සහ කොල්ලෑව හෙවත් කර­ත්තය සහිත B.SA - M21 බ්‍රිතාන්‍ය යුද හමු­දා­වට අයත්ව තිබූ මෝටර් සයි­ක­ල­යත් ඒ වෙනු­වෙන් පෙළ­ගැ­හුණේ, සිය වාහ­නය වගේ ම, සතු­ටයි ආඩ­ම්බ­ර­යත් පෙරටු කරන්.

Vcoc හෙවත් Vintage Car Owner’s Club අවු­රු­ද්දක් පාසා සංවි­ධා­නය කරන මේ රැලි­යට සහ­භාගි වෙන්න ඔවුන් සූදා­නම් වෙන්නෙ කලක පටන්.

රටේ කොතැ­නක හරි කවුරු කවුරු හරි ළඟ සැඟ­විලා සුරැ­කිලා තව­මත් ආර­ක්ෂි­තව ඉන්න මෙවැනි පැරැණි කාර් එළි­යට ගන්න, මේ සංග­මයේ සභා­පති, නීල් ප්‍රනාන්දු සමඟ වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා ඇතුළු සංග­මයේ ජ්‍යෙෂ්ඨ­යන් මහා වෙහෙ­සක් දර­නවා. ආසාව උව­ම­නාව තිබු­ණත් මේ බොහෝ අයට එළි­පෙ­හෙ­ළි­යට එන්න බැරි ප්‍රශ්න මහා ‍හුඟක් තියෙ­නවා, කියලයි ඔවුන් කියන්නේ.

“අවු­රුදු සිය­ය­කට වැඩි වය­සක් ඇති මේ ‍බොහෝ වාහන රැකුණේ අයි­ති­කා­රයො දෙතුන් දෙන­කුගෙ අතින් අත ගිහින්. ඒ විදි­යට කාලෙන් කාලෙට අතින් අතට යද්දි පොත් අස්ථා­න­ගත වෙනවා. මොකද, මේ සම­හර වාහ­න­වල අයි­ති­ක­රු­වන් මිය ගිහින් අවු­රුදු ගණ­නා­ව­කට පස්සෙයි, පවුලේ අය වාහනේ කාට හරි විකු­ණන්නෙ.

ආසාව තියෙන කෙනා ගත්තට, සම­හර විට වාහනේ පොත නැහැ. ඉතින්, රෙජි­ස්ට්‍රේ­ෂන් ප්‍රශ්න. ඊළ­ඟට රෙපෙ­යා­ර්ව­ලට යද්දි දැනුම තියෙන ටින්කර් බාස්ලා නැහැ. අම­තර කොටස් නැහැ. සම­හර දේ එංග­ල­න්ත­යෙන් ම ගේන්න ‍ඕනෙ. ටයර් එකක් ගෙවු­ණොත් ටයර් නැහැ. ගෙන්ව­න­කොට මිල අධි­කයි...”

ලස්ස­නට පේන, පෙළ ගැහිලා එකට යන­කොට මොකක්දෝ මහා අභි­මා­න­යක් හිතට දැනෙන මේ පැරැණි කාර්, මේ තරම් ප්‍රශ්න ගොඩ­කට මුහුණ පාලා තියෙන වග නම් කාට­වත් හිතෙන එකක් නැහැ. මොකද, කොළඹ සිට අනු­රා­ධ­පු­ර­යට යන­කල් ගමනේ, මේ පැරැණි කාර් දැක­ගන්න අත­ර­මග නැව­තී­ගෙන හුන් මහා සෙනඟ දක්වපු ප්‍රති­චාර නිසා. ඔවුන් පාරට ආවේ පවුල් පිටින්. පුංචි පැටව් කර­පි­න්නන්.

සතුට... විම­තිය... ආස්වා­දය... ඔවුන්ගෙ දෑස්වල පොදි­ක­නවා.

“අම්මෙ මේ කාර් කොහේද තියෙන්නෙ...”

“මේ අපේ රටේ තිබුණු ඒවද තාත්තේ...”

පුංචි කොලු­පැ­ට­වු­න්ටත් ප්‍රශ්න ගොඩයි.

තරුණ ගැටව් කාර් එක්ක, සෙල්ෆි ගහ­න්නත් පෙළ ගැහිලා. මේ තරම් දුර ගම­නක් එක දිගට යන්න, මේ සම­හර කාර්ව­ලට පුළු­ව­න්ක­මක් නැහැ. මහ­න්සිය ඔවු­න්ටත් දැනෙ­නවා. කිලෝ­මීටර දහ­යෙන්... විස්සෙන් තැන තැන නවත්වා ගිමන් හරින්න... රත්වූ එන්ජි­න්ව­ලට වතුර දමන්න මේ බොහෝ සාමා­ජි­ක­යන්ට සිද්ධ වුණේ ඒ නිසා.

1926 ට අයත් නීල් ප්‍රනාන්දු මහ­තාගේ නිල් පැහැ ඔස්ටින් සෙවන් වාහනේ සිට 1956 දක්වා අවු­රුදු 30ක පරා­ස­යක දිවෙන අති පැරැණි, එහෙත් ඉතා හොඳ ධාවන තත්වයේ කාර් මෙවර රැලිය හැඩ කළේ, විවිධ හැඩ­යෙන්. විවිධ මෝස්ත­ර­යෙන්. සම­හ­ර­විට ඡායා­රූ­ප­යක හෝ පිංතූ­ර­යක පම­ණක් දැක තිබූ මෙවැනි කාර්, එදා මහ පාරේ සිටි බොහෝ දෙනා හැබෑ­වට ම දුටු පළමු වතා­වත් මෙය­ වන්න ඇති.

එංග­ලන්තෙ වාහන හැදූ මුල් කාලෙ ම අපේ රට­ටත් ගෙන්වූ මේ බොහෝ වාහන, තව­මත් අයි­ති­ක­රුවො ළඟ ලංකාවෙ කොහෝ හරි තිබෙ­නවා. මේකෙන් මොන තරම් ඉති­හා­ස­යක් කියැ­වෙ­න­වද...

ඒකෙන් කියන්නේ, එහෙම ගෙන්වන්න තරම් සල්ලිය බාගෙ තිබූ ව්‍යාපා­රි­කයෝ ඒ කාලෙ අපේ රටෙත් හිටියා. කියන එක. තේ වතු, රබර් වතු හිමියෝ, රේන්ද මුද­ලාලි, වතු අධි­කාරි සුදු මහ­ත්වරු, ඒජ­න්ත­වරු... හුඟ දෙනෙක් පාවිච්චි කළේ මේ එංග­ලන්ත කාර්. කතා කරන්න පුළු­වන් නම්, මොන තරම් ඉති­හා­ස­යක් මේ පැරැණි කාර් ටික, අපිට කියා­විද...

ඒත් ඛේද­වා­ච­කය එය නෙවෙයි, හැම පැරැණි දේ ම සුර­කින අපේ රටේ, පුරා­වි­ද්‍යාව ඒ වෙනු­වෙන් ම කැපවන රටේ... එයින් දශ­ම­ය­ක් හෝ පැරැණි කාර් වෙනු­වෙන් නොක­රන එක.

“දැන් තියෙන ක්‍රමය අනුව ලියා­ප­දිං­චිය සහ වාර්ෂික බල­ප­ත්‍රය ලබා ගැනීම අපට විශාල ප්‍රශ්න­යක්. පව­තින තත්ත්වය තමයි, 1927 අවුරුද්දේ වාහ­නයකට පොත නැත්නම් 1927 ඉඳන් 2019 දක්වා ඒ මුළු කාල­යටම ලයි­සන් එකේ හිඟ මුදල් ගෙවන්න ඕනේ. එංග­ලන්තෙදි වාහනේ හද­න්න­වත් එහෙම මුද­ලක් යන්න නැතිව ඇති. අනික, එහෙම ගෙවන්න වෙන්නේ, පාරේ දුව­ලත් නැතිව. වතුවල ගරාජ්වල ඔහේ ගාල් කර තිබෙන මෙවැනි වාහන හාර පන්සි­ය­යක් පමණ තව­මත් ලංකාවෙ තියෙ­නවා. මේක රටේ අතී­ත­යට කරන මහා අප­රා­ධ­යක්.”

විදේ­ශි­ක­යන් මේ වගේ වාහන රැලි­ බලන්න හරි කැමැ­තියි. ඒ වුණත් අපේ විය­ද­මින් අපේ ඇ‍ඟේ උණට මේවා කරන්නෙ මහා ප්‍රශ්න ගොඩක් මැද්දේ, රට­කට අයිති වස්තු­වක් අපි මේ සුර­කින්නේ. ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්න­යට හරි පිළි­ය­මක් දෙන්න ඕනේ.

සංග­ම­යක් වශ­යෙන්, අපේ විනෝ­දාං­ශය කර­ගෙන ගියාට මේ වාහන ප්‍රකෘති තත්ව­යට ගන්න, අපි හැම කෙන­කුට ම අඩුම තරමේ පුද්ග­ල­යන් හත­ර­පස් දෙනෙක්වත් සේවයේ යෙදෙ­නවා. ටින්ක­රින් බාස් කෙනෙක්, පිංතා­රු­ක­රු­වෙක්, කුෂන්කරු­වෙක්, එන්ජින් බාස් කෙනෙක්... ඔය වගේ කිහි­ප­දෙ­නෙ­කුගේ සේවය ඕනේ. මේවා රැකියා අවස්ථා.

ඒ වගේම, සංචා­රක කර්මා­න්ත­යට විශාල ලෙස මේ පැරැණි කාර් දායක කර ගන්න පුළු­වන්. ඇයි මේවා බල­ධා­රින් නොහි­තන්නේ. ආණ්ඩු­වට කිසිදු විය­ද­මක් නොකර, අපේ උද­ව්වෙන් ම රටට මේ දේ කර­ගන්න ඔවුන්ට පුළු­වන්. දැන්වත් ඒ සඳහා ඔවුන් දෑස් ඇරිය යුතුයි.

“වාහන තාක්ෂ­ණය හදා­රන තරු­ණ­යන්ට පවා මේවා­යින් කොයි­ත­රම් දේ ඉගෙන ගන්න පුළු­වන්ද... මේ කාර් බොහො­ම­ය­කට ලයිට් නැහැ. ඉස්සර, භූමි­තෙල් සහ ගෑස් ලාම්පු තමයි දෙපැත්තෙ ලයිට් විදි­යට පාවිච්චි කළේ. ඊට පස්සෙ ඩයින‍මෝ තාක්ෂ­ණ­යට දියුණු කළා. බ්‍රේක් තිබුණේ, කේබල් බ්‍රේක් හැටි­යට. ඊට පස්සෙ හයි­ඩ්‍රො­ලික් බ්‍රේක් විදි­යට දියුණු කළා. ගියර් බොක්ස් වුණත් එහෙ­මයි. ඉලෙ­ක්ට්‍රික් කාර්, හයි­බ්‍රිඩ් කාර් පදින රටක තව ම මේ වගේ සරල තාක්ෂ­ණ­යෙන් දුවන කාර් ටිකක් තියෙ­නවා කියන්නේ, රටක් හැටි­යට මොන­ත­රම් වටිනා දෙයක්ද.

පරණ බිල්ඩින්, ඇණ­ය­ක්වත් ගහන්න දෙන්නෙ නැතිව, සුර­කින අ‍ෙප් රටේ මුද්ද­ර­ව­ලට, කෝච්චි­ව­ලට... තව මොන­වට ද කෞතු­කා­ගාර නැත්තේ.

ඒත්, මේ තරම් වාහන දුවන රටක, යුග­යක් එකලු කළ මහා ඉති­හා­ස­යක් දරා­ගෙන ඉන්න පැරැණි වාහ­න­ව­ලට කිසිම සැල­කී­මක් නැහැ.

ලයි­සන් කරපු නැති මේ වාහ­න­වල පොත්ටික ෆයිල් ටික විනාශ කරන්න, මෝටර් රථ කොම­සා­රිස් තුමා­ගෙන් අපූරු යෝජ­නා­වක් ඇවිත් තිබෙ­නවා. ලංකාවේ අවු­රුදු පණ­හට වැඩි කිසිදු ලිය­වි­ල්ලක් විනාශ කරන්න බැහැ කියලා. නීති­යක් තිබෙද්දිත්, අවු­රුදු 80 - 90 කට වැඩි පැරැණි මේ වාහ­න­ව­ලට අදාළ ලිය­කියවිලි විනාශ කරන්න හදන්නෙ කොහො­මද? ඒක ශ්‍රී ලංකාවේ නීති­ය­ටත් පට­හැ­ණියි. ඔහු දක්වන හේතුව තමයි, මේ ලිය­විලි සඳහා ඉඩ­කඩ යනවා කියන එක, ඔහුට එහෙම ප්‍රශ්න­යක් තිබෙ­නවා නම්, ඒවා CD තැටි­ තාක්ෂණයට අපේ විය­දමින් මාරු කර දෙන්නම්. CD ටිකක් තියා­ගන්න ඉඩ­ක­ඩක්, ඔය තරම් විශාල ආය­ත­න­යක ‍හොයාගන්න බැරි වෙන්නෙ නැහැනේ...”

වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා පව­සන්නේ, ඉති­හා­ස­යක වටි­නා­කම නොදන්නා නිල­ධා­රින්ගේ අම­නෝඥ ක්‍රියා නිසා මෙරට පැරැණි කාර් හිමි­යන් පත්ව ඇති බර­ප­තළ ගැටලු ගැන.

බල­පත්‍ර ගැනී­මත්, අයි­තිය මාරු කර ගැනී­මත් පහසු කර, පසු­ගිය විස්තර නැති වාහ­න­වල ලියා­ප­දිං­චිය නීත්‍යා­නු­කූල කර ගැනී­මත්, අම­තර කොටස් ගෙන්වී­මේදී යම් සහ­න­යක් ලබා ගැනී­මත් සඳහා සංග­ම­යක් වශ­යෙන් තමන් ඉදි­රි­පත් කර ඇති යෝජ­නා­ව­ලට ආණ්ඩුව කන් දෙන තුරු, ඔවුන් බොහෝ වෙර වෑය­මින් මේ සඳහා උත්සාහ දරයි.

මේ සඳහා උන­න්දු­වක් ඇති පර­ම්පරා දෙකක් මේ වන විටත් ඔවුන් බිහි­කර තිබීම ද විශේ­ෂ­ත්ව­යක් වන අතර, මේ රැලි­යට ද, ඒ තරුණ සහ නව යෞවන දරු­වන් සහ­භාගි වූයේ, ඒ බව හැබෑවක් කර­මින්.

සරල වාහන තාක්ෂ­ණ­යක සිට සංකීර්ණ තාක්ෂ­ණය දක්වා ආ ගම­නේ, තරුණ ඔවු­න්ටත් ගන්න දේ බොහෝ­මයි, කිය­ලයි නීල් මහතා පව­සන්නේ.

ඡායාරූප - රංජිත් අසංක



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages