මගේ ගමන වෙනස් කළේ දේශ­පා­ලන­ඥ­යෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-16

මගේ ගමන වෙනස් කළේ දේශ­පා­ලන­ඥ­යෙක්

16 මාර්තු, 2019
කැලි­ෆෝ­නි­යා­වට නීති සම්පා­ද­නය කරන අපේ නීති විශා­ර­දයා මහා­චාර්ය - කරු­ණා­රත්න හඟ­වත්ත

* මං දේශ­පා­ල­න­යට කැමති නෑ
* මගේ ගම හද්දා පිටිසර
* රසා­දරී හමු වුණේ කොහොමද?

කැලි­ෆෝ­ර්නි­යාව කාන්තාර දේශ­ගු­ණ­යක් පව­තින දැවැන්ත පාලන ප්‍රදේ­ශ­යකි. එහි කොට­සක් වෙන්වී ඇත්තේ නෙවාඩා කාන්තා­ර­ය­ටයි. නෙවාඩා කාන්තා­රයේ කවු­රුත් දන්නා අරුම පුදුම නග­ර­යක් තිබේ. එය සුපිරි ධන කුවේ­ර­යන් සැරි සරන අහස උසට නැඟුණු සමාජ ශාලා සහ කැසිනෝහල් ව­ලින් ගහන විනෝද නග­ර­යකි. ලාස් වේගාස් නග­ර­යට යාම සඳහා මා කැලි­ෆෝ­ර්නි­යාවේ සිට සැත­පුම් සිය ගණ­නක් නෙවාඩා කාන්තා­රය ඔස්සේ පැමි­ණියේ එක සුවි­ශේෂ ශ්‍රී ලාංකි­ක­යෙකු මුණ ගැසී­ම­ටය. ඔහු නීති විශා­ර­ද­යෙකි. මහා­චා­ර්ය­ව­ර­යෙකි. රාජ්‍ය තාන්ත්‍රි­ක­යෙකි. කලක් සිංහල සින­මාවේ ප්‍රකට නළු­වෙකි. හේ අන් කිසි­වකු නොව කරු­ණා­රත්න හඟ­ව­ත්තය. ලාස් වෙගාස් නග­ර­යට මඳක් ඔබ්බට වන්නට පිහිටි කුඩා නග­ර­යක ඔහු ජීවත් වෙයි. ඔහු මුණ ගැසී­මට මා ගිය­විට ඔහු එන­තුරු විසිත්ත කාම­රයේ අසුන් ගන්නැයි ඔහුගේ ප්‍රිය බිරිය රසා­දරී ෆොන්සේකා මහ­ත්මිය මට දැන්වූ­වාය. මඳක් පමා වූ මහා­චාර්ය හඟ­ව­ත්ත­යන්, දින­පතා උදෑ­සන දෙම­වු­පි­යන්ගේ සේයා­රූ­ව­ලට පහන් පුදා පින් දීමෙන් අන­තු­රුව දවස පටන් ගන්නා බව මට පව­සන විට ඒ මුහුණේ මා දුටුවේ අපූරු ප්‍රසන්න බවකි.

මහා­චාර්ය කරු­ණා­රත්න හඟ­වත්ත ඇමෙ­රි­කාවේ ලාස් වේගාස් නග­රයේ මොන­වද කරන්නෙ ?

මම ලාස් වේගාස් විශ්ව­වි­ද්‍යා­ල­යයේ අප­රාධ යුක්තිය පිළි­බඳ මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කර­නවා. ඒ අතර මේ රටේ නීති සම්පා­දන ක්ෂේත්‍ර­යට අවශ්‍ය දැනුම ලබා දෙනවා. වෙනත් විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ගොස් නීතිය පිළි­බඳ දේශන පව­ත්ව­නවා.

මේ සා දීර්ඝ ගම­නක ආර­ම්භය සිදු වු‍ණේ කොහො­මද ?

මං ඉප­දු‍ෙණ් කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ ගල්ග­මුවේ පිටි­සර ගමක. මගේ පියා ගම් සභා­ප­ති­ව­ර­යෙක්. කුඩා කාලයේ මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රා­ලයේ නේවා­සික සිසු­වකු ලෙස 8 පන්තිය දක්වා ඉගෙන ගත්තා. පස්සෙ කොළඹ ආන­න්ද­යට යව­න්නට සුදා­නම් වෙමින් ඉන්න මොහොතේ එකල අපේ ප්‍රදේ­ශයේ මන්ත්‍රී යූ. බී. වන්නි­නා­යක මහතා මගේ පියා හමු­ව­න්නට අපේ ගෙදර ආවා. ඔහු ආපසු ගියේ මගේ ඇඳුම් පැළ­ඳුම් සහිත පෙට්ටි­යක් සමඟ මා ඔහුගේ මෝටර් රථයේ දමා­ගෙන. එතුමා පාල­නා­ධි­කාරී තන­තුර දැරූ කුරු­ණෑ­ගල මලි­ය­දේ­ව­යට මා ඇතු­ළත් කළා. මගේ ගමන වෙනස් වුණේ එතැ­නින්. මං මලි­ය­දේ­ව­යෙන් පිට වුණේ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ නීති පීඨ­යට ඇතු­ළත් වීම සඳ­හායි. ඒ කාලයේ කොළ­ඹින් පිට පාස­ල්ව­ලින් නීති පීඨ­යට ආවේ කිහි­ප­දෙ­නයි. නමුත් මගේ පියාට අවශ්‍ය වුණේ මාව දේශ­පා­ල­න­ඥ­යෙක් කරන්න. සමාජ සේව­යට මම කැමති වුණත් දේශ­පා­ල­න­යට කැමති නෑ. නීති­ඥ­යෙක් වුණාට පස්සෙ අධි­ක­රණ අමා­ත්‍යං­ශයේ සහ­කාර නීති පර්යේ­ෂණ නිල­ධා­රි­යකු ලෙස පත් වුණා. ඒ සඳහා සම්මුඛ පරී­ක්ෂ­න­යට යන විට මට කොටින්ම ටයි එකක් කෝට් එකක් වත් නෑ. මට පෙර පරී­ක්ෂ­ණ­යට මුහුණ දුන් මිත්‍ර­යෙ­කුගේ ටයි එක සහ කෝට් එක ඇඳ­ගෙන තමා මම ගියෙ. එතැ­නින් පටන් ගත් ගමන නැව­තුණේ අධි­ක­රණ අමා­ත්‍යං­ශයේ ලේකම් වරයා බවට පත්වී­මෙන්.

කොහො­මද ඇමෙ­රි­කා­වට සංක්‍ර­ම­ණය වුණේ ?

1978 දී මට ජපා­න­යේදී හමු වුණා ලෝ ප්‍රකට නීති විශා­ර­ද­යකු වූ ලෙස්ලි විල්කින්ස්. ඔහු මට ඇමෙ­රි­කා­වට ඇවිත් PhD උපා­ධිය කරන්න කියල කිව්වා. මම අවු­රුදු 8 ක් අධි­ක­රණ අමා­ත්‍යං­ශයේ සේවය කළා. නිද­හස් අධ්‍යා­ප­නයේ ණය මම ගෙවල ඉව­රයි කියල හිතුවා. මට දැනුම වැඩි කර ගන්නත් ඕනෑ­ක­මක් තිබුණා. 1980 දී ඇමෙ­රි­කා­වට එන්න තීර­ණය කළා. එත­කොට මට වයස අවු­රුදු 29ක් විතර ඇති.

එක­ව­රම නුහුරු නුපු­රුදු රටක ඉගෙන ගන්න ආවම අප­හසු වුණේ නැද්ද ?

නෑදෑ­යෙක් හිත­වෙ­තෙක් නැති රටක, හිම වැටෙන සීත ප්‍රදේ­ශ­යක පොඩි රැකි­යා­ව­කුත් කරන අතර PhD එකට ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ. ඒ අතර අපට දුවෙ­කුත් ලැබුණ. හැබැයි මට දෙවෙනි වාරයේ ඉඳල ශිෂ්‍යත්ව ලැබුණා. සාමා­න්‍ය­යෙන් අවු­රදු 7 ක් විතර MA සහ PhD සඳහා අධ්‍ය­ය­නය කරන්න අව­ශ්‍යයි. මම උදේ හවස මහන්සි වෙලා නිදි වරා­ගෙන පාඩම් කරල ඒ දෙකම අවු­රුදු තුන­හ­මා­රෙන් ඉවර කළා. එය වාර්තා­වක්. මා හැර තවත් දෙදෙ­නෙක් පම­ණයි ඒ වාර්තා­වට හිමි­කම් කියන්නෙ.

ජාත්‍ය­න්තර සමා­ග­ම්වල අප­රාධ පිළි­බඳ තමයි මගේ පර්යේ­ෂණ නිබ­න්ධ­නය ලිය­වුණේ. ඒ නිබ­න්ධ­නය අපේ විශ්ව­වි­ද්‍යා­ලයේ සෑම අංශ­ය­කින්ම හොඳම නිබ­න්ධ­නය බවට පත් වුණා. සෑම වාර­ය­කම සියලු විෂ­යන් සඳහා, ඉහළ ලකුණු නිසා මට ලැබුණු phd උපා­ධිය විශිෂ්ට සාමා­ර්ථය සමඟ තමා ලැබුණේ.

මම ඒ ටික කිව්වෙ, ඈත පිටි­සර ගල්ග­මුවේ ඉඳල ආව මට ඒ දක්ෂ­කම කරන්න පුළු­වන් නම්, අද තරුණ දරු­වන්ට එවැනි අභි­යෝ­ග­ය­කට මුහුණ දෙන්න පුළු­වන්.

මේ විභාග ඉහ­ළින්ම සමත් වුණාට පස්සෙ මොකද වු‍ණේ?

ඕස්ට්‍රේ­ලි­යාව, සිංග­ප්පු­රුව වගේ රට­වල් වල විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් ඒවායේ නීති අංශ භාර ගන්න කියල ඉල්ලීම් ආවා. එහෙත් මම හිටපු ලාස් වේගාස් විශ්ව­වි­ද්‍යා­ල­යේම මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කරන්න තීර­ණය කළා. ත්‍රස්ත­වා­දය පිළි­බඳ නීති­මය තත්ත්ව­යන් ගැනත් මගේ අව­ධා­නය යොමු වුණා.

මේ දැනු­මෙන් ඔබ ලංකා­වට මොන­වද කළේ ?

විශේ­ෂ­යෙන්ම ත්‍රස්ත­වා­දය පිළි­බඳ මම අධ්‍ය­ය­නය කළේ ලංකාව වෙනු­වෙන්.

කිහිප අව­ස්ථා­ව­කදී ශ්‍රී ලංකාවේ රජ­යට ඒ සම්බන්ධ අවශ්‍ය උප­දෙස් ලබා දෙන්න­ටත් මං ඉදි­රි­පත් වුණා. වරක් ජනා­ධි­පති කොමි­සමේ සභා­පති ධුරය භාර­ගෙන කට­යුතු කළා. රට වෙනු­වෙන් විදේශ තානා­පති සේවයේ නියැ­ළුණා.

හැබැයි මේ සිය­ල්ලම අතර ඔබ ලංකාවේ සින­මා­වට අසා­ධා­ර­ණ­යක් කළා කියල මට හිතෙ­නවා? ඔබ තිලක හා තිලකා, ආශා දෑසින්, උතු­මා­ණනි, සරුං­ගලේ වැනි චිත්‍ර­පට රාශි­යක රඟපෑ දක්ෂ චරි­තාංග නළු­වෙක්. ඔබ අපේ සින­මා­වට හොඳ නළු­වකු අහිමි කළා පම­ණක් නොවෙයි සිනමා නිළි­යෙ­කුත් අපේ සින­මා­වට අහිමි කළා. ඔබේ සිනමා ජීවි­තය ඇර­ඹුණේ කොහො­මද?

වේදි­කා­වට තමයි මුලින්ම ආවේ. නීති කට­යු­ත්ත­කට ආව නාමෙල් වීර­මුනි මහතා මාව බල­හ­ත්කා­ර­යෙන්ම වගේ වන්ස­ක්කා­රයෝ කියන නාට්‍ය­යක ප්‍රධාන චරි­ත­ය­කට ගත්තා. ඒකට හොඳ ප්‍රති­චාර තිබුණා. ඒ නාට්‍ය දැකල අම­ර­නාත් ජය­ති­ලක සහ ධර්ම­සිරි ගමගේ මහ­ත්ව­රුන් මා හමු­වෙන්න ආවා. ඇවිත් ටී බී ඉලං­ග­රත්න මහ­තාගේ තිලක හා තිලකා චිත්‍ර­ප­ටයේ ප්‍රධාන චරි­ත­යට මාව ගත්තා. ඒ චිත්‍ර­ප­ටය සමඟ දිල්ලි සිනමා උළෙ­ලට ගිය වෙලේ ගාමිණි ෆොන්සේකා හමු වුණා. අම­ල්බිසෝ, උතු­මා­ණනි හා සරුං­ගලේ වැනි චිත්‍ර­පට එහි ප්‍රති­ප­ල­යක්.

කොහො­මද එත­කොට රසා­ද­රීව හමු වුණේ?

තිලක හා තිලකා චිත්‍ර­ප­ටයේ සහාය චරි­ත­යක ඇය මගේ නෑනා ලෙස රඟ­පෑවා. අපේ සම්බ­න්ධය පටන් ගත්තේ එතැ­නින්. පසුව ලංකා­වෙන් එන්න සති තුනක් තියෙද්දි අප විවාහ වෙලා ඇමෙ­රි­කා­වට ආවා. ඒ එන අව­ස්ථා­වෙත් චිත්‍ර­පට කිහි­ප­යක්ම අත­හ­රින්න සිදු වුණා. අපට දැන් වැඩි මහල් වූ දු පුතුන් තුන්දෙ­නෙක් ඉන්නවා.

ජාත්‍ය­න්ත­රය පිළි­ගත් නීති විශා­ර­ද­යකු ලෙස අපේ රටේ නීති ක්ෂේත්‍රය පිළි­බ­ඳ­ඔබේ ඔබගේ අද­හස කුමක්ද?

මම ඉතාම කන­ගා­ටු­වෙ­නවා. ලංකාවේ නීති ක්ෂේත්‍රය සාපේ­ක්ෂව දියුණු වුණේ නෑ. එ්කට හේතුව අපේ නීති අධ්‍යා­ප­නය නොදි­යුණු මට්ට­මක තිබී­මයි. ලෝකයේ නීති ක්ෂේත්‍රය දියුණු වෙද්දී අපේ නීති­වේ­දීන් තව­මත් ඉතා සරල බොළඳ මට්ට­මක ඉන්නේ. අධි­ක­ර­ණයේ ගුණා­ත්මක මට්ටම තීර­ණය වන්නේ නීති­වේ­දීන්ගේ ගුණා­ත්මක මට්ටම අනු­වය කියල පිළි­ගැ­නී­මක් තියෙ­නවා. එහෙත් අපේ නීතිය වගන්ති සහ පොත් පත්ව­ලට සීමා වෙලා. නීති අර්ථ­ක­ථ­නය ඉදි­රි­යට ඇවිත් නෑ.

අනෙක් අතට බලන්න අපේ රටේ නීති හදන්නෙ කවුද? පාර්ලි­මේ­න්තුව. ඔවුන්ට නීති ගැන තියෙන දැනුම මොකද්ද? තමන්ගේ පක්ෂයේ නම් අත ඉස්සුවා. අනෙක් පක්ෂේ නම් විරුද්ධ වුණා. මේක විහිළු සහ­ගත තත්ත්ව­යක්.

මහා­චාර්ය කරු­ණා­රත්න හඟ­වත්ත වර්ත­මා­නයේ අපේ ළමා වියේ අප දුටු කඩ­ව­සම් සිනමා පෙම්ව­තා­ගෙන් මිදී වඩා බැරෑ­රුම් ගෞර­ව­නීය භූමි­කා­වක් නිරු­ප­ණය කර­මින් සිටී. එහෙත් ඔහුගේ ප්‍රිය­ම­නාප පෙනුම එලෙ­ස­මය. රස කථා කිය­න්න­ටත්, හඬ නඟා සිනා­සෙ­න්න­ටත් විටෙක සංවේ­දීව හැඬු­ම්බර වන්න­ටත් හැකි ඔහුගේ ඇසුර සැබ­වින්ම ප්‍රස­න්නය.

විශේෂ ස්තුතිය - කුමාරි පණ්ඩි­ත­රත්න

නාරද විජ­ය­සූ­රිය
ජායා­රූප - අනින්ද සම­ර­සේන



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages