හරිත වැලි තොටුපළ සංකල්පයෙන් පිබිදෙන නීල හරිත ගං දෑල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

හරිත වැලි තොටුපළ සංකල්පයෙන් පිබිදෙන නීල හරිත ගං දෑල

පාරිසරික අභියෝගයන්ට මුහුණදෙමින් තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා ජනතාව ඉමහත් ප්‍රයත්නයක් දරන වත්මන් ලෝකය තුළ එකී කාලින අවශ්‍යතාවන්ට අනුකූලව පරිසරය සම්බන්ධයෙන් නව නීතිරීති හා ප්‍රතිපත්තීන් රැසකට මුලපිරීමට පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ වන විටත් පියවර රාශියක් ගෙන ඇත.

එහි එක් සංධිස්ථානයක් වූ ජූනි මසට යෙදී තිබූ ලෝක පරිසර දිනයට සමගාමීව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය මඟින් පඟරගම්මන දී නවමු පාරිසරික වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. මේ සඳහා සහභාගී වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා මේ ව්‍යාපෘතිය දීපව්‍යාප්තව කි‍්‍රයාවට නැංවිය යුතු කාලීන වැදගත්කමක් සහිත වැඩපිළිවෙළක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘‘වනරෝපා’’ ව්‍යාපෘතියට සමගාමීව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඒ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් තිබූ ‘‘ජල නිම්න හරිත අරණ වැඩසටහන’’ මූලික කරගනිමින් එම නවමු ව්‍යාපෘතිය ද අරඹන ලදී. මේ වන විට රට පුරා ක්‍රියාත්මකව ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති ‘‘හරිත වැලි තොටුපළ’’ වැඩසටහනේ ආරම්භය එය යි.

ගෙවී ගිය මාස කිහිපය තුළ බොහෝ සමාජ, ආර්ථික හා පාරිසරික අර්බුදයන් රාශියකට තුඩුදුන් අවිධිමත් වැලි කැණීම් කටයුතු පරිසරයට අවම හානියක් වන පරිදි විධිමත් ආකාරයෙන් සිදුකිරීමට අවශ්‍ය නියාමන කි‍්‍රයාවලියක් මෙමඟින් කරළියට පැමිණ ඇත. මන්ද, විවිධ දේශගුණික විපර්යාස හේතුවෙන් මෑතකාලීනව ශී‍්‍ර ලංකාව දැඩි සේ බලපෑමට ලක් වූ බැවින් අප රටේ පරිසර පද්ධතිය සුරැකීම සඳහා දිගුකාලීන කි‍්‍රයාන්විතයක් අවශ්‍ය වන බව විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දුන්න ද එය ප්‍රායෝගික ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට කිසිවකුත් සමත් නොවූ බැවිනි. මෙහිදී මූලික වශයෙන් අපේක්ෂා කෙරෙන්නේ වැලි කැණීමේ නිරත වන ප්‍රජාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම තුළින් ස්වභාවධර්මයේ පැවැත්ම තහවුරු කරගැනීම යි. ඒ සඳහා යම් ප්‍රතිපත්තිමය නියාමන ක්‍රමවේදයක් හරිත වැලි තොටුපළ සංකල්පය මඟින් හඳුන්වා දෙන අතර ජල මූලාශ්‍ර ආශි‍්‍රත පරිසර පද්ධතිය විද්‍යානුකූලව පවත්වාගෙන යාම සහ වැලි කැණීම් හේතුවෙන් විනාශ වූ පරිසර පද්ධති යළි ප්‍රතිනිර්මාණය කිරීමට ද බලාපොරොත්තු වේ.

ජල මූලාශ්‍ර ආශ්‍රිතව වැලි ගොඩදැමීම සිය ජීවනෝපාය කරගනිමින් දිවිසරි කරගන්නා ජනතාවට මේ කාර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණදීමට සිදුවන විවිධාකාර අර්බුදයන්ට පිළියමක් මෙන්ම අනාගත පාරිසරික සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට හඳුන්වාදුන් ඉතාමත් කාලෝචිත මෙන්ම සාර්ථක වැඩපිළිවෙළක් ලෙස මේ හරිත වැලි තොටුපළ වැඩසටහන හඳුන්වා දිය හැකි ය. එසේම රටේ වගකිව යුතු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ද පරිසර හිතකාමී සංරක්ෂණ ක්‍රමවේදයන්ට මුලපිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් ඇරඹූ මේ හරිත සංග්‍රාමය නියත වශයෙන් ම ආදර්ශයක් වනු ඇත.

අවිධිමත් හා අනවසර වැලි ගොඩදැමීම් මඟින් සිදුවන ගංගා ඉවුරු ඛාදනය හේතු කොටගෙන එකී සංවේදී පරිසර පද්ධති ආශි‍්‍රතව ඇති වෘක්ෂලතා විනාශ වීම, ජලයට රොන්මඩ එකතු වීම, සුළු වර්ෂාපතනයක දී ගංවතුර තත්ත්ව ඇති වීම ආදී කරුණුවලට විසඳුම් දෙන සාර්ථක දිගුකාලීන ක්‍රියාන්විතයක් ලෙස මේ හරිත වැලි තොටුපළ සංකල්පය ප්‍රායෝගික යථාර්ථයක් කරනු වස් තරඟකාරී ස්වභාවයකින් පැවැත්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ගත් ඉතාමත් ප්‍රශස්ත තීරණයක් ලෙස මෙහිදී දැක්විය හැකි ය. ඒ අනුව එදිනෙදා පරිසරය හා ගැටෙමින් සිය ජීවිකාව ගැටගසාගන්නා වැලි බලපත්‍රලාභී ප්‍රජාවට පරිසරය හා බද්ධ වූ ජෛව විවිධත්ව පද්ධතිය සමඟ අන්‍යෙන්‍ය සහයෝගයෙන් සිදුකරන වැලි කැණීම් ක්‍රමයක් නිර්මාණය කිරීම අරමුණ වේ.

එහිදී රට පුරා ඇති වැලි තොටුපළවල් 5600ක් පමණකින් වැලි තොටුපොළවල් 3123ක් මේ තරඟය සඳහා ඇතුළත් වූ අතර ප්‍රාදේශීය කාර්යාල හරහා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය මත දිවයින පුරා වැඩමුළු පවත්වමින් මේ තරඟාවලිය සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කි‍්‍රයාත්මක වූයේ 2018 අගෝස්තු මාසයේ දී ය. කල්යත් ම වැලි කණින ප්‍රජාව මේ සඳහා මහත් උද්‍යෝගයකින් යුතුව සිය පවුලේ සියලු සාමාජිකයන් හා එක්ව සිය තොටුපළ හරිත පුරවරයක් කිරීමට කටයුතු කර ඇති බව මොනරාගල, රත්තපුරය, අම්පාර, අනුරාධපුරය, මහනුවර, කළුතර, බදුල්ල, වැනි දිස්ත්‍රික්කවල තොටුපළ නැරඹීමේ දී මනාව වැටහෙනු ඇත.

මූලික වශයෙන් වැලි මංකඩ සඳහා වන ප්‍රවේශ මාර්ගය උපරිම අඩි 03කට නොවැඩි වන සේ සැකසීම, ගංගාවට ට්‍රැක්ටර් හෝ යාන්ත්‍රික උපකරණ කිසිවක් ඇතුළු නොකිරීම, අනුමත කියුබ් ප්‍රමාණයට අනුව නිර්දේශිත බෝට්ටු හා සේවක ප්‍රමාණයක් වැලි කැණීම සඳහා යොදාගැනීම, ආක්‍රමණශීලී ශාක ඉවත්කර යෝග්‍ය ශාක වර්ග ගං ඉවුරු අවට රෝපණය කිරීම, පවතින ශාක සංරක්ෂණයට කටයුතු කිරීම, නොදිරන ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමෙන් වැළකීම මෙන්ම පරිසර සුරක්ෂිතතාව සහ සමාජ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ආකාරය ආදී වශයෙන් විවිධ නිර්ණායකයන් යටතේ මේ තරඟය සඳහා ලකුණු ලබාදීමට කටයුතු කර ඇත.

පුරා මාස 06ක් මුළුල්ලේ මේ තරඟාවලියේ අධීක්ෂණ කටයුතු අදියර තුනකින් යුක්තව සිදුකර ඇති අතර ඒ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී ආයතනවල නිලධාරීන් සහභාගී වී ඇත. එහිදී අවසන් වටය සඳහා වැලි තොටුපොළවල් 101ක් සුදුසුකම් ලබා ඇති අතර තරඟයේ විනිවිදභාවය සුරැකීම සඳහා භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය එහි අධීක්ෂණ කටයුතුවලින් ඉවත් වී ඒ වෙනුවට ජනාධිපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ ආයතන නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනීමට කටයුතු කර ඇත. එහි ප්‍රතිඵල මත ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම, දෙවැනි හා තෙවැනි ආදී වශයෙන් හොඳ ම වැලි තොටුපළ තෝරාපත්කර ගනු ලබන අතර කැපවීමෙන් යුතුව කි‍්‍රයා කළ හොඳ ම ක්ෂේත්‍ර නිලධාරියාට ද වටිනා ත්‍යාග ලබාදෙනු ඇත. මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය මේ මස 18 වැනි දින ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සංකල්පය ඉදිරියේ දී ගල් හා පස් කැණීම් සඳහා ද ගී‍්‍රන් කොරී සංකල්පය යටතේ නවමු මුහුණුවරකින් හඳුන්වාදීමට බලාපොරොත්තු වේ. ඒ මඟින් ජල පෝෂිත ප්‍රදේශ අවසානයේ නීල හරිත ගං දෑලක් බවට පරිවර්තනය වනු දැකීම අපේ ප්‍රාර්ථනය යි.

මනුෂ්කා ප්‍රේමරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages