පිටරට යවා තිබෙන කළු සල්ලිවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු සිදුවෙනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-03-15

පිටරට යවා තිබෙන කළු සල්ලිවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු සිදුවෙනවා

සමහර උදවියගේ කළු සල්ලි විශාල වශයෙන් පිටරටවල තිබෙන බවට අනාවරණය වී තිබෙන නිසා ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් කටයුතු සිදුවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

රටවල් අතර සම්මුති, ගිවිසුම්, එකඟතා තිබෙන බැවින් රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධතාවයකින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ඇමැතිනි නීතිඥ අතුකෝරළ මහත්මිය කළු සල්ලිවලට අදාළව සිදුකරගත යුතු වැඩිදුර අනාවරණය කර ගැනීම් හා ගැටලු කීපයක් නිරාකරණය කර ගැනීමට විදේශ අමාත්‍යාංශය කැපවීමෙන් දැඩි උත්සාහයක නිරතව සිටින බවත් ප්‍රකාශ කළාය.

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (14) කොළඹ අලුත්කඩේ මහාධිකරණ පරිශ්‍රයේදී විවෘත කිරීම ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අතින් සිදුවිය. ඉන්පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව පැවසුවාය.

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විවෘත කිරීමට පැමිණි ඇමැතිවරිය පිළිගත්තේ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්කුඹුර මහතාය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් අධිකරණය විවෘත කිරීමට අදාළ ලියවිලි ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය භාරකළේ දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වන සුජීවා ලක්මාලි මහත්මියටයි.

මාධ්‍යවේදීන්ගේ විමසීම් හමුවේ අදහස් දක්වමින් ඇමැතිනී නීතිඥ අතුකෝරළ මහත්මිය තවදුරටත් මෙසේ ප්‍රකාශ කළාය.

යහපාලන රජයේ ප්‍රතිපත්ති යටතේ මහා පරිමාණ වංචා දූෂණ, මූල්‍ය අපරාධ, රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් පිහිටුවන බවට ජනතාව දැනුවත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඊයේ විවෘත කළ අධිකරණයත් සමඟ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් මේ වන විට පිහිටුවා තිබෙනවා.

කිසිම චුදිතයකු පිළිබඳව විශේෂත්වයක් දක්වමින් ක්‍රියා කරන්නේ නෑ. සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කෙරෙනවා. අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. ස්වාධීන කොමිෂන් සභා යහපාලන රජය ඇතිකිරීම නිසා අධිකරණයේ ස්වාධීනත්වය රැකී තිබෙනවා. අධිකරණ පිහිටුවා පහසුකම් ලබාදීම පමණක් අප සිදු කරනවා. නඩුවලට අදාළ කිසිම අතපෙවීමක් සිදුවන්නේ නෑ. නීත්‍යානුකූලව ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව අධිකරණ වෙත ලබා දී තිබෙනවා. අධිකරණ තීන්දුවලට අප ගරු කරනවා යැයි ද ඇමැතිනී නීතිඥ අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඡායාරූප - රුවන් ද සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad

Pages