ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ ගිහින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ ගිහින්

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

ඉහළ උෂ්ණත්වයක් හා වියළි කාලගුණ තත්ත්වයක් මේ දිනවල පැවැතිය ද නිවාස ඇතුළත ඩෙංගු මදුරු කීටයන්ගේ ඝනත්වය ඉහළ ගොස් ඇති බව කීටවිද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.

නිවාස ඇතුළත තිබෙන ශීතකරණ, නාන කාමර ආශ්‍රිත ස්ථාන ඇතුළු නිවසේ ජලය රැඳෙන ස්ථානයන්හි මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බව සමීක්ෂණ වාර්තාවලින් හෙළිව ඇතැයි ද ඒ මහතා පැවැසුවේය.

නිවාස ආශ්‍රිත ජලය රැදෙන ස්ථානයන්හි මදුරු කීටයින් බෝ වීම ඉහළ ගොස් ඇති අතර ඩෙංගු මදුරු රෝගය ව්‍යාප්ත කරන ඊඩිස් ඊජිප්ටස් මදුරු කීට විශේෂත්වය වැඩිපුර වාර්තා වන්නේ යැයි ද ඒ මහතා කීය.

නිවසෙන් පිටත මදුරුවන් බෝ වනවාට වඩා නිවස ඇතුළත ඩෙංගු මදුරු කීටයන් බෝ වීමෙන් පුද්ගලයා ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ යැයි ද ඔහු අවධාරණය කළේය.

වරාය ආශ්‍රිත ස්ථානයන්හි ද, ටයර් තිබෙන ස්ථානයන්හි ද ඩෙංගු මදුරු කීටයන් බෝ වීම ඉහළ ගොස් ඇති බවත් වියළි කාලගුණයක් පැවැතිය ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

2018 වර්ෂය තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51659 ක්ද, 2019 මාර්තු මාසය තුළ 12851 ක් ද රට පුරා ප්‍රදේශවලින් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් සියයට 40.4 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.

මදුරුවන් බෝ වීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත් වීමේ අවශ්‍ය වේ. දින තුනකට වඩා උණ රෝගය පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකර ගැනීම වැදගත් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages