සුබ අවුරුද්දක් වේවා! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

සුබ අවුරුද්දක් වේවා!

සාමය - සතුට රජයන නව වසරකට ආසිරි

මිනිසා අනාදිමත් කාලයක් පුරා සොබාදහම සමඟ කරන ලද ගනුදෙනුව යම් ශිෂ්ටාචාරයක සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. කෘෂිකර්මය ජීවනෝපාය කරගනිමින් පරිසරය සමඟ සාධාරණ ශක්තිමත් සබඳතාවක් පැවැත්වූ පෙරදිග ශිෂ්ටාචාරයේ මිනිසුන් තමන්ද සොබාදහමේ කොටසක්ය යන්න තේරුම් ගනිමින් පළකළ කෘතවේදී හැඟීම් සමුදාය සූර්යය වන්දනාව මඟින් නිරූපණය වෙයි.

පෘථිවි තලයේ සමස්ත ජීවයේ පැවැත්ම සූර්යයා කේන්ද්‍ර කරගෙන පවතින්නේය යන යථාර්ථය දුරාතීතයේ සිටම අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අපේ මුතුන්මිත්තන් එම විශ්වාස පදනම් කරගත් වත්පිළිවෙත් ඉටුකළහ. අපට උරුම එම අනන්‍යයතාවයන් මූර්තිමත් කෙරෙන සිංහල, හින්දු අලුත් අවුරුදු සැමරුම සාමාජීය වශයෙන් වැදගත්කම් රාශියක් ජනිත කරයි.

පොදු අරමුණක් වෙනුවෙන් සමස්ථ ප්‍රජාවම ඒකරාශි වෙමින් එකම මොහොතක වැඩ කටයුතු ආරම්භ කරමින් අන්‍යෝන්‍ය වශයෙන් සැපත සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම සමාජයේ සාමූහිකත්වයට අතිශයින් වැදගත් වෙයි.

විශේෂයෙන්ම අප සංස්කෘතියට ආවේණික ආගමික වත්පිළිවෙත් ඉටුකරමින් වැඩිහිටියන් නැමදීම, ගුරු දෙගුරුන් බැහැදැකීමට යාම ආදිය සමාජ ධූරාවලිය නැවත පණ ගන්වමින් සමාජයේ සාමාජිකයෙකු ලෙස ඉටුකළ යුතු යුතුකම් සහ කාර්යභාරයන් පිළිබඳ නැවත සිහි කැඳවයි.

ගේ දොර පිරිසිදු කර පවුලේ සියලුදෙනා සමඟ සුබ මොහොතින් වැඩකටයුතු ආරම්භ කිරීම තුළ ජීවිතයට යහපත් සුබවාදී ආරම්භයක් ගෙන දෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියලු ජන කොටස් ජාති ආගම් භේදයෙන් තොරව පොදුවේ අවුරුදු සැමරුම සමඟ එක්වීම සංහිඳියාව පිළිබඳ වැදගත් ආදර්ශයක් සපයයි.

එම ආදර්ශය හෙට දවසේ සෞභාග්‍යයෙන් සපිරි ශක්තිමත් දේශයක පදනම බවට පත් වේවා යැයිද සකල ශ්‍රී ලංකාවාසී සහෘද ජනතාවට සාමය සතුට රජයන සියලු බත බුලතින් සපිරි වාසනාවන්ත සිංහල, හින්දු අලුත් අවුරුද්දක් උදාවේවා යැයිද ආසිරි පතමි.

නැවුම් පරපුරක් නිර්මාණයට ක්‍රියාකාරී වෙන්න

අවංකබව සහ සාධාරණත්වය අගයන නැවුම් පරපුරක් නිර්මාණය කර ගැනීමට එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ දී සියලු දෙනා ක්‍රියාකාරී විය යුතු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටියි.

එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වෙයි.

සොබා දහම සහ මනුෂ්‍යයා අතර පවතින අවියෝජනීය සබඳතාවේ විශිෂ්ටතම පිළිබිඹුව වන සිංහල-දමිළ අලුත් අවුරුද්ද සියලු බේද පසෙක ලා ශ්‍රී ලාංකිකයන් සහෝදරත්වයෙන් එක්ව සමරන මෙරට ප්‍රමුඛතම ජාතික උත්සවය වේ.

රටක් ලෙස ඉතා තීරණාත්මක අවස්ථාවක සිටින මේ මොහොතේ, ආර්ථික ගැටලු මෙන් ම නියගයෙන් ද පීඩා විඳිමින් සිටින අප, ඒ සියලු අභියෝග ජයගෙන අලුත් දැක්මක් සහිත ව පෙරටුගාමී ගමනකට නායකත්වය ලබාදිය හැකි අවංකබව සහ සාධාරණත්වය අගයන නැවුම් පරපුරක් නිර්මාණය කරගැනීමට මේ මොහොතේ ක්‍රියාකාරී වෙමු.

සාමය, සහජීවනය වෙනුවෙන් කැපවීමෙන් ඒකරාශී විය හැකි සමෘද්ධිමත් සහ ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.

ආකල්පමය පරිවර්තනයකට සියලු දෙනා දායක ‍වෙන්න

ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ආකල්පමය පරිවර්ථනයක් ඇති කිරීමට සියලු දෙනා දායක විය යුතු බවත් මෙරට සෞභාග්‍යය, ජනතාවගේ මානූෂීය ගරුත්වය සහ සුබ අනාගතය රදා පවතින්නේ එම ආකල්පමය පරිවර්ථනය සමඟ බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටින අතර එම පණිවිඩයේ මෙසේ ද දැක්වේ.

සිංහල දමිළ අලුත් අවුරුද්ද අතිශයින්ම වැදගත් ජාතික උත්සවයක් වන අතර එය මෙරට පමණක් නොව විදෙස්ගතව ද සිටින මුළු මහත් සිංහල දමිළ ශ්‍රී ලාංකික ජනයා උත්සවශ්‍රීයෙන් සමරයි. අපගේ ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකය සමඟ හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් නිර්මාණය කර දෙන අලුත් අවුරුද්ද අප එකිනෙකා අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ද අවශ්‍ය පරිසරය සකසා දෙයි.

අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් ජනිත කරවයි. සියලු අඩු-පාඩු හා පසුබෑම් අතහැර රට ඉදිරියට ගෙනයාම සඳහා නව ජවයකින් යුත් කැපවීමක් සිත් තුළ ඇති කරයි. ඒ සඳහා සිතුවිලි මෙන්ම ක්‍රියාවන් ද ප්‍රගතිශීලි විය යුතුයි. අලුත් අවුරුද්ද ක්‍රෝධය, සතුරුකම්, සහ වැරදි වැටහීම් ඉවත් ව මිත්‍රත්වය, එකමුතුව හා සහයෝගිතාව පිළිබඳ අලුත් දැක්මක් ශ්‍රී ලාංකික සිත් සතන් තුළ ඇති කරයි. නව බලාපොරොත්තු පිළිබඳ නව අභිප්‍රායන් ඇති කරයි. ඒ අභිප්‍රායන් මුසු වූ බලාපොරොත්තු ශ්‍රී ලංකා මාතාව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වනු ඇත.

මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමඟ මුසුව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඔබට දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න. ආකල්පමය පරිවර්ථනයක් ශ්‍රී ලංකික ජන සමාජය තුළ ඇති කරන්න. එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර ඔබෙන් පටන් ගන්න. ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය ගරුත්වය සහ සුබ අනාගතය රඳා පවතින්නේ මේ ආකල්පමය පරිවර්තනයත් සමඟයි.

අලුත් අවුරුද්දේ අලංකාරය සහ සෞභාග්‍යය කිරි ඉතිරවීමෙන් සංකේතවත් කරන්නා සේම, අවුරුදු ක්‍රීඩා මඟින් එකමුතු බව සංකේතවත් කරන්නා සේම, මේ අලුත් අවුරුදු සමයේ ඔබ අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි මම හදවතින් සුබ පතමි.

පින්බර දේශයක් ගොඩනඟන්න සැමට අවස්ථාව  උදාවේවා

වාණිජකරණයට හා ජනප්‍රිය සංස්කෘතියට හසුව ඇති අවුරුදු උදාව නියම සංස්කෘතික හර පද්ධතීන් හා දායාදයන් සමඟ සමාජගත කිරීම යුගයේ අවශ්‍යතාවයක් බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු උදාව යනු සොබා දහම ඇතුළු මානව සංහතිය නවමු ආකාරයකට ජීවය ලබමින් නව පරිවර්තනයකට පත්වන සුයාමයකි. එය ගහකොළ, සතා සිව්පාවා තුළ පවා ප්‍රමෝදජනක උත්තේජනයක් ඇති කරන වකවානුවකි. පැරණි සිරිත් විරිත් හා හර පද්ධතීන් අනාගත පරපුර වෙත දායාද කරන සංස්කෘතික මංගල්‍යයකි. නිවෙස් වටපිටාවේ පටන් මුළුමහත් දේශයම සමඟ අන්‍යෝන්‍ය සුහදතාවෙන් අවියෝජනීයව බැ‍ඳෙන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයය කා තුළත් ඇති කරන විපරිමානීය වෙනස වදනින් කියා හෝ ලියා දැක්විය නොහැකි තරමට අසහාය වූවකි. විනෝදය, විවේකය, ප්‍රීති සුඛය අර්ථවත්ව ගත කිරීමට ලැබෙන මෙම මංගල සමයේ මානව බැඳීම් මැනවින් තහවුරු වන ආකාරය අපූරුය. ගැමි ජනවිඤ්ඤානය හා ජන ක්‍රීඩා ඒ බව මොනවට පසක් කරයි.

තාපය, වර්ෂාව හා සමබර දේශගුණ රටාව, භවභෝග අටුකොටු පිරවීමට උපකාරී වේ. ඊට කළගුණ සැළකීමක් වශයෙන් පොදු ජනයා සූර්ය දෙවියන් පිදීම හෙවත් සූර්ය මංගල්‍යයය අර්ථ සම්පන්නව සැමරීමට වසරකට වරක් පැමිණෙන බක් මාසය හෙවත් වසත් කාලය උපයෝගී කරගනු ලැබේ. වසත් කාලයේදී ගහ කොළවල පැරණිපත් හැලී අලුත් දලු ලියලා ඵලබර වෙයි. පරිසරය සේම මිනිසාද ඒ වසන්තශ්‍රීය අත්විඳින්නේ පරිසරය හා ආබද්ධ වෙමිනි. එහෙයින් අවුරුදු උදාව යනු එක්තරා ආකාරයක සංස්කෘතික විප්ලවයකි. කෘතවේදීත්වය උගන්වන පරමාදර්ශී දින කීපයකි. වාණිජකරණයට හා ජනප්‍රිය සංස්කෘතියට හසුව ඇති අවුරුදු උදාව නියම සංස්කෘතික හර පද්ධතීන් හා දායාදයන් සමඟ සමාජගත කිරීම යුගයේ අවශ්‍යතාවකි.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස අප නිතැතින් උත්සාහ දරනුයේ ජාතීන් අතර සංහිඳියාවේ සංකේතයක් බඳු මේ මහා සංස්කෘතික මංගල්‍යය, නිවසින් ආරම්භ කොට එහි සුවඳ හා සිරිය මුළුමහත් දේශය පුරා පතුරුවාලීමයි. ඒ අනුව උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි ශුභ මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි. නිවුණු, හැදුණු, පිරුණු මිනිසුන්ගෙන් සපිරි පින්බර දේශයක් ගොඩ නැඟීමට එළැඹෙන සිංහල හා දෙමළ අවුරුදු උදාව නිසැකයෙන්ම හේතු වාසනා වේවායි මම ප්‍රාර්ථනා කරමි.

රට හොඳින් ගොඩනැඟීමට සිය‍ල්ලෝම අදිටන් කරගන්න

අප රටේ ජීවත්වන සියලුම ජාතීන් එකමුතුව, රට ගොඩනැගීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගන්නැයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සංචාරක, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

එම සුබපැතුම් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

සාම්ප්‍රදායික සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද “බක්” හෙවත් අප්‍රේල් මාසයේ ලෝකය පුරා සියලු සිංහල හා දෙමළ ජනයා සමරනු ලබන මුත්, ජාතික උත්සවයක් ලෙස මෙම උත්සවය පවත්වන එකම රට ශ්‍රී ලංකාවයි.

බෞද්ධ සහ හින්දු සංස්කෘතික හා සම්ප්‍රදායන් අනුව සූර්යයාගේ ජොතිෂ්‍ය චලනයක් පදනම් කර ගනිමින් නව වසර උදාවත් සමඟ දිවයින පුරා විසිරී සිටින ජනතාව අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. “සූර්ය මංගල්‍යය” ලෙසද හඳුන්වන එය මිනිසා සහ ස්වභාව ධර්මය අතර සමීප අන්තර් සබඳතාවයක් ඉස්මතු කරයි. සිංහල හා දෙමළ ජනතාව අතර පොදු සංස්කෘතික උරුමය අවධාරණය කරමින් දෙමළ සහ සිංහල ජන කොටස් දෙකම එක පවුලක් ලෙස එකට බැඳ තබයි. සියලුම ජන කොටස් සමඟ එක්ව ලක්වැසි කිතුනු ජනතාවද අලුත් අවුරුද්ද ප්‍රීතියෙන් සමරනු ලැබීම විශේෂයකි.

අප රටේ ජීවත්වන සියලුම ජාතීන් එකමුතුව, රට ගොඩනැගීම සඳහා අධිෂ්ඨානයක් ඇති කර ගෙන ශ්‍රී ලංකාව ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත්කර ගැනීමට කටයුතු කරමු.

ලක්වැසි සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි!

යහපත් සිතුම් - පැතුම් ඉටුවේවා

සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීම මාගේ මූලික මෙන්ම ඒකායන අධිෂ්ඨානය කරගනිමින්, ඒ තුළින් ඔබගේ දිවිය ආලෝකමත් කිරීමට අප රජය උපරිමයෙන් ඇප-කැප වන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවස යි.

ඒ මහතා මේ බව පැවසුවේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක් කරමිනි.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සිත් සතන් නැවුම් පැතුමෙන් පුරවාලමින් වසරක් ගෙවී නව වසරක් උදාවෙන මේ මොහොතේ, ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන්නට සුහද පැතුම් එක්කරන්නේ හදපිරි සුහදත්වයෙනි.

මා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යධූරය බාරගත් දා පටන්, එල්ලවු සියලු අභියෝගකාරී අවස්ථාවන්හට සාර්ථකව මුහුණදීමටත්, විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමටත් මා හට නිරන්තර ශක්තිය වූයේ ඔබය.

මුහුණදීමට සිදුවූ ජය, පරාජය මෙන්ම සියලු ගැටලුකාරී අභියෝග හමුවේ, මාහට ශක්තියක් වු ඔබ, ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම අප රජයේ ගමන්මග ශක්තිමත් කිරීමට එක්වෙනු ඇතැයි මා බලාපොරොත්තු වන්නෙමි.

සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීම මාගේ මූලික මෙන්ම ඒකායන අධිෂ්ඨානය කරගනිමින්, ඒ තුළින් ඔබගේ දිවිය ආලෝකමත් කිරීමට අප රජය උපරිමයෙන් ඇප-කැප වන බව සිහිපත් කරන්නෙමු.

උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සහෘද ජනතාවට සාමය සතුට සපිරි වාසනාවන්ත සුබ නව වසරක්ම වේවායි ප්‍රාර්ථනා කරමි.

සාමය සමඟිය පැතිරේවා\

උදා වන සිංහල හා හින්දු අලුත් අ‍වුරුද්ද වෙනුවෙන් සියලු රටවැසියන්ට සුබ පැතුම් එක් කරන බව ජාතික සංහිඳියාව, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

සියලු රටවැසියන්ට සාමයෙන් හා සමගියෙන් ජීවත් විය හැකි වාතාවරණයක් අද වනවිට රටේ ගොඩනැඟී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

‍ඇමැතිවරයා මෙසේ ද සඳහන් කරයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වන අපට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වැදගත් අවස්ථාවක්. උත්සවාකාරයෙන් සමරන මෙම උත්සවයේදී සාමය, සමගිය හා සහෝදරත්වයට ප්‍රමුඛතාව හිමි වෙනවා. විශේෂයෙන් ම ජාතික සංහිඳියාව සඳහාත් මෙවැනි ජාතික උත්සව ඉතා වැදගත්.

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු රජය නව ගමනක් ආරම්භ කරනවා. අප්‍රේල් මාසයෙන් පසුව ආණ්ඩුව තුළ විශාල පිබිදීමක් ඇති වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages