නිහීන පොලිස් ප්‍රහාර රාජ්‍යයේ අශ්ලීලත්වයේ ප්‍රකාශනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

නිහීන පොලිස් ප්‍රහාර රාජ්‍යයේ අශ්ලීලත්වයේ ප්‍රකාශනයක්

13 අප්‍රේල්, 2019

පසුගිය 03 වන දා බදාදා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් කොළඹ දී උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිය දී පොලීසිය විසින් ඊට එල්ල කළ තිරිසන් ප්‍රහාරය ශිෂ්ට සම්පන්න කිසිම කෙනකුට අනුමත කළ නොහැක්කකි. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ද බැටන් ප්‍රහාරයක් ද උද්ඝෝෂණයට එල්ල කිරීමට අමතරව සිසුන්ට ශාරීරික ව තුවාල වන ලෙස පොලිසීය විසින් පෞද්ගලික ව ම මැදිහත් වී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීහු ලැජ්ජා විය යුතුය. ඊට හේතුව කොයි ආකාරයක හෝ උද්ඝෝෂණයක් මර්දනය කිරීමට යොදා ගන්නා පොලිස් ක්‍රමවේදය පවා ඉක්මවා යෑමක් එහිදී සිදුවීම ය.

ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය අනුව උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් පිළිගැනේ. ජන ජීවිතයට බාධා එල්ලවීම හා පොදු දේපළ වලට හානි සිදුවීම මත උද්ඝෝෂණයක් මර්දනය කිරීමට පවා ලිබරල් සමාජයක සීමා පවතී. මේ කිසිම සමාජ අවශ්‍යතාවක් තේරුම් නොගෙන පාරට බසින පළියට පහර පිට පහර දී තිරිසන් ලෙස උද්ඝෝෂණයක් මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට තම දෑත් සෝදා ගත නොහැකිය.

ලාංකික දේශපාලන සමාජය තුළ උද්ඝෝෂණය කිරීම වගකීම් විරහිත ලෙස භාවිත කරන බව ඇත්තකි. හැමදාම ගුටි කා අවසන් වන උද්ඝෝෂණයකින් තම දේශපාලන අයිතීන් රැක ගන්නට යෑම ශිෂ්‍ය දේශපාලනයේ උපක්‍රමික නොදියුණුභාවයේ ගැටලුවකි. රාජ්‍ය මර්දනයට තම සහෝදරයන් තල්ලු කර පරාජිතව අවසන් වන උද්ඝෝෂණ ව්‍යාපාර තවදුරටත් දේශපාලනික ව වලංගුදැයි කල්පනා කර බැලීම ශිෂ්‍ය දේශපාලනයේ වගකීමකි. එහෙත් ඒ ශිෂ්‍ය ව්‍යාපාරයන්ගේ නොදියුණු දේශපාලනය නිසා රාජ්‍යයක ආචාරධාර්මිකතාව පරදුවට තැබිය යුතු නැත.

ශිෂ්‍යයන් හැමදාම උද්ඝෝෂණය කරන්නේ නම්; ඔවුන් ජන ජීවිතයට බාධා ද කරන්නේ නම් මෙන්ම පොදු දේපළ වලට හානි කිරීමේ අවධානමක් මෙවැනි උද්ඝෝෂණවල පවතින්නේ නම් ද ඊට මුහුණ දීම සඳහා රජයකට දියුණු ක්‍රමවේද තිබිය යුතු ය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ තරු පහේ දියුණුව කතා කර බලයට එන ආණ්ඩු පවා අවසානයේ උද්ඝෝෂකයන්ට මුහුණ දෙන්නේ සාම්ප්‍රදායික හා මිලේච්ඡ අන්දමින් ය. යම් දේශපාලන ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදී යහ ගුණ සම්බන්ධයෙන් කතා කර ලබන ජනවරමකින් ආණ්ඩු බලය ලබා ගත් පසුව නිර්ලජ්ජාශීලීව මහජන අයිතිවාසිකම් වලට පහර දේ නම් එය ඔවුන්ගේ අශ්ලීලභාවයේ තරම ය.

දේශපාලනික ව අර්බූදයක් ඇතිවිය හැකි කිසිම කරුණක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පෙර දේශපාලන අධිකාරියෙන් විමසා නොබලන සම්ප්‍රදායක් ශ්‍රී ලංකා රාජ්‍ය සේවය තුළ නැත. එනිසා ශිෂ්‍ය උද්ඝෝෂණයකට පහර පිට පහර දී මර්දනය කරන්නට තරම් පොලීසිය තනි තීරණ ගන්නට නොපෙලඹෙන බව ඇත්ත කතාවයි. ඒ අනුව මෙවැනි මර්දනීය ප්‍රහාරයන්ට පොලීසිය බාර දේශපාලන අධිකාරියේ දැනුවත් සහාය ලැබෙන බව නොකිවයුතු තරම් ය. දේශපාලන අධිකාරිය රාජ්‍යයේ දේශපාලන සුජාතභාවයට හා ශිෂ්ටත්වයට වග කිවයුතු වුවත්, මෙවැනි මිලේඡ ප්‍රහාරයන්ට උඩ ගෙඩි දීම සිදුවන්නේ කෙසේදැයි විශේෂයෙන් සලකා බැලිය යුතුය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය රට තුළ බලාත්මක කිරීමට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇත. එහි අරමුණ වූයේම එක්සත් ජාතීන් විසින් පිළිගත් මනුෂ්‍ය අයිතිවාසිකම් ශ්‍රී ලාංකික ජන සමාජයට ද උරුම කර දෙන්නට ය. ඒ අනුව ඒ අයිතිවාසිකම් එක්සත් ජාතීන් විසින් පිළිගැනීමේ සන්දර්භය වූයේම මනුෂ්‍ය අයිතීන් තහවුරු කිරීමයි. එහෙත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත මේ සන්දර්භයෙන් බැහැර ව යොදා ගන්නට තරම් ශ්‍රී ලංකා පොලීසිය යොමුවීම රාජ්‍යයේ අරමුණට පයින් ගැසීමක් ලෙස අර්ථ දැක්විය හැකි ය.

පුරවැසියකුගේ ක්‍රියා කලාපයක් නිසා සමාජය තුළ අගතියක් ඇති වේ යැයි පොලීසිය උපකල්පනය කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත ක්‍රියාත්මක කරන්නට යෑමේ දී පොලීසියට ලැබෙන බලය මහජන අයිතිවාසිකම් උදුරා ගන්නට තරම් බලවත් ය. ඒ අනුව අදාළ සාක්ෂි සමඟ චූදිතයා මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට පත් කළ විට ඇප ලබා දීමක් කරන්නට පනත අනුව මහේස්ත්‍රාත්ට නොහැකි ය. ඔහු කළ යුතු එක ම දේ වන්නේ තවදුරටත් විමර්ශන කරගෙන යෑම සදහා පොලීසියේ ඉල්ලීම පරිදි චූදිතයා රිමාන්ඩ් භාරයට පත් කිරීමයි.

පොලීසිය නීත්‍යානුකූලත්වය තුළම කටයුතු කළත් මේ නීතිය නිසා පුරවැසියකුගේ මානව අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවිය හැකිය. ඊට හේතුව බැලූ බැල්මට හෝ චූදිතයා වරදක් කර ඇද්දැයි සොයා බැලීමකින් තොරව ම ඔහුව රිමාන්ඩ් භාරයට පත් කළ යුතුව ඇති නිසා ය. චූදිතයාට ඇප ලබා ගැනීමක් සම්බන්ධයෙන් ඉදිරිපත්වන ඉල්ලීමක දී එය සලකා බැලිය හැක්කේ මහාධිකරණයට පමණි. චූදිතයා ඇත්තට ම වරදක් කර තිබේද නැත්නම් නිර්දෝෂී ද යන්න තීරණය වන්නේ පොලීසියේ වැඩිදුර විමර්ශන වලින් පසුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගන්නා වූ තීරණයක දී ය. යම් හෙයකින් චූදිතයා නිවැරැදිකරු වුවහොත් දීර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව දුක් විඳීම බාරදිය යුත්තේ කරුමයට විය යුතුය.

සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද සම්මුති පනත බලාත්මක කිරීමේ දී පනත නිසා පුරවැසියකුගේ මානව අයිතීන් උල්ලංඝනය වීම් ගැන උනන්දු නොවීම කනගාටුදායක ය. ඒ නිසා පුද්ගලයකුට එරෙහිව චෝදනා එල්ල කර පසුව ඔහුව නිර්දෝෂී යැයි මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළ හොත් පුරවැසියාගේ අයිතීන් සම්බන්ධයෙන් වගවන කිසිම නීතිමය ප්‍රතිපාදනයක් එහි නැත. එසේම අවශ්‍ය නම් යම් පුරවැසියකුට අනියම් දඩුවමක් ලෙස රිමාන්ඩ් භාරයට පත් කරන්නට පොලීසියට අවශ්‍ය වුවහොත් මේ පනත භාවිත කරමින් අගතියේ යෙදීමට පොලීසියට කිසිම බාධාවක් නැත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන වලින් දූෂිත ම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි කියැවේ. එවැනි ආයතනයකට තීරණාත්මක බලයක් ලැබෙන පරිදි පනත් වලින් නීති ප්‍රතිපාදන නියම කර තිබීම අගතිගාමී ය. ඒ අගතීන් පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා සලකා බලන පාර්ලිමේන්තුව විසින් සැලකිල්ලට නොගැනීම කනගාටුදායක ය. අවසානයේ දී පුරවැසියන්ගේ මානව අයිතීන් උදුරා ගැනීම ඉවසීමට අධිකරණයට හා ව්‍යවස්ථාදයකයට සිදුව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දිගින් දිගට ම ශ්‍රී ලංකා රජයට බලපෑම් කළේ යුද සමයේ දී සිදුවූවා යැයි කියන මුදගල ඝාතන සම්බන්ධයෙනි. ඒවා සොයා බලන්නට දේශීය අධිකරණ ක්‍රමයක් ගැන එක්සත් ජාතීන්ට විශ්වාසයක් නොපවතී. ඒ අවිශ්වාසය දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ ලොකු ම දේශපාලන ව්‍යාපාරය වන දෙමළ ජාතික සන්ධානයට ද පවතී. .

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යොදා ගනිමින් පුරවැසියන්ගේ මානව අයිතීන් නොසලකා හැරීම ද අයත් වන්නේ රාජ්‍යයේ සංස්කෘතික නොදියුණුභාවය ශක්තිමත් කරන්නට ය. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධ සන්දර්භයට පවා සමච්චල් කරමින් මේ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම ලැජ්ජාසහගත ය.

ලෝකයා අප දෙස බලා හිදිමින් අපේ අශ්ලීල කටයුතු වලට සමච්චල් කිරීම තවදුරටත් ජාතික රාජ්‍යය සංකල්පය තුළ හිදිමින් නොතකා හැරිය නොහැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු විදේශ රාජ්‍යයන්ට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් විය හැකිය. එවැනි මැදිහත්වීම් හමුවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ශිෂ්ටත්වය හා අචාරශීලීබව අතිශයෙන් වැදගත් වේ. එසේම රට තුළ පුරවැසියන්ට උරුම කර දී ඇති මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ද වැදගත් වේ. රාජ්‍ය හැසිරෙන්නේ පුරවැසි හිමිකම් උදුරා ගන්නා මැරවරයකු ලෙසින් නම් ඒ රාජ්‍යය දෙස එක්සත් ජාතීන් හෝ විදේශ රාජ්‍ය හෝ යහපත් ලෙස නොබලන බව ස්ථිර ය. ඒ නිසා විදේශ රාජ්‍යයන්ගේ හා එක්සත් ජාතීන්ගේ විමසිල්ලට ලක් ව ඇති මොහොතක ශ්‍රී ලංකාව කළ යුත්තේ තමන්ගේ මර්දනීය ප්‍රතිපත්ති අහෝසි කිරීමත් අභ්‍යන්තර රාජ්‍ය පාලන ආකෘතිය ප්‍රජාතන්ත්‍රකරණයට ලක් කිරීමත් ය.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages