ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ගික සාම පිළිවෙත ප්‍රශංසනීයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ගික සාම පිළිවෙත ප්‍රශංසනීයයි

මහින්ද අලුත්ගෙදර

 

ගෙවී ගිය සියවසක කාලයේ දී සමස්ත ලෝකය තුළ වාර්ගික සාමය ඇතිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගෙන තිබෙන ක්‍රියාපිළිවෙත ප්‍රශංසනීය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එම කාලසීමාවේ දී මුළු මහත් ලෝකවාසී වැඩකරන ජනතාවට පුළුල් වූ කාර්යයන් රාශියක්, යුතුකම් හා වගකීම් රාශියක් ඉටුකර තිබෙන මෙම ජාත්‍යන්තර සංවිධානය කාර්මික සාමය, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ඇතුළු සියලු ප්‍රශ්නවල දී ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා නියෝජිතයන් පෙනී සිටියා සේම ලෝකයේ සෑම රටකම සමස්ත මානව වර්ගයා වෙනුවෙන් පෙනී සිටිමින් වසර සියයක් කරන ලද මෙහෙය අගය කරන බවද සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පෙරේදා (11) පැවැති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සංවත්සර සැමරුම සඳහා සුබපැතුම් එක්කරමිනි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලැබූ සජීවී 24 - පැය ගෝලීය සංචාරය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187ක් අතරින් රටවල් 24ක් තෝරාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව ද ඊට අයත්විය.

ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි 1930 බලහත්කාරයෙන් සේවය ලබාගැනීම පිළිබඳ ප්‍රඥප්තියට සම්බන්ධ 2014 අංක 29 ප්‍රොටෝකෝලය (පී-29 නොහොත් P-29) අපරානුමත කිරීම සංකේතාත්මකව සිදුකෙරිණි. ශ්‍රී ලංකාව මෙම ප්‍රඥප්තිය අපරානුමත කළ දකුණු ආසියාවේ ප්‍රථම රාජ්‍යය වන අතර ආසියාවේ දෙවැනි රට බවට පත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සංවත්සර උළෙල අමතන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය සියවසක අතීත අත්දැකීම් සමඟ අපිට බොහෝ දේ කතා කරන්න පුළුවන්. වසර සියයක් යනු කුඩා කාලයක් නොවෙයි. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්, වරප්‍රසාද සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ජාතික හා ජාත්‍යන්තරය තුළ සටන්කාමී වීරෝධාර පිරිස් සමඟ ප්‍රධාන වශයෙන් බැදුණු ජාත්‍යන්තර කම්කරු සංවිධානය මූලික ලෙසම ගෙවී ගිය සියවසක කාලසීමාවේ දී මුළු මහත් ලෝකවාසී වැඩකරන ජනතාවට පුළුල් වූ කාර්යයන් රාශියක්, යුතුකම් හා වගකීම් රාශියක් ඉටුකර තිබෙනවා. එහිදී ප්‍රධාන ලෙසම වාර්ගික සාමය ඇති කිරීම සඳහා ගත් පියවර ඉතාම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නයේ දී අප විසින් කටයුතු කළ අන්තර්ජාතික ප්‍රඥප්තීන් තුළ ඒ සඳහා විශිෂ්ට ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඒ වගේම කාර්මික සාමය, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් මේ සියලු ප්‍රශ්නවල දී ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා නියෝජිතයන් පෙනී සිටියා සේම ලෝකයේ සෑම රටකම සමස්ත මානව වර්ගයා වෙනුවෙන් මෙම නියෝජිතයන් පෙනී සිටිමින් වසර සියයක් කරන ලද මෙහෙය අපි අගය කරන්නට අවශ්‍යයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයට බැඳී තිබෙන්නේ 1948 පමණ. වසර 71ක් එහි සාමාජික රටක් ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ ඉතාම මිත්‍රශීලී, සුහදශීලී ලෙස හා සහෝදරත්වයෙන් බැඳුණු ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති, සංවිධාන ඒ වගේම ශ්‍රී ලංකා රජය සිය සාමාජිකත්වය වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටිමින් ජාත්‍යන්තරය පුළුල් මෙහෙවරක් ඉටුකර තිබෙනවා. මේ සියලු තත්ත්වයන් සැලකීමේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය ලබාගත් මේ කීර්තිමත්, විශිෂ්ට ගමන් මඟේ ගෙවී ගිය සියවසට වඩා ඉදිරි සියවස අභියෝගාත්මකයි කියා මා විශ්වාස කරනවා. අධි තාක්ෂණීක ලෝකය තුළ නව සිතුම් පැතුම් නව ආකල්ප හා නව අදහස් සමඟ අපි එක්වී ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් මුළු මහත් ලෝකවාසී වැඩකරන ජනතාවගේ අනාගත සුභසිද්ධිය සඳහා පෙනී සිටිමින් අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමයි විශේෂයෙන් සිදුවිය යුත්තේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය ලෙස අපේ වගකීම් සහ යුතුකම් වැඩකරන ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ මිත්‍රශීලී ලෙස අනාගතයේ ඉටුකරනවා. සියවසක් සමරන මේ අවස්ථාවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයට මගේ සුබපැතුම් පිරිනමනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රිං සිං මහත්මිය,

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සංවත්සර සැමරුමට ශ්‍රී ලංකාව ද එක්වීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 1948 වසරේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජිකත්වය ලබා තිබෙනවා. සමස්ත හා ස්ථිරසාර සාමයක් ස්ථාපිත කරනු හැකිවන්නේ එය සමාජ සාධාරණත්වය මත පදනම් වන්නේ නම් පමණයි. පසුගිය වසර සියය පුරා අපක්ෂපාතී සහ සාධාරණ වැඩ ලෝකයක් නිර්මාණය කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය දායක වුණා. එහිදී ශ්‍රී ලංකාවේ සිටින අපේ සබඳකරුවන් අපට ලබාදී ඇති දායකත්වයට ස්තුතිවන්ත වෙනවා. වසර සියයක් පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බලන මොහොතේ ශ්‍රී ලංකාව තුළ සියලු දෙනාට රැකියා ලැබෙන අනාගතයක් සුරක්ෂිත කරන බවට අපි යළි ප්‍රතිඥා දෙනවා යැයි පැවසුවාය.

මේ අතර කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පෙන්වා දුන්නේ සාධාරණත්වය පදනම් කරගනිමින් ගෝලීය සාමය ඇතිකරලීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ගනු ලබන පියවර ඉතා ප්‍රශංසනීය බවත් 1948 වසරේ දී නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටක් බවට පත් වූ බවත්ය. දැනට සාමාජික රටවල් 187කින් සමන්විත ශක්තිමත් එමෙන්ම ගෝලීය සංවිධානයක් වශයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ලද ප්‍රගතිය අති විශිෂ්ට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙරට ශ්‍රම බළකායේ සුබ සිද්ධිය වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ශ්‍රී ලංකාව වෙත දක්වන ලද දායකත්වය ස්තූති පූර්වකව සඳහන් කරන බව කී ඒ මහතා ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් 189ක් අතුරින් මූලික සම්මුතීන් 08ක් ඇතුළත්ව සම්මුතීන් 43ක් මේ වනවිටත් අපරානුමත කර ඇති බවද ඒ අනුව සමාගමයේ නිදහස ඇති කිරීම, සාමූහික කේවල් කිරීම ප්‍රවර්ධනය කිරීම, ළමා ශ්‍රමය තුරන් කිරීම, සේවා නියුක්තියට අදාළ යහපත් තත්ත්වයන් ප්‍රවර්ධනය වෙනුවෙන් අප විසින් කටයුතු කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 1930 බලහත්කාරයෙන් සේවය ලබාගැනීම පිළිබඳ ප්‍රඥප්තියට සම්බන්ධ 2014 අංක 29 ප්‍රොටෝකෝලය අපරානුමත කිරීම සංකේතාත්මකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රිං සිං මහත්මිය වෙත පිළිගන්වන ලද අතර මෙම සියවස් සැමරුම වෙනුවෙන් සම්පාදනය කරන ලද කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ කාර්තුමය ශාස්ත්‍රීය ප්‍රකාශනයක් වන ශ්‍රී ලංකා සේවක සඟරාවේ විශේෂ කලාපයක් ද එළිදැක්වීය. ඊට අමතරව තැපැල් හා තැපැල් සේවා අමාත්‍යාංශයේ සහයෝගයෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

බලහත්කාරයෙන් සේවය ලබාගැනීම පිළිබඳ ප්‍රඥප්තියට සම්බන්ධ 2014 අංක 29 ප්‍රොටෝකෝලයෙන් බලහත්කාරයෙන් හෝ පීඩනයට ලක්කොට වැඩ ගැනීම අපරාධයක් ලෙස පිළිගැනෙන අතර එවැනි ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙන්ම ඊට එරෙහිව කටයුතු කිරීමට හා වින්දිතයන්ට ආරක්ෂාව, පසු පිළියම් හා වන්දි ලබාගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද සැලසෙනු ඇත. මීළඟ ශත වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම අනාගතය හසුරුවාලීම උදෙසා ‘ශ්‍රී ලංකාවේ ශ්‍රම අනාගතය‘ මැයෙන් වාර්තාවක් පසුගිය දා එළිදැක්වූ අතර තාක්ෂණය මඟින් දියුණුවන ලෝකයක වැඩ ලෝකයට කරන බලපෑම් මෙල්ල කිරීමට දායකත්වය ලබාදෙයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහයට ශ්‍රම ලෝකය පිළිබඳව විශේෂිත වූ එකම ආයතනය වන අතර සමාජ සාධාරණත්වය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් මෙම ආයතනයෙන් ලබාදෙයි. එය ප්‍රමුඛ මූලධර්ම හතරක් මත පදනම් වන අතර වැඩ කිරීමට ඇති අයිතිය, යහපත් රැකියා අවස්ථා, සමාජ ආරක්ෂණය හා සමාජ කතිකාව ඊට අයත් වෙයි. 1948 වසරේ දී එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාව 1984 දී ශ්‍රී ලංකා කාර්යාලය කොළඹ දී පිහිටුවා තිබෙන අතර 2009 වසරේ දී මෙම කාර්යාලය මඟින් මාලදිවයින ආවරණය ද ආරම්භ කර තිබේ.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ගයාන් පුෂ්පික සහ ජනාධිපති මාධ්‍ය අංශය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages