ක්‍රිකට් ලෝක කුසලානය අත ළඟ... අප කොතැන ද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

ක්‍රිකට් ලෝක කුසලානය අත ළඟ... අප කොතැන ද?

13 අප්‍රේල්, 2019

ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ දින 46 කි. කටින් බතල කොළ සිටුවීමට සමත් රටකට ජනකොටසකට මෙකී දින ප්‍රමාණය ද කණ්ඩායම තෝරා ගැනීමට - සංචිතගත කිරීමට - සුවිශේෂි පුහුණු සැසි වාරයන්ට ඉහටත් උඩින් යැයි සිතිය හැකිය. නායකයා පවා කවුරුදැයි හරිහැටි නොදන්නා කල සුපර් ලීග් අන්තර් පළාත් ක්‍රිකට් තරග පවත්වමින් බලධාරින් අනාගතය ගැන ශාස්ත්‍ර කීමට පටන් ගෙන ඇති බව නම් පැහැදිලිය. අප රටක් ලෙස ගත්ත ද කඩා වැටීමේ දිග පළල මැන ගැනීමට නොහැකිව අයාලේ යන තැනකට පත්ව තිබේ. මෙය හදා ගැනීමට, ප්‍රතිසංස්කරණය කර ගැනීමට තිබූ අවස්ථා මග හැර යෑම නිසා හෝ නොසලකා හැර යෑමේ පාපයට රටක් ලෙස ම වන්දි ගෙවන තැනක සිරවී සිටින්නෙමු. පවතින ක්‍රමයේ මේ කඩා වැටීමේ සිස්ටම් එකකට උත්තර සෙවීමට නොහැකිවී ඇත්තේ කිසිදු පාලකයකුටවත් හරිහමන් දුර දැක්මක් නොතිබූ නිසාය. අද සමස්තයක් ලෙස රට ම වෙලා ගෙන ඇති විදුලිය අර්බුදයට උගත් බුද්ධිමත් යැයි සැලකෙන ඉංජිනේරුවන් කලගෙඩි දෝත් මුදුනේ තබාගෙන පුද පූජා පවත්වන තත්ත්වයකට ම පත්ව තිබේ. ලාංකේයන් සමස්තයක් ලෙස දැඩි අර්බුද රැසක ගොදුරු බවට පත්ව ඇති අතර අද එහි ප්‍රධාන තැනක් ගන්නේ, නිසි පානීය ජලය, ලෙඩ රෝග සහ විදුලි බලය එසේ නැත්නම් බලශක්ති අර්බුදයන්ය. මහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනවා යැයි පම්පෝරි ගැසුවද, නිදහසින් පසුව ‍ගෙවී ගියා වූ දශක හතකට ආසන්න කාලය තුළදීවත් විදුලිබල අර්බුදයට විසඳුම් සොයා ගත නොහැකිව තවමත් ළතවෙන තැනක ගාල්වී සිටින බව නොරහසකි.

මීලඟ ඔලිම්පික් උලෙළ එනම් 2020 ඔලිම්පික් උලෙළට ජපානය සූදානම් වන්නේ බලශක්ති කළමනාකරණයේ මීළඟ පාඩම ද ලොව හමුවේ නවමු ආකාරයෙන් දිග හරිමින්ය. 2020 ඔලිම්පික් උලෙළ පැවැත්වෙන ටෝකියෝව යනු ලොව කාර්ය බහුල ම නගර සහ ජනාකීර්ණ ම නගරවලින් එකකි. එමෙන් ම ජපානයේ අගනගරය මෙන් ම ප්‍රධානතම වාණිජ නගරය ද වෙයි. ඔලිම්පික් වැනි අති දැවැන්ත ක්‍රීඩා උලෙළක් සඳහා අවශ්‍ය වන බලශක්තිය නිපදවා ගැනීම අධික වියදම් සහිත කාර්යයක් බව අමුතුවෙන් ම පැවැසිය යුතු නොවේ. නමුත් ජපානය අද එකී අභියෝගයට පිළියම් සෙවීමට වෙහෙසෙන්නේ ආර්ථිකයට ද නොදැනෙන පරිදිවීම ඔවුන් මෙකී ඔලිම්පික් උලෙළේ ලබන ප්‍රථම රන් පදක්කමද විය හැකිය. ටෝකියෝ ඔලිම්පික් උලෙළේ බලශක්ති අවශ්‍යතාවන්ට ජපානය උත්තර සොයන්නේ සියයට සියයක් ම පුනර්ජනනීය බලශක්තිය මත විශ්වාසය තබමින්ය. ඒ මුහුදු රළ තරංග, දිය රැළි, භූමි තාපය, වැස්ස, සුළඟ සහ සූර්යා ලෝකය අමුද්‍රව්‍ය වශයෙන් භාවිතයට යොදා ගනිමින්ය. ඔවුන් මේ තුළින් විශාල මුදල් කන්දරාවක් ඉතිරි කර ගැනීමට සැලසුම් කරයි. ඔලිම්පික් ක්‍රීඩා තරග පැවැත්වෙන සෑම ක්‍රීඩාංගණයක ම විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීමට ජපානය උත්සහ කරන්නේ සූර්ය ශක්තියෙන් සහ සුළං බලයෙන්ය. පුනර්ජනනීය බල ශක්තිය යනු අපට ද අමුතු කතාවක් නොවන නමුත් ඩීසල් සහ ගල්අඟුරු මගින් ලැබෙන කොමිස් මුදල් පුනර්ජනනීය බලශක්තිය මගින් ගසා කෑමට නොලැබෙන නිසා අප බලධාරීන් මෙවැනි ස්වාභාවික සම්පත්වලට පයින් ගැසීම ගැන ද පුදුම විය යුතු නොවේ.

1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළින් පසු 2020 ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ජපානය සෑම අතින් සන්නද්ධව මෙකී තරගාවලියට සූදානම් වන බව පැහැදිලිය. ජයග්‍රහණයන්ට පිරිනමන පදක්කම් 5000ක් වෙනුවෙන් යොදා ගන්නේ ඉවතලන ජංගම දුරකථනවල ඇති ඉතා අඩු කැරට්වලින් යුත් රන්, රිදී සහ තඹ ලෝහයන්ය. මේ සඳහා දැනටමත් ජපන් වැසියන් විසින් ඉවත ලන ජංගම දුරකථන ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බලධාරින් අතට පත් කර ඇති බව සඳහන්ය. නිසි නායකත්වයන් යටතේ බලධාරින් වගකීමෙන් කටයුතු කරන විට, එයට ආශිර්වාද කරන ජනතාව තම වගකීම ඉටු කිරීමට පෙලඹෙන්නේ නිරායාසයෙන්ය. ඔලිම්පික් උලෙළදී භාවිතයට ගෙන ඉවත ලන සියලු ම අපද්‍රව්‍ය නිසි කළමනාකරණයෙන් ප්‍රතිචක්‍රීකරණයට භාජනය කිරීමට ද සැලසුම් කර තිබේ. මෙරට ශ්‍රී පාද වන්දනා සමයක් අවසානයේ එකතු වන කසළ ප්‍රමාණය ඉවත් කිරීමට ස්වේච්ඡා සංවිධානවල හෝ ත්‍රිවිධ හමුදාවල සහාය ලබා ගැනීමට සිදුවීම තුළින් ම කසල කළමනාකරණයේ අපේ තරම කියාපායි. ජපානය ටෝකියෝ ඔලිම්පික් උලෙළේ එකතු වන කසළ ප්‍රමාණයෙන් 99%ක් ම නැවත භාවිතයට යොදා ගැනීමට හෝ වෙන යම් ප්‍ර‍යෝජනයක් සඳහා යොදා ගැනීමට නියමිතය.

මේ අතර තාක්ෂණය ද උපරිම වශයෙන් ජපානය 2020 ඔලිම්පික් උලෙළේදි භාවිතයට ගැනීමට කටයුතු යොදා තිබේ. එනම් එකී කාලය තුළ අමුත්තන් ප්‍රවාහනය සඳහා භාවිතා කරන රියදුරන් රහිත ස්වයංක්‍රීය ටැක්සි රථ සේවාවයි. ඔලිම්පික් උලෙළ වටා ඒකරාශි වන සියලු දෙනාගේ ප්‍රයෝජනය පිණිස ජංගම දුරකථන මගින් වාහන තෝරා ගැනීම සහ සිය අවශ්‍යතාවන් ඉටු කර ගැනීමය. වාහනය තෝරා ගැනීමේ සිට සියලු දේ තමන් විසින් සපුරා ගත හැකි පරිදි මෙකී ප්‍රවාහන සේවාව දියුණු කර තිබේ. මෙවැනි තාක්ෂණයක් මෙරට නොමැති නමුත්, එවැන්නක් භාවිත කිරීම සඳහා ස්වයං විනයක් මෙරට ජනතාව තුළ තිබේ ද යන්නත් ගැටලුවකි. මාර්ග සංඥා පුවරුවල රතු බල්බය නිවී කොළ බල්බය දැල්වෙන තෙක් ඉවසීමක් පුරුදු පුහුණු නොකළ ජනතාවක්, බස් රථයකට ගොඩවී කොන්දොස්තරවරයා කෑගසන තෙක්ම කවුළුවෙන් පිටත බලා සිටින ජනතාවක් වෙසෙන රටක, දුම්රියේ වලංගු ටිකට් පතක් මිලට නොගෙන ගොස් අසුවූ කල දහසක් බොරු කියන ජනතාවක් වෙසෙන රටක මේ තාක්ෂණය ස්වයං විනයකින්, සංයමයකින් භාවිත කරයි යැයි විශ්වාස කළ හැකිද? ජපානය මහා මාර්ග පද්ධතිය තුළින් පවා විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීමට සමත්ව තිබෙන රටකි. අපට නිසි පරිදි මාර්ග පද්ධතියක් වත් නොමැති කළ මාර්ග පද්ධතිය තුළින් විදුලිය ලබා ගැනීම තවත් එක් සුන්දර සිහිනයකි.

තාක්ෂණයේ දියුණුව මඟින් ජපානය පමණක් නොව, ලෝකය ද බොහෝ දුර ගොස් ඇත්තේ ළිංමැඩි රාජ්‍ය යන්ත්‍රණයක් සහිත අප රටට ඇස් පවා අදහාගත නොහැකි ආකාරයටය. දූෂණ වංචාවලින් කප් ගසා ඇති අප රටට මේවා මැජික් මිසක් වෙ‍ෙනකක් නොවේ. ආර්ථිකය අතින් ලොව ඉහළින් ම වැජඹෙන ජපානය අඩුවියදම් රාජ්‍ය කළමනාකරණය තුළින් ම දෙවැනි ලෝක යුද්ධයෙන් හොම්බෙන් ගොස් අද වන විට අළු ගසා දමා ඒ මතින් ම යෝධයකු සේ නැගී සිටියි. නිදහසින් පසු දශක හතක් ඉක්මවා ගිය තැන රටට අවශ්‍ය විදුලි බල අවශ්‍යතාව හෝ සපුරා ගැනීමට නොහැකිව අතරමං වන තැනට අප රට පත්ව තිබීම කනගාටුදායකය. ක්‍රිකට් ලෝක කුසලානය අත ලඟ තිබි‍‍යදීවත් අප තවමත් ‍කොට උඩය. ඒ අපේ හැටිය. ජපානය 2020 ඔලිම්පික් උලෙළට මේ වන විට බොහෝ දුර ගොස් අවසන්ය. ඒ ජපානයේ හැටිය. මේ අපේ හැටිය.

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages