කොළඹ වාහන තදබදයෙන් දිනකට බිලියනයක පාඩුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

කොළඹ වාහන තදබදයෙන් දිනකට බිලියනයක පාඩුවක්

ක්‍රිසන්ති විතාරණ

කොළඹ ප්‍රදේශයේ පමණක් පවතින වාහන තදබදය හේතුවෙන් එක් දිනකට සිදු වන පාඩුව රුපියල් බිලියනයක් බවත් වාහන තදබදය තත්ත්පර කිහිපයකින් හෝ අඩු කර ගැනීමෙන් රුපියල් කෝටි ගණනක් ඉතිරි කර ගත හැකි බවත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ පසුගිය දා බත්තරමුල්ල මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා,

රටේ සංවර්ධන කටයුතු වේගවත්ව සිදු වන මෙම කාලයේ යටිතල පහසුකම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලු අමාත්‍යාංශ සිය දායකත්වය ලබා දෙන අතර මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය වෙත ද විශාල වගකීමක් පැවරී තිබෙනවා. රටක් සංවර්ධනයේ දී මාර්ග සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් ‍බව අප විශ්වාස කරනවා. ඒ වගේම සමාජ දියුණුව පහසු කරවීමට එය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේ අමාත්‍යාංශයේ කටයුතු නව දැක්මක් අනුව ක්‍රියාත්මක කිරීමට අපි අදහස් කරනවා.

ඒ අනුව වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. මඟ නැඟුම ආයතන ප්‍රතිසංවිධාන කර ඒවා ශක්තිමත් කිරීමටත් මාර්ග සංවර්ධන අධිකාරිය සේවාවක් ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම අප සතු වත්කම් හා ආදායම් ඉපැයිය හැකි ක්‍රම දියුණු කිරීමට අප ඉලක්ක කර තිබෙනවා. ඒ සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මුලින්ම පොදු ජන සේවය සඳහා අප අමාත්‍යාංශය මගින් සිදු විය යුත්තේ කුමක් ද කියන කාරණයේ දී බොහෝ දෙනා සිතන්නේ අපේ අමාත්‍යාංශය යකඩ, ගල්, සිමෙන්ති සමඟ කටයුතු කරන හදවතක් නැති භෞතික සම්පත් පමණක් සහිත අමාත්‍යාංශයක් ලෙසයි. නමුත් අපට ඊටත් වඩා දැක්මක් හා කාර්යභාරයක් අප සතු බව අප විශ්වාස කරනවා. විශේෂයෙන් භෞතික යටිතල පහසුකම් පමණක් ඉලක්ක කර ගෙන කටයුතු කරන අමාත්‍යාංශයක් නෙවෙයි. මේ අමාත්‍යාංශය මෙරට යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සෘජුවම සම්බන්ධ වන අමාත්‍යාංශයක්.

අද මාර්ගයට පිවිසෙන කාටත් ඇති ප්‍රශ්නය වන්නේ මහ මඟට නිකරුණේ වැය වන කාලයයි. ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම තරාතිරමක අයකු මුහුණ දෙන මේ මාර්ග තදබදය සැබැවින්ම ජාතික අපරාධයක්. පවුලේ සාමාජිකයන් සමඟ ගත කිරීමට ඇති වටිනාම කාලය අද බොහෝ විට ගත කිරීමට සිදුව ඇත්තේ මහ මඟයි. මේ තත්ත්වය අවම කිරීම අපගේ වගකීමක් ලෙස සළකමින් මහ මඟට අපතේ යන කාලය, ඵලදායිතාව, වායු දූෂණය, ඉන්ධන නාස්තිය අවම කිරීම වෙනුවෙන් අපගේ අවධානය යොමු වෙනවා.

කොළඹ ප්‍රදේශයේ පමණක් පවතින වාහන තදබදය හේතුවෙන් එක් දිනකට සිදු වන පාඩුව රුපියල් බිලියනයක්. ‍මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ සමීක්ෂණ වාර්තාවකට අනුව මෙහිදී වර්ෂයකට රුපියල් බිලියන 394ක් ඉන්ධන නාස්තියක් සිදු වෙනවා.

ඒ වගේම කොළඹ නගරයට දිනකට වාහන ලක්ෂ තුනක් ඇතුළු වෙනවා. එයින් ලක්ෂ දෙක හමාරක් පුද්ගලික වාහනයි. කොළඹට ලක්ෂ 10ක් පමණ ජනතාව පැමිණෙනවා. මේ කොළඹ තත්ත්වය පමණයි. මේ වගේ වාහන තදබදය සහිත ප්‍රධාන නගර කිහිපයක් අප හඳුනා ගෙන තිබෙනවා. මේ නගරවල වාහන තදබදය තත්ත්පර කිහිපයකින් හෝ අඩු කිරීමෙන් රුපියල් කෝටි ගණනක නාස්තිය වළක්වා ගත හැකියි.

මේ සියල්ල සැළකිල්ලට ගනිමින් රන් මාවත් වැඩසටහන යටතේ ප්‍රධාන මාර්ග මෙන්ම ඒවාට ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමට අපි මේ වන විට සැලසුම් කර තිබෙනවා. අදාළ සියලු ආයතන, කාර්යාල හා නිලධාරීන් දැනුවත් කරමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලෙස මෙම කඩිනම් සංවර්ධන ක්‍රියාදාමය සිදු කෙරෙනවා. එයින් මේ වසර අවසාන වනවිට සංවර්ධන ක්‍රියාවලියේ දැවැන්ත වෙනසක් සිදු වනු ඇති බව විශ්වාස කරනවා.

මේ අවස්ථාව සඳහා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන එස්. එම් මරික්කාර් සහ ලක්ෂ්මන් විජේමාන්න, අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු එක් වූහ.

ඡායාරූප- විපුල අමරසිංහ 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages