බිම් බෝම්බ තර්ජනයෙන් ශ්‍රී ලංකාව බොහෝ දුරට මිදිලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

බිම් බෝම්බ තර්ජනයෙන් ශ්‍රී ලංකාව බොහෝ දුරට මිදිලා

නිරවිකරණය සහ සංවර්ධනය කිරීමේ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන

බිම් බෝම්බ තර්ජනයට මුහුණු පා තිබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව එයින් බොහෝ දුරට මිදී ඇති රටක් ලෙස විශාල ප්‍රගතියක් ලබා ඇති බව ශ්‍රී ලංකා බිම් බෝම්බ තහනම් කිරීමේ ව්‍යාපාරය, නිරවිකරණය සහ සංවර්ධනය කිරීමේ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන මහතා පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට වර්ග කිලෝ මීටර් 25ක පමණ භූමි ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. බිම් බෝම්බ සහ යුද්ධයෙන් අවශේෂ වින්දිතයන් 20,000ක පමණ ප්‍රමාණයක් සිටිනවා. මේ දත්ත නැවත යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයෙන් මේ වන විට යුද්ධයෙන් අවතැන් වූ පවුල් 10,000ක් පමණ මෙරට වෙනත් ප්‍රදේශවල ජීවත් වන බවට ගණනය කර තිබෙනවා. උතුරු, නැඟෙනහිර යුදමය වාතාවරණයෙන් පසුව ශ්‍රී ලංකා රජය බිම් බෝම්බ තහනම් කිරීමට යොමු වී තිබෙනවා.

බිම් බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තිය (ඔටාවා ප්‍රඥප්තිය), පොකුරු අවි පිළිබඳ ප්‍රඥප්තිය (ඔස්ලෝ ප්‍රඥප්තිය), පුද්ගල ආබාධිතයන් පිළිබඳ ප්‍රඥප්තිය යන ප්‍රඥප්ති 03ක් ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන්ම මින් පොකුරු අවි ලෝකයෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවට මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

මේ සියලු ප්‍රඥප්ති වින්දිතයන් මූලික කර ගනිමින් සිදු කරනවා. විශේෂයෙන්ම යුද්ධයේ දී සිවිල් පුරවැසි ජනතාව වින්දිතයන් බවට පත් වීම හරහා ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් හානිදායක තත්ත්වයක් ඇති වුණා. යුද්ධයේ දී සහ යුද්ධයෙන් පසුවත් බිම් බෝම්බවලට හසුවීම නිසා වින්දිත තත්ත්වයට මුහුණ දුන්නා.

2010 සිට නැවත පදිංචි කිරීම් ආරම්භ කිරීමත් සමඟ බිම් බෝම්බ කාර්යය වැඩසටහන ඉතාම සාර්ථකව සිදු කරමින් පවතිනවා. අන්තර් ජාතික සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර සහ තාක්ෂණික දැනුම ද ලබා ගනිමින් මේ කාර්යය සිදු කරමින් පවතිනවා. එහි දී බිම් බෝම්බ ඉවත් කිරීම, සංචිත විනාශ කිරීම, බිම් බෝම්බ නිසා වින්දිතයන් බවට පත් වූ අයට සහාය ලබාදීම, එම ප්‍රදේශවල ජනතාවට සහ ළමයින්ට බිම් බෝම්බ පිළිබඳ අධ්‍යාපනය ලබාදීම ආදිය සිදු කෙරෙනවා.

මේ වන විට වර්ග කිලෝ මීටර් 25ක පමණ භූමි ප්‍රමාණයක තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව පවතිනවා. කිලිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්ක ඒ ප්‍රෙද්ශ අතරින් විශේෂයි. මේ වන විට විශාල භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සාර්ථකව සිදු කරනවා. බිම් බෝම්බ තර්ජනයට මුහුණු පා තිබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව එයින් බොහෝ දුරට මිදී ඇති රටක් ලෙස නම් කර තිබෙනවා. බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට ශ්‍රී ලංකා රජයේ කැපවීම විශාල වශයෙන් හේතු වී තිබෙනවා.

එමෙන්ම බිම් බෝම්බ පිළිබඳ අධ්‍යාපනය ලබාදීම මේ ප්‍රගතිය ලබාගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. මේ උවදුරින් වින්දිතයන් වන ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ යටතේ යුද්ධයෙන් පසුව අඩු වින්දිතයන් බවට පත් වූ රටක් ලෙස ශ්‍රී ලංකාව සලකනවා. ඊට ප්‍රධාන හේතුව වශයෙන් ශ්‍රී ලංකා රජය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව උතුරු, නැඟෙනහිර සියලු පාසල්වලට බිම් බෝම්බ පිළිබඳ අධ්‍යාපනය ලබාදීම බලපා තිබෙනවා. මේ බිම් බෝම්බ පිළිබඳ අධ්‍යාපනයට රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකා රජය එකතු වී විශාල දායකත්වයක් ලබා දෙනවා. බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා යුද හමුදාවේ මානූෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ අංශය (ඉංජිනේරු බළකාය), ශ්‍රී ලංකා රජය හා රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරනවා.

විශේෂයෙන්ම මෙහි දී බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය පසුගිය ආණ්ඩුව සහ පවතින ආණ්ඩුව මූලික අවශ්‍යතාවක් ලෙස සලකා ඒ වෙනුවෙන් කැප වී කටයුතු කිරීම සතුටුදායක කරුණක්. බිම් බෝම්බවලින් සහ යුද්ධයෙන් අවශේෂ වූ වින්දිතයන් ප්‍රමාණය 20,000ක පමණ ප්‍රමාණයක් සිටින බවට අවසන් සමීක්ෂණ මත තොරතුරු තිබෙනවා. මේ දත්ත පිළිබඳ නැවත සමීක්ෂණ සිදු කර යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා.

බිම් බෝම්බවලට හසු වී වින්දිතයන් බවට පත් වී තිබෙන අය සමාජීය සහ ආර්ථීක ලෙස කොන් වී තිබෙන බව අත්දකින නමුත් ලෝකයේ දියුණු රටවල ආබාධිත ජනතාව ද රටේ ආර්ථිකයට දායක වෙනවා. ලංකාවේ ඒ සඳහා ද වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ආබාධිත පුද්ගලයන්ට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පහසුකම්, පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ පහසුකම් සලසාදීම පිළිබඳව මීට වඩා අවධානය යොමු විය යුතුයි. ඒ හරහා ආබාධිත තරුණ පිරිස්, ආබාධිත පුද්ගලයන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට කටයුතු කළ යුතුයි. 2008 දී පුද්ගල ආබාධිතයන් පිළිබඳ ප්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන ඒම සිදු වූයේ ද බිම් බෝම්බ නිසා සිදු වු තර්ජනය හේතු කරගෙනයි.

චන්දිමා කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages