මේ හැම ප්‍රශ්නෙටම මුලප්‍රතිපත්තියක් නැතිකමයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

මේ හැම ප්‍රශ්නෙටම මුලප්‍රතිපත්තියක් නැතිකමයි

13 අප්‍රේල්, 2019

විපක්ෂය සමඟ එක්ව අය-වැය පරදා ආණ්ඩුව පලවාහරින බවට ඔබ පක්ෂය පැවසුවත් එවැන්නක් සිතන්න වත් නොහැකි වුණා...

අප අය-වැයට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඒත් විපක්ෂයේ පක්ෂ 3ක් වත් සම්පූර්ණයෙන්ම එකතු වී ඡන්දය පාවිච්චි කළොත් පමණයි එය පරාද කරන්න පුළුවන් වන්නේ. අපට තිබෙන්නේ ප්‍රතිපත්තිමය තීරණයක්. අනෙක් පක්ෂ එක එක වෙලාවට එක එක දේ කරනවා. ඒ ගැන අපට කරන්න දෙයක් නැහැ.

ආණ්ඩුවට එරෙහිව මීළඟට ගන්නා පියවර කුමක්ද?

පාර්ලිමේන්තුව ඇතුළේ අය-වැය ජයග්‍රහණය කළාට ආණ්ඩුවට ජනතාව අතර තිබෙන්නේ විශාල අප්‍රසාදයක්. ඉහළ යන බඩුමිල, විදුලිබල හා ජල කප්පාදුව, කෘෂි නිෂ්පාදන අලෙවි කරගන්න යෑමේදී ඇති වන ගැටලු ආදිය නිසා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. මේ සමහර විරෝධතාවලට ජවිපෙ සම්බන්ධ වනවා. අප සම්බන්ධ නැති, ජනතාව විසින් ගෙන යන විරෝධතාත් තිබෙනො.

විදුලි අර්බුදය ආණ්ඩුවේ නොසැලකිල්ලක් ලෙස හුවාදැක්වුවත් එය නිලධාරීන් අතර කඹඇදිල්ලක් බව පෙනෙනවා...

මෙය හදිසි අර්බුදයක් නොවෙයි. විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ තියෙන දූෂිතම ආයතනයක් බව අප පවසා තිබෙනවා; පාර්ලිමේන්තුවේත් කතා කර තිබෙනවා. හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්න ගෙන්වපු විදුලි ජනක යන්ත්‍ර 50ක් පමණ භාවිතයට ගත නොහැකි වෙලා. අමාත්‍යාංශ නිලධාරීන් වගේම මණ්ඩලයේ නිලධාරීන් පවා මේ සම්බන්ධව වග කිව යුතුයි. කෝප් කාරක සභාවේත් මේ ගැන අප කතා කර තිබෙනවා. වත්මන් පාලකයන් ආණ්ඩුව බාරගන්නෙ ඒ දූෂණ නැති කරන්නනේ. ඒත් එය කෙරෙන බවක් අපට නම් පෙනෙන්න නැහැ. හදිසි අවස්ථාවක විදුලිය ලබාගන්නා ක්‍රම නොතිබීම, සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට නොගැනීම වගේම විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු නොකිරීම වැනි කරුණු මේ අර්බුදය උග්‍ර කර තිබෙනවා.

ඔබ පක්ෂය මීට පෙර පවසා තිබුණා වර්තමානයේ පවත්නා අර්බුද නිර්මාණය වී ඇත්තේ දින 52ක නිල නොවන ආණ්ඩුවක් පත් වූ නිසා බව. ඒත් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පසුගියදා පැවසුවා වත්මන් අඩුපාඩු දින 52ට දාන්න එපා කියලා. මේ පරස්පර විරෝධි කතාව ගැන පැහැදිලි කළොත්...

මෙය මාධ්‍ය වාර්තාකරණයේ ගැටලුවක්. තමන් කරගහගෙන ඉන්න පාර්ශ්වයට අවශ්‍ය විදිහටයි බොහෝ මාධ්‍ය හැසිරෙන්නේ. දින 52දී වෙච්ච බලපෑමක් තියෙනවා. ඒක කාටවත් නැහැයි කියන්න බැහැ. රාජපක්ෂලා තමන්ගේ හොරකම් සේරම වහගන්න බැඳුම්කරේ නිසා රට විනාශ වුණා කියනවා. කොහොම වුණත් මේ විදුලි අර්බුදයට නම් දින 52 කිසිම බලපෑමක් නෑ. මෙයට වගේම සෙසු බොහෝ ජනතා ගැටලුවලටත් හේතුව නිසි යන්ත්‍රණයක් නැති වීමයි.

ඔබ පක්ෂය සෑම පළාතකම ‘පොකට් මීටිං‘ (කුඩා කාණ්ඩ හමු) පවත්වනවා. මේ කාර්යය දේශපාලන වශයෙන් සාර්ථකයි කියා හිතනවද?

අපි අපේ ආසන බල මණ්ඩල ප්‍රතිසංවිධාන කරගෙන යනවා. ඒ ප්‍රතිසංවිධාන ලබන මැයි, ජූනි පමණ දක්වා සිදු කෙරෙනවා. දැනටමත් 80%කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංවිධානය කර අවසන්. කලින් ආසන බල මණ්ඩලවලට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට පිහිටුවා තිබෙනවා. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් පමණක් නොවෙයි සහභාගි වන්නේ. විවිධ වෘත්තිකයන් වගේම රටේ වැදගත් දේශපාලන ගමන් මඟක් අපේක්ෂා කරන අයත් මීට සම්බන්ධ වනවා. සහභාගි වන පිරිස වැඩි ප්‍රමාණයක් නිසා විශාල නැඹුරුවක් මේ සඳහා ඇතිව තිබෙනවා.

ඔබ පක්ෂයෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව පැවසෙනවා...

අප හැමදාම කියනවා වගේ උත්සාහ ගන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි. ජූලි මාසය වන විට ජනාධිපතිවරණය පිළිබඳ දින වකවානු දැනුම් දෙනවා. ඊට පෙර අප උත්සාහ කරන්නේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකට යන්නයි. එය නොවන තත්ත්වයක් ඇති වුව හොත් අනිවාර්යයෙන්ම අපේ පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා.

ඉතින් ඇයි පොදු අපේක්ෂකයෙක්?

මා මුලින් කිව්වා වගේම ජවිපෙ දේශපාලන ගමන්මඟ හා එක් වන්න විද්වතුන් වගේම වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටිනවා. ඒ නිසා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න වුණොත් පොදු අපේක්ෂකයකු වශයෙන් ප්‍රබල චරිතයක් ඉදිරිපත් කරන්න අපේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

අපේක්ෂකයා කවුරුදැයි හෙළි නොකරන්නේ ඇයි?

අපේක්ෂකයා කවුරුන්දැයි මධ්‍යම කාරක සභාව තවම තීරණය කර නැහැ.

ජනාධිපතිවරණය නිසා කල් දැමුණු පළාත් සභා ඡන්දය ගැන දැන් කවුරු වත් කතා නැහැ වගේ...

පළාත් සභා ඡන්දෙ පවත්වන්න මේ ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඔවුන්ට එයින් ජය ගන්න බැහැ. ඒ වගේම තමයි ජනාධිපතිවරයාටත් ඡන්දය පවත්වන්න අවශ්‍ය නැහැ. ඔහු දැන් හොයා බලමින් ඉන්නේ ජනාධිපතිවරණය පවත්වන දින වකවානු ගැනයි. ඔහු ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යනවා. මේ වෙලාවේ පළාත් සභා ඡන්දය පවත්වන ක්‍රමයට පාර්ලිමේන්තුවේ 3න් 2ක බලය අවශ්‍ය වනවා. එවැනි කාර්යයක් සඳහා පවතින ඉඩ-කඩ අඩුයි. ඒ නිසා පළාත් සභා ඡන්දය පවත්වන කාල වකවානුවක් ගැන ආණ්ඩුව එක්ක කතා කරලාවත් වැඩක් නැහැ. ඒ ඡන්දය තිබ්බොත් එයින් යම් ජයග්‍රහණයක් අත් කරගත හැක්කේ පොදු ජන පෙරමුණට හා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවලට මිස, ජනතාව අපහසුතාවට පත් කරන මේ ආණ්ඩු පක්ෂයට හෝ ඒ සඳහා සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ‍නොව‍ෙයි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages