භෞතික සම්පත් සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් වැදගත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

භෞතික සම්පත් සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් වැදගත්

රක්ෂණ ශ්‍රියන්ත පොළොන්නරුව සිට

 

ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් එදා සිටම කැපවීමෙන් කටයුතු කළ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේත් යහපත වෙනුවෙන් ගතයුතු සෑම තීන්දු තීරණයක්ම ගැනීමට නොපැකිළව කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (10) පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේ පැවැති අලුත් සහල් මංගල්‍යයට එක් වෙමිනි.

අපගේ සංස්කෘතිය සහ ගොවිතැන අතර පවත්නා චිරාගත ඥාතීත්වය පිළිඹිබු කරන අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රය පොළොන්නරුවේ ගොවි ජනතාව උත්කර්ෂවත් අන්දමින් ඉටු කළහ.

අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රය ආරම්භ කරමින් පොළොන්නරුව ගල්විහාර බුද්ධ ප්‍රතිමා වහන්සේ අසල දී කිරි ආහාර පූජාව පැවැත්වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

අද අපි අපේ මහා සංස්කෘතියේ විශේෂයෙන් ම කෘෂිකර්මාන්තය පදනම් කරගත් සිංහල බෞද්ධ සංස්කෘතියේ වැදගත් අංගයක් වන ඓතිහාසික පුජාවකටයි එකතු වුණේ. අලුත් සහල් මංගල්‍යයේ ඉතිහාසය පිළිබඳව කියවන විට පොත පතෙහි සඳහන් වන්නේ මහසෙන් රජු දවස, අලුත් සහල් මංගල්‍යය මුලින්ම ආරම්භ වූ බවයි. එදා මෙදා තුර මේ අපි සෑම කෙනෙක්ම අපේ රටේ සිරිත් විරිත් වත්පිළිවෙත් සම්ප්‍රදායන් සංස්කෘතීන් ආරක්ෂා කරගෙන මෙම පූජාව පවත්වාගෙන යනවා. අපේ ගොවි ජනතාව කියලා කියන්නේ සැප විඳින පිරිසක් නෙවෙයි. ජාතියට බත සපයන ආදරණීය ගොවි ජනතාව ඔවුන්ගේ දුකින් කඳුළින්, සුසුමෙන් ඇතැම් විට ලෙයින් ජීවිතයෙන් තමයි මේ රටේ කෘෂි ආර්ථිකය ගොඩනඟලා තිබෙන්නේ.

ඒ වගේ ම අපි ඒ පිළිබඳව අවධානය යොමු කරන විට සෑම රජයක් ම ගොවියා ශක්තිමත් කරන්න දියහැකි බොහෝ දේ ලබා දීලා තිබෙනවා. නමුත් අපිට තවමත් පුළුවන් වෙලා නැහැ ගොවියා ණය බරින් නිදහස් කරගන්න. ඒ වගේම වඩා යහපත් ජීවිතයක් සඳහා ගැළපෙන උසස් ආර්ථිකයට ගොවියා ගොඩනගන්න අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒකට හේතු කාරණා රාශියක් තිබෙනවා. මම මේ වෙලාවේ ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. 2018, 2019, මාස් කන්නය අපිට ඉතා වැදගත් අවස්ථාවක් වුණා. අපේ රටේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ, නැත්නම් ඊට එහා ගියොත් පෙර රජ දවසින් පස්සේ 2018 , 2019 මාස් කන්නය තමයි අපිට වැඩිම වී අස්වැන්නක් ලබලා දීලා තිබෙන්නේ. ඒක මේ රටේ මුළු මහත් ජනතාවගේ භාග්‍යයක්, පිනක් විදියට අපි සලකන්නට ඕනේ. මං ඒ ප්‍රමාණය කොච්චරද කියලා කියන්න කැමති නැහැ. නමුත් මෙය රජයේ දක්ෂතාවයම එහෙම නෙවෙයි. ස්වාභාවධර්මයාගේ ආශිර්වාදය. දේවෝ වස්සතු කාලේන.. සස්ස සම්පත්ති හෝතුච.. පීතෝ භවතු ලෝකෝච.. රාජා භවතු ධම්මිකෝ. යහපත් දිවි පැවතුම් තිබෙනවා නම් දෙවිවරුන්ගේ සහ ඒ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපිට සැමවිටම ලැබෙනවා. අපි අවුරුදු තුනහමාරක් එක දිගට රටේ බරපතළ නියඟයකට මුහුණ දුන්නා. රටෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් පසුගිය අවුරුදු ගණනාවක් නියඟය නිසා පීඩා වින්දා. ඒ අවුරුදු තුනක දැඩි නියඟයෙන් පස්සේ තමයි 2018, 2019 , නැත්නම් ගිය අවුරුද්දේ විශේෂයෙන්ම මාස් කන්නයේ අපිට අවශ්‍ය වර්ෂාව ලැබුණේ. ඒ නිසා අපේ වැව් ජලාශ පිරුණා. ඒ වගේම අවුරුදු තුනහමාරකට හතරකට පස්සේ, නියඟයෙන් පස්සේ ජලාශ පිරිච්ච නිසා අපේ ගොවි ජනතාව තුළ දැඩි උනන්දුවක් උද්‍යෝගයක් සහ කැපවීමක් ඇතිවුණා.

ඒ අනුව තමයි අපට ඉහළම වී නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකිවෙලා තියෙන්නේ. ඒත් එක්කම මම සඳහන් කරන්නට ඕනෑ අද දවස වනවිට නැවත ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක නියඟය තිබෙනවා. ඒ දිස්ත්‍රික්කවල ජීවත්වන අයට බොන්න වතුර නැහැ. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේත් සමහර ප්‍රදේශවලට බොන්න වතුර නැහැ. අනෙක් පැත්තෙන් ගත්විට ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමීක්ෂණ වාර්තාවක් කියනවා 2019 වසරේ ලංකාවට කාලගුණික හා දේශගුණික බලපෑම්වලින් ඇතිවන අභියෝගය දැඩි අවදානම් තත්ත්වයක තිබෙන බව. ඒ නිසා අපි ඒ ගැනත් හිතන්න ඕනෑ. අපි දන්නේ නැහැ ඒවා මොන මොන පැත්තට හැරෙයිද කියලා.

කෙසේ වෙතත් අපේ ගොවිතැන් බත් ටික ආරක්ෂා කරගෙන දැනට තිබෙන ජලය නිසි කළමනාකරණයක් කරගෙන මේ එන යල් කන්නයට මුහුණ දෙන්න ඕනෑ. මගේ මුළු දේශපාලන ජීවිතය පුරාම මම ගොවීන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද වෙනුවෙන් දීර්ඝ කාලයක් සටන් කළ කෙනෙක්. ඒ වගේම බලයට පත්වූ සෑම විටම ගොවි ජනතාවට දෙන්න දෙයක් තිබුණා නම් එය උපරිම ලෙස ඉටු කළ කෙනෙක්. අපට වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් තිබෙන බලපෑම්, සම්බන්ධතා මේ අනුව බොහෝ වෙලාවට දේශීය ගොවියාගේ ආර්ථිකය දුර්වල වෙන වෙලාවන් තිබෙනවා. නමුත් මම විශ්වාස කරනවා කලට වැසි ලැබෙනවා නම් ඒ තුළ අපේ අස්වනු සරු වෙලා සශ්‍රීකත්වය ලැබිලා ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා යන්න අපට පුළුවන්කම ලැබෙනවා.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමෙන් පසුව රජරට ප්‍රදේශයේ පරිවර්තනයක් සිදුවෙලා තිබෙනවා. වයඹ පළාතත් එහෙමයි. වයඹ පළාතට තවම වතුර ගෙනියන්න අපිට පුළුවන්කම ලැබුණේ නැහැ. කිලෝමීටර් 21ක උමගක් හදන්න තියෙනවා. ඒ කටයුතු දැනට ටෙන්ඩර් කැඳවීම් මටට්මේ තියෙන්නේ. කළුගඟ මහා ජලාශයේ වැඩ ඉවර වෙලා තියෙනවා. නමුත් කළු ගඟෙන් ජලය මොරගහකන්දට ගන්න උමඟ කිලෝමීටර් 7ක්. ඒ ඉදිකිරීම් කටයුතුත් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒවා සම්පූර්ණ වුණාම තමයි වයඹට, රජරටට, නැඟෙනහිරට මොරගහකන්ද කළුගඟ ජලාශයේ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රතිලාභය ජනතාවට ලැබෙන්නේ. රුපියල් කෝටි 7000ක වියදමින් සිදුකරන යෝධ ව්‍යාපෘතියක්. වයඹ මහ ඇළ, ඇළහැර ඉහළ වැව, මිනිපේ මහ ඇළ දැන් හදාගෙන යනවා.

පසුගිය වසර 4 තුළ පොළොන්නරුවේ භෞතික සම්පත් සංවර්ධනයේ විශාල වෙනසක් වෙලා තියෙනවා. පොළොන්නරු නගරයට ඇතුළු වෙන ඕනෑම කෙනකුට ඒ වෙනස පේනවා. ගමකට ගියත් පාසලකට ගියත් රෝහලකට ගියත් ඒ වෙනස පේනවා. මේ උත්සවයෙන් පස්සේ මා යනවා පොළොන්නරුව මහ නගර සභාවේ අලුත් ගොඩනැඟිල්ල විවෘත කිරීමට. ඉන් පසුව තිබෙන්නේ කඳුරුවෙල අලුත් බස් නැවතුම්පොළ විවෘත කරන්න. අලුත් බස් නැවතුම්පොළ මාස 6න් හදලා ඉවර කළා අපේ ඉංජිනේරු මහත්වරු. අපි අසීමිතව භෞතික සම්පත් සංවර්ධනය කරගෙන යනවා.

භෞතික සම්පත් සංවර්ධනය කරන ගමන් මට හිතුණා අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් මතක හිටින දෙයක් කළ යුතුයි කියලා. ඒ නිසා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, වාරිමාර්ග, මහාමාර්ග ඉංජිනේරු මහත්වරු සෑම කෙනෙක්ම දන්නවා පොළොන්නරුව නව නගරයේ මම සමාධි උයන කියලා අලුත් නිර්මාණයක් පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවල අනුරූ ඒ ස්ථානයේ ඉදිකරන්න කළුගල්වලින්. මේ වනවිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් ඒ වගේම පෞද්ගලික අංශයත් මේ කටයුතු භාරගෙන තිබෙනවා. දැන් වැඩ ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව මේ උතුම් ගල් විහාරයේ ආකෘතියත් ඒ ස්ථානයේ ඉදිවෙනවා. ඒ වගේම අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ, අනුරාධපුරේ සමාධි ප්‍රතිමා වහන්සේ, මොනරාගල බිබිල මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඒ වගේම පුරාවිද්‍යා නිලධාරීන්ට කියා තිබෙනවා ශ්‍රී ලංකාවේ සෑම තැනකම තිබෙන එකිනෙකට වෙනස් ඓතිහාසික, ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේලා හොයලා ඒ සෑම බුද්ධ ප්‍රතිමාවක්ම මේ ස්ථානයේ ඉදිකරන්න. ඒ කටයුතු කෙරෙන්නේ රජයේ මුදල්වලින් නෙවෙයි පුද්ගලික පරිත්‍යාගශීලීන් එකතු කර ගනිමින් පොළොන්නරුව බෞද්ධ සංගමය විදියට කරන්නේ. මෙය රටක් වශයෙන් මෙතෙක් නොකළ නිර්මාණයක්. භෞතික සම්පත් සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයෙන් යහපත් විනයගරුක සමාජයක් ගොඩනඟන්න එවැනි උතුම් නිර්මාණ අවශ්‍ය වෙනවා.

අපි සෑම කෙනෙක්ම අපේ උරුමයන් අපේ සංස්කෘතීන් රැක ගැනීමට අපේ වගකීම් ඉටුකරමුයි කියන ඉල්ලීම කරනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබූ අතර පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද, නැඟෙනහිර යන පළාත්හි ප්‍රධාන සංඝනායක උඩගම ශ්‍රී ධම්මානන්ද නායක සවාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද අමාත්‍ය වජිර අබේවර්ධන, වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකර පේෂල ජයරත්න, පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර

No comments:

Post a Comment

Post Bottom Ad

Pages