ස්ත්‍රී දූෂණ නඩු විභාග කිරීමට විශේෂ අධිකරණ ඇතිකරන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

ස්ත්‍රී දූෂණ නඩු විභාග කිරීමට විශේෂ අධිකරණ ඇතිකරන්න

Author(s): 
සිතාරා සේනානි

මෙරට කාන්තා සංවිධාන විශාල සංඛ්‍යාවක් ඇතත් කාන්තාවන්ගේ ගැටලු නිවැරැදිව තේරුම් ගෙන ඒවාට විසඳුදුම් ලබා දීමට එම සංවිධාන අපොහොසත් වී ඇති බැවින් සියලු කාන්තාවන්ට සුරක්ෂිත හෙටක් තැනීම සඳහා 'ධාරා' සංවිධානය බිහි කළ බව එම සංවිධානයේ සභාපතිනී අනෝමා ෆෝන්සේකා මහත්මිය පැවසුවා ය.

අනෝමා ෆොන්සේකා මහත්මිය මේ බව පැවසුවේ කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේ පසුගියදා (9) පැවැති 'ධාරා' සංවිධානයේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේදී ය.

කාන්තාවන්ට ගෞරවනීය ලෙස ජීවත්වීමට හැකි සමාජ වටපිටාවක් සකස් කළ යුතු බව එහිදී සඳහන් කළ ෆොන්සේකා මහත්මිය, කාන්තාවකට තම අදහස නොබියව ප්‍රකාශ කළ හැකි බවත්, එම අදහස ප්‍රකාශ සිදු කිරීම නිසා චරිත ඝාතනයට හෝ අවලාදවලට ලක් වීම සිදු නොවිය යුතු බවද පෙන්වා දුන්නා ය. සමාජයේ කාන්තාවන්ට සිදුවන හිංසා, පීඩා අවම කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවද පැවසුවා ය. ශ්‍රී ලාංකීය කාන්තාවගේ සැබෑ ප්‍රශ්න තේරුම ගෙන ඒවා කරළිය‍ට ගෙන ඒමට කටයුතු කරන බවත් සඳහන් කළා ය.

එහිදී ධාරා කැඳවුම්කාරිනී පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය කියා සිටියේ, ශ්‍රි ලංකාවේ සිටින කාන්තාවන් වෙනුවෙන් නීති සම්මුතීන් කොතෙක් තිබුණද ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවන බවයි. නීතියක් තිබූ පමණින් යුක්තිය ඉටු නොවන බවත්, ඒවා නීති පොතට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවද පෙන්වා දුන්නා ය. කාන්තාවක් අතවරයකට ලක්ව පොලීසියකට ගිය තැන සිට උසාවියේ නඩු අසන අවස්ථාව දක්වා එම අතවරය ප්‍රසිද්ධියේ නැවත කැවත ප්‍රකාශ කිරීමට සිදුවීම නිසා කාන්තාවන් අතවර පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට මැළි වන බවයි.

පොලිස් ස්ථානයකට කාන්තාවක් ගිය විට අයුතු බලපෑම් සිදුවන බවද, යම් අදහසක් ප්‍රකාශ කිරීමට ඉදිරියට පැමිණෙන කාන්තාවගේ චරිත ඝාතන‍ය කිරීම සාමාන්‍යකරණය වී ඇති බවද පෙන්වා දුන්නා ය. කාන්තාවන්ට සමාජයේ සමතැන නොව නිසි තැන ලබා දී, ගෞරවනීය ලෙස ජීවත් වීමට හැකි සමාජ වටපිටාව සකස් කිරීම ධාරා සංවිධානයේ ප්‍රමුඛ කාර්යයක් බවද, ඕනෑම කාන්තාවකට කාන්තාවක් වූ නිසාම මුහුණ පෑමට සිදුවන ගැටලු පිළිබඳ පැමිණිලි කිරීමට නොමිලේ නීති ආධාර හා වෙනත් උපකාර ලබා දීමට ධාරා සංවිධානය සූදානම් බවද, එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමට 0777778091 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දෙන බවද පැවසුවා ය. කාන්තාවන් වෙනුවෙන් තම සම්පත් දායකත්වය ලබාදිය හැකි විද්වත් වෘත්තිකයන්ට ධාරා සමඟ එකතුවන ලෙස විවෘත අරාධනාවක් සිදුකරන බවද සඳහන් කළා ය.

අනතුරුව අදහස් දැක්වූ ධාරා භාණ්ඩාගාරිකා ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය ශ්‍රි ලංකාවේ විධායක ශ්‍රේණියේ රැකියාවල කාන්තා නියෝජනය අඩු බවත්, විවිධ ක්ෂේත්‍රවලදී කාන්තාවන්ට සේවා නියුක්තියේ ගැටලු ඇති බවත් පෙන්වා දුන්නා ය. එමෙන්ම දේශපාලන නියෝජනය සඳහා කාන්තාවන්ට 25% කෝටාවක් ලබාදුන්නද එම නියෝජනය අවභාවිතා වන බව කී ආරියරත්න මහත්මිය කාන්තා කෝටාව භාවිතා කොට දේශපාලනඥයන් තම පවුල්වල අයට පමණක් නොව අනියම් භාර්යාවන්ට ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීධූර ලබා දී ඇති බව පැවසුවා ය.

මෙහිදී අදහස් දැක්වූ ධාරා විධායක සභික නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ ගෘහස්ථ හිංසනය දිනෙන් දින වැඩි බවයි. එමෙන්ම තමන්ගේ බිරියට පහර දීමට අයිතියක් ඇති බව සමහර පුරුෂයන් සිතා සිටිනා බව ද කියා සිටියා ය. කාන්තා දූෂණ නඩු අධිකරණයේ විශේෂ කොට විභාග කිරීමට සැලැස්වීමට බලකරන බවද පැවසුවා ය. එමෙන්ම, නීතිය ක්‍රියාත්මක කි‍රීම කඩිනම් කළ යුතු බව පෙන්වා දුන්නා ය. කාන්තාවන්ට හා ළමයින්ට සිදුවන අයෝජන පිළිබඳ නඩු හෝ වෙනත් නඩු වසර ගණනක් ප්‍රමාද වන හෙයින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බව පැවසුවා ය.

ධාරා විධායක සභික වෛද්‍ය සමිතා එදිරිවීර මහත්මිය අදහස් දක්වමින්, ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලෙසින් නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන රටපුරා වේගයෙන් බිහිවන බවද, ඒවා පිළිබඳ සොයා බැලීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවද පෙන්වා දුන්නා ය. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද, මේ වන විට රට පුරා පැතිරී ඇති සම්බාහන මධ්‍යස්ථාන බොහොමයකට බලපත්‍ර නොමැති අතර, ඒවායේ විවිධ නීති විරෝධී ක්‍රියා සිදුවන බවද පෙන්වා දුන්නා ය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages