ගාල්ලට කළු පැල්ලමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-11

ගාල්ලට කළු පැල්ලමක්

ෆවුස් මොහොමඩ්

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමත්, ගාල්ල රිච්මන්ඩ් විදුහල් කණ්ඩායමත් අතර පෙරේදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් විදුහල් පිල සමත්වීමෙන් පසුව එම විදුහල් පිලේ ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා භාර ආචාර්යවරයාට පහරදීමේ සිදුවීම පිළිබඳ මේ වනවිට පොලිස් පරීක්ෂණයක් ද, පාසල් ක්‍රිකට් සංගමයේ විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වෙමින් තිබේ.

වසර 17කට පසුව අන්තර් පාසල් පළමු පෙළ එක්දින ශූරතාව දිනාගැනීමට සාන්ත තෝමස් විදුහල් පිල සමත්වූ අතර පිට පිට දෙවතාවක් එම ශූරතාවට හිමිකම් කී රිච්මන්ඩ් විදුහල් පිලට හිමිවූයේ අනුශූරතාවයයි. කෙසේ වුවත් මේ සිදුවීම හේතුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය හෝ කුසලාන පිරිනැමීම සිදුනොවූ අතර දැඩි පොලිස් ආරක්ෂාව මැද සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම ක්‍රීඩාංගණයෙන් පිටතට ගෙන යනු ලැබීය.

සාන්ත තෝමස් විදුහල් පිල අවසන් වරට පළමුපෙළ ක්‍රිකට් ශූරතාව දිනාගනු ලැබුවේ 2002 වසරේදි ඩිල්ෂාන් ගුණවර්ධනගේ නායකත්වය යටතේය. එවර ද කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ දිනේෂ් කුමාරසිංහ මහතා විසිනි.

ගාලු පුරවරයේ කීර්තිමත් පාසලක් ලෙස සැළකෙන රිච්මන්ඩ් විදුහලේ පිලේ ආධාරකරුවන් පිරිසක් විසින් සාන්ත තෝමස් විදුහල් පිලේ නායක සිතාර හපුහින්න, ක්‍රීඩා භාර ආචාර්ය යොහාන් මෙන්ඩිස් මහතා සහ තවත් ක්‍රීඩකයකුට මෙසේ පහරදී තිබිණ.


පරීක්ෂණ කටයුතු පැවැත්වෙනවා - ගාල්ල පොලිසියේ ස්ථානාධිපති අරුණලාල්

සාන්ත තෝමස් විදුහල් පිලේ ක්‍රීඩකයන්ට පෙරේදා ගාලු ක්‍රීඩාංගණයේදී එල්ලවූ ප්‍රහාරය පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගාල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති එම්.පී.පී. අරුණලාල් මහතා ප්‍රකාශ කළේය. මේ සිදුවිම පිළිබඳ එදින පස්වරුවේ ක්‍රීඩාංගණයේදීම පැමිණිලි පාර්ශ්වයෙන් තොරතුරු සටහන් කරගත් බව ද ඒ මහතා කීවේය. මේ තරගය සම්බන්ධව පොලිසියට කිසිදු දැනුවත් කිරීමක් සිදුකොට නොතිබූ බව ද, ගැටුම පිළිබඳ වාර්තා වූ මොහොතේදිම එම ස්ථානයට විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් කර හැරීමට කටයුතු කළ බවද වැඩ බලන ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

සිදුවීමට අදාළව මෙතෙක් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනය කිරිමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.

විදුහල්පතිවරයා ලෙස මම අතිශය කනගාටුවට පත්වුණා - රිච්මන්ඩ් විදුහල්පති සම්පත් වේරගොඩ

සාන්ත තෝමස් විදුහල් පිලට රිච්මන්ඩ් විදුහලේ ආධාරකරුවන්ගෙන් පෙරේදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳ තමා දැඩි කනගාටුවට පත්වූ බව රිච්මන්ඩ් විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ප්‍රකාශ කළේය.

‘ගාලු පුරවරයේ කීර්තිමත් පාසලක් ලෙස අපේ පාසලට මේ අත්වූ අපකිර්තියත්, සාන්ත තෝමස් විදුහල් පිලට සිදුවු පහරදීමත් ගැන මම අතිශයින්ම කනගාටුවට පත්වුණා. මේක අපේ ක්‍රීඩකයන් වෙතින් සිදුවූ පහරදීමක් නෙවෙයි. ඔවුන් දෙපිලම ඉතා මිත්‍රශීලීවයි ක්‍රීඩා කළේ. අපේ ක්‍රීඩකයකුගේ පියකු විසින් මේ පහරදීම ආරම්භ කළ බවට දැන් තොරතුරු වාර්තාවෙනවා. අපි ඒ ගැන සොයාබලමිනුයි සිටින්නේ. ඇත්තම සිදුවීම වුණේ එම පුද්ගලයා තරගයෙන් පසුව පිටියට ගොස් මේ පහරදීම ආරම්භ කිරීමයි. ඒ මොහොතේ අපේ ආදි සිසු සංගමයේ පිරිසක් එතැනට ගොස් එය සමථයකට පත් කිරීමට උත්සාහ කළා. එහෙම නැතිව ඔවුන් මේ පහරදීමට සම්බන්ධ වුණේ නෑ. මට වාර්තා වුණු හැටියට අපේ ආදි සිසුන් පහරදීමට මුල්වුණු පුද්ගලයාටයි පහරදී තිබෙන්නේ.’

‘නමුත් අපේ ආදි සිසු සංගමයේ එක්තරා සාමාජිකයෙක් මේ පහරදීමට සම්බන්ධවෙලා තිබෙනවා. මම ආදි සිසු සංගමයට වහාම දන්වා සිටියා එම පුද්ගලයාගේ තනතුරු සියල්ල අහෝසි කරන්න කියලා. ඒ වගේම ඔහුට පාසල් භූමියට ඇතුළුවීමත් තහනම් කළා. ආදි සිසු සංගමයේ සභාපතිවරයා හැටියට මේ ගැන මම දැඩි තීරණයකයි ඉන්නේ.’

‘සාන්ත තෝමස් විදුහල කොළඹ පාසල් අතරින් ඉතාම විනය ගරුක පාසලක් බව මම හොඳින්ම දන්නවා. ඔවුන් කතෝලික සංස්කෘතියක් සමඟ හැඩගැසුණු නියම විනය ගරුක කණ්ඩායමක්. මේ මොහොතේ මා ඔවුන්ට මගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.’

‘මෙතැනදී පාසල් ක්‍රිකට් සංගමයේ කාර්යභාරය ගැන මා කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නේ නෑ. පස්වරු 5.30ට නිමාවිය යුතු තරගය පස්වරු 6.05 දක්වා ඇදගෙන ගියේ කුමන හේතුවක් මතද කියන ගැටලුව අපට තිබෙනවා. අපේ පාසලේ ආධාරකරුවන් ප්‍රකෝපකාරීව හැසිරීමට පටන් ගත්තේ ඒ නිසයි. ඒ නිසා මේ සිදුවීමේ වගකීමක් පාසල් ක්‍රිකට් සංගමයටත් තිබෙනවා. පාසල් ක්‍රිකට් සංගමය අවසන් මහා තරගවලට අඩු මුදලකට සුදුසුකම් නැති විනිසුරුවන් යොදවනවා. ඒ නිසා දැනුම අතින් එම විනිසුරුවන් දුර්වලයි. තරගය නියමිත කාලයට වඩා පැය භාගයකට අධික කාලයක් පැවැත්වීම ඉතා අසාධාරණයි.’ ‘නමුත් මේ සිදුවීමෙන් රිච්මන්ඩ් විදුහලටයි කැළලක් ඇතිවුණේ. අපි බොහෝම අසීරුවෙන් තමයි ගාල්ලට අවසන් මහා තරගයක් ගෙනාවේ. නමුත් මේ සිදුවීම නිසා මිට පස්සේ අපිට අවසන් මහා තරග ලැබෙන්නේ නෑ. අපේ ක්‍රීඩකයන් පවා ඉතා විනයගරුක පිරිසක්. නමුත් මේ සිදුවීමෙන් ඔවුන්ටත් යම් තරමක අපහසුතාවක් ඇතිවුණා. පිටස්තර කණ්ඩායමට සැළකිය යුතු ආකාරය අප හොඳින් දන්නවා. නමුත් කවදාවත් මෙවැනි සිදුවීමක් වී නොමැති නිසා තමයි අපි වැඩි ආරක්ෂාවක් ගැන නොසිතුවේ. රිච්මන්ඩ් - මහින්ද මහා ක්‍රිකට් තරගයේදිවත් මෙවැනි සිදුවීම් වුණේ නෑ. ජය පරාජය සම සමව විඳ ගත යුතුයි.’ රිච්මන්ඩ් විදුහල්පතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

කනගාටුදායක සිදුවීමක් - සාන්ත තෝමස් විදුහල් පිලේ පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ

සාන්ත තෝමස් විදුහලේ පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායමට පෙරේදා ගාල්ලේදි එල්ලවූ ප්‍රහාරය පිළිබඳ අතිශය කනගාටුවට පත්වන බව සාන්ත තෝමස් විදුහල් පිලේ පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ මහතා පවසයි.

‘මෙය සිදුවූයේ තරගය නිමාවූ විගසමයි. රිච්මන්ඩ් විදුහල් පිලේ ආධාරකරුවන් අතිවිශාල සංඛ්‍යාවක් එකවරම ක්‍රීඩාංගණයට කඩා වැදුණා. අපේ ක්‍රීඩකයන් වැඩිදෙනෙක් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට දිවයාමට සමත්වූවත් නායක සිතාර හපුහින්න සහ තවත් ක්‍රීඩකයකු ඊට මැදිවුණා. ඔවුන්ට පහරදීමක් සිදුවුණා. ඒ වගේම එතැනට පැමිණි අපේ ක්‍රීඩාභාර ආචාර්යවරයාටත් පහරදීමක් සිදුවුණා. ඉතාමත් අශෝභන ලෙස හැසිරුණු රිච්මන්ඩ් විදුහලේ ආධාරකරුවන් පිරිසක් සහ ඔවුන්ගේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු මේ පහරදීමට සම්බන්ධයි. ක්‍රීඩකයන්ගේ පියවරු කිහිපදෙනකුත් ඊට එක්වී සිටියා. ඔවුන් කඩුලු රකින ක්‍රීඩකයා වූ සිතාරගේ අත්වැසුම් ඔහුගෙන් උදුරා ගත්තා. අපි මේ සිදුවීම පිළිබඳ ගාල්ල පොලිසියට පැමිණිලි කළා. ඒ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ අතරම පාසල් ක්‍රිකට් සංගමයටත් පැමිණිලි කරනවා. පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාත් එතැන සිටියා. ඔහුටත් දැඩි වාග් ප්‍රහාරයක් එල්ලවුණා.’ දිනේෂ් කුමාරසිංහ මහතා සඳහන් කළේය.

පාසල් සංගමයෙන් පරීක්ෂණයක් - පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා

සාන්ත තෝමස් විදුහල් පිලේ ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩාභාර ආචාර්යවරයට පෙරේදා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රිච්මන්ඩ් විදුහල් පිලේ ආධාරකරුවන්ගෙන් සහ ආදි සිසු සංගමයේ සාමාජිකයකුගෙන් එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පාසල් ක්‍රිකට් සංගමය මගින් පරික්ෂණයක් පවත්වන බව පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

‘ක්‍රීඩාවේ ජයපරාජය දරා ගැනීමට නොහැකිව ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පහර දීම ඉතා ලජ්ජාශීලී ක්‍රියාවක්. මේ සිදුවීමට ඇතැම් පියවරු වගේම ආදි සිසු සංගමයේ සාමාජිකයනුත් එකතුවෙලා සිටියා. ඔවුන් ඉතා අශෝභන ලෙසයි හැසිරුණේ. ඒ වගේම ඔවුන් විනිසුරුවරුන්ටත් පරුෂ වචනයෙන් බැණ වැදුණා. ආගන්තුක කණ්ඩායමට නිසි ආරක්ෂාව සහ සෙසු පහසුකම් ලබාදීම සත්කාරක කණ්ඩායමේ වගකීමක්. ඒ වගකීම රිච්මන්ඩ් විදුහල්පතිවරයා නිසියාකාරව ඉටු කළේද යන්න ගැටලුවක්. අපි මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා රිච්මන්ඩ් විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔහු මේ සිදුවීම මුල සිටම බලා සිටියා මිස එය පාලනය කරගැනීමට මැදිහත් වුණේ නෑ. ඔහුගේ වගකීම ඔහු පැහැර හැරියා. මෙවැනි සිදුවීම් ඉදිරියේදි සිදුනොවිමට අප තරයේම වග බලා ගත යුතුයි. පටු මානසිකත්වයෙන් යුතු පිරිසක් තමයි මේ සිදුවිමට මුල් වුණේ. ඔවුන් මටත් පරුෂ වචනයෙන් බැණ වැදුණා.’ ඩිල්ෂාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

සැකසුම ෆවුස් මොහොමඩ්

 

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages