කෙන්යාව-මැලේසියාව අද අවසන් සටනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-12

කෙන්යාව-මැලේසියාව අද අවසන් සටනට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පස්වරු 5ට පැවැත්වෙන ආරාධිත ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලියේ අවසන් සටනට කෙන්යාව හා මැලේසියාව සුදුසුකම් ලබයි. මේ තරගාවලියේදී කෙන්යාව හා මැලේසියාව තරග දෙක බැගින් ජය ලබාගත් අතර ශ්‍රී ලංකා ජාතික පිල එක් තරගයක් ජය ගනිද්දී ශ්‍රී ලංකා කනිෂ්ඨ පිල සහභාගීවූ තරග තුනම පරාජයට පත්විය.

ආසියානු ශූර ශ්‍රී ලංකා නෙට්බෝල් පිල කෙන්යාව හමුවේ ලකුණු 54-35කින් පරාජයට පත්වූ අතර මැලේසියාව සමග තරගයෙන් ලකුණු 47-37ක පරාජයක් ලැබීය. පසුගිය වසරේ සිංගප්පූරුවේ පැවැති ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ලකුණු 62-59කින් මැලේසියාව පරාජයට පත්කළ ද මෙවර මැලේසියානු නෙට්බෝල් පිල විශාල ප්‍රගතියක් ලබා තිබීම විශේෂත්වයකි. මැලේසියානු නෙට්බෝල් පිලට කනිෂ්ඨ ක්‍රීඩිකාවන් 5ක් ක්‍රීඩා කරන හෙයින් මේ තරගාවලිය ඉදිරියේදී ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට හොඳ පෙරහුරුවක්වී ඇත.

ලෝක ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් හෝ අහිමි කෙන්යානු ක්‍රීඩිකාවන්ගේ කායික ශක්තිය හා වේගවත් ක්‍රීඩාශීලීත්වය හමුවේ ශ්‍රී ලංකා පිල පසු බැසීමට ලක්වූ අතර මැලේසියාවට ද මූලික වටයේදී පහසුවෙන් ජය ගැනීමට කෙන්යාව ඉඩ නොදුණි. ලෝක නෙට්බෝල් වර්ගීකරණය අනුව මැලේසියාව 26වැනි ස්ථානයේ හා ශ්‍රී ලංකාව 19වැනි ස්ථානයේ සිටියද, මේ තරගාවලියේදී පහළින් සිටි කණ්ඩායම් දක්ෂතා අතරට පැමිණියහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව පහළ මට්ටමක පැවැතීම මේ තරගාවලියේදී දක්නට ලැබුණු අතර පන්දු හුවමාරු කරද්දී සිදුවූ අතපසුවීම් එන්න එන්නම වැඩිවීම කාගේත් කතාබහට ලක්විය. මෙවැනි තත්ත්වයක් තිබියදී තවත් මාස 3කින් පැවැත්වෙන ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා දස්කම් පිළිබඳ කුමන බලාපොරොත්තුවක් ඇති කරගන්නේද යන ප්‍රශ්නය මතුව පවතී.

අසාර්ථක ක්‍රීඩා විලාශය හේතුවෙන් ගෝල් ෂූටර්, ගෝල් ඇටෑක්, වින්ග් ඇටෑක් හා සෙන්ටර් ක්‍රීඩිකාවන් නිතර නිතර වෙනස් කිරීමට පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනවියට සිදුවුණි.

ඒංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගීවීමට සිටින ජාතික නෙට්බෝල් පිලට හා ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට සහභාගීවීමට සිටින ශ්‍රී ලංකා කනිෂ්ඨ නෙට්බෝල් පිලට පෙර පුහුණුවක් ලෙස මේ ආරාධිත නෙට්බෝල් තරගාවලිය සංවිධාන කළද එම අපේක්ෂිත අරමුණ ඉටු වූයේද යන ප්‍රශ්නය මතුව පවතී.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages