සිංහරාජයේ සමන්ගල හතරවෙනි නව පිවිසුම් මාර්ගය විවෘත කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-04-13

සිංහරාජයේ සමන්ගල හතරවෙනි නව පිවිසුම් මාර්ගය විවෘත කෙරේ

අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු

ජෛව විවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා සිංහරාජ වනාන්තරයේ සමන්ගල 04 වැනි නව පිවිසුම් මාර්ගය ඉකුත් දා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

මාතර හිටපු දිසා වන නිලධාරී ජී. ආර්. පී. බී. සේනාරත්න මහතා මේ නව පිවිසුම විවෘත කළ අතර වත්මන් මාතර දිසා වන නිලධාරී සොයිසා මහතා ගමන් මාර්ග සිතියම ඇතුළත් පුවරුව විවෘත කළේය.

වසර තුනකට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ විහාරහේන හරිත මිතුරෝ සංවිධානය විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මේ නව සමන්ගල පිවිසුම් මාර්ගය ස්ථාපිත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. මේ ඉල්ලීම සාධාරණීකරණය කරමින් දියදාව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ද මේ ව්‍යායාමයට සහාය ලබා දී තිබුණි.

මේ නව සමන්ගල පිවිසුම සිංහරාජ පිවිසුම්වල උසම ස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 3000කට වඩා උසින් පිහිටා ඇත. ශ්‍රී ලංකාවට ආවේණික කුරුලු වර්ග 29ක් සහ ආගන්තුක පක්ෂීන් ද මේ ප්‍රදේශයේ බහුලව දක්නට ඇත. ආයුර්වේද වෙද හෙදකම් සඳහා යොදා ගන්නා බෙහෙත් පැළෑටි වර්ග බොහොමයක් ඇති අතර වියන් විස්තර පැහැදිලිව නිරීක්ෂණය කිරීමට මේ නව පිවිසුමෙන් ඇතුළු වන සංචාරකයන්ට හැකියාවක් ඇත. දුර්ලභ ගණයේ සත්ත්ව විශේෂ ද දැක බලාගැනීමට හැකිවනු ඇත. සමන්ගල නව පිවිසුමෙන් ඇතුළුවන්නන්ට හෝර්ටන් තැන්නට සමානකමක් ඇති ප්‍රවේශයක් ලෙස පෙනී යනු ඇත. මේ නව සමන්ගල පිවිසුම් මංපෙත දිගින් කි.මී. 05 කි.

නව සමන්ගල නව පිවිසුම් මාර්ගය විවෘත කරන ලද මෙදින දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් මේ නව පිවිසුමින් සිංහරාජයට ඇතුළු වූහ. සංචාරකයන්ට මඟපෙන්වන්නන් බොහෝ පිරිසක් මේ ස්ථානයේ රැඳී සිටිමින් ඔවුන්ට සහායවීමට සැදී පැහැදී සිටිති. විහාරහේන හරිත මිතුරෝ සංවිධානයේ සාමාජිකයන් ද මේ ස්ථානයේ නිරන්තරයෙන් කාණ්ඩ වශයෙන් රැඳී සිටිමින් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට සහාය ලබා දෙති.

පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානයේ අඩවි වන නිලධාරීන් වන රෝහණ පුෂ්පකුමාර සහකාර අඩවි වන නිලධාරී ජේ. සී. වසන්ත මහත්වරුන්ගේ විශේෂ සහයෝගය තම සංවිධානයට ලැබී තිබූ බවත්, තම සංවිධානයට සහාය දක්වමින් නව සමන්ගල පිවිසුම් මාර්ගය විවෘත කිරීමට දායකත්වය ලබා දුන් සැමට බලවත් ස්තුතිය පිරිනමන බවත් විහාරහේන ප්‍රජා සංචාරක ගම්මාන ව්‍යාපෘතියේ සභාපති තිලාන් පෙරේරා මහතා කීය.

ඡායාරූප - අකුරැස්ස මධ්‍යම විශේෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages